ලෙවී කතාව
6 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. 2 “යමෙකු යෙහෝවා දෙවි වන මට අවිශ්වාසවන්ත+ වෙමින් කරන පාප මේවාය. යම් ගනු දෙනුවක් සම්බන්ධයෙන් හෝ තමාට සුරක්ෂිතව තබාගැනීමට භාර දුන් දෙයක්+ සම්බන්ධයෙන් හෝ යමෙකු තම ආශ්රිතයාව රැවටුවොත්+ එය පාපයකි. ඔහු තම ආශ්රිතයාගෙන් යමක් සොරකම් කර ඒ ගැන බොරු කීවොත් හෝ තම ආශ්‍රිතයාට වංචාවක් කළොත් හෝ එයද පාපයකි.+ 3 නැති වූ දෙයක් යමෙකුට සම්බ වූ විට+ ඔහු එය භාර නොදී තමන් ළඟම තබාගනිමින් ඒ ගැන බොරු කීවොත්+ එයද පාපයකි. එවැනි වරදක් කළ පසු ඔහු එසේ නොකළ බවට බොරුවට දිවුරුවොත් එයද පාපයකි. 4 එවැනි පාපයක්+ කළ පුද්ගලයෙකු තමා සොරකම් කළ දේ හෝ වංචාවෙන් ලබාගත් දේ හෝ සුරක්ෂිතව තබාගැනීමට භාර දුන් දේ හෝ නැති වී සම්බ වූ දේ හෝ නැවත භාර දිය යුතුයි. 5 බොරුවට දිවුරූ දෙයක් සම්බන්ධයෙන්ද ඔහු කළ යුත්තේ එයමය. ඔහු වරද කළ බව ඔප්පු වීමෙන් අනතුරුව ඔහු වන්දියක්+ ගෙවිය යුතුයි. ඔහු ගත් දෙය සම්පූර්ණයෙන්ම නැවත අයිතිකරුට දිය යුතු අතර එයින් පහෙන් කොටසක්ද ඒ සමඟ දිය යුතුයි. 6 ඔහු යෙහෝවා දෙවි වන මට වන්දි පූජාවක්+ ගෙනා යුතුයි. ඒ සඳහා නියම කරන ලද වටිනාකමට සරිලන නිකැළැල් බැටළුවෙකු+ පූජකයා වෙතට ගෙනා යුතුයි. 7 ඔහු කළ වරදට සමාව ලබාගන්නා පිණිස+ පූජකයා එම පූජාව යෙහෝවා දෙවි වන මට ඔප්පු කළ යුතුයි. එවිට ඉහත සඳහන් කුමන වරදක් හෝ කර තිබුණද ඒ සඳහා ඔහුට සමාව ලැබෙයි.”
8 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. 9 “ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ අණ කරන්න. ‘දවන පූජාව+ සඳහා නීතිය මෙයයි. දවන පූජාව රාත්‍රියේ සිට උදෑසන දක්වා පූජාසනය මත තිබිය යුතුයි. ගින්දරද එහි දැල්වෙමින් තිබිය යුතුයි. 10 පූජකයා ලිනන් රෙදිවලින් මැසූ ඔහුගේ යට ඇඳුම+ ඇඳ ඊට උඩින් තම ලිනන් නිල වස්ත්‍රය ඇඳිය යුතුයි.+ ඉන්පසු පූජකයා පූජාසනය මත දැවූ දවන පූජාවේ අළු*+ ගෙන පූජාසනයේ පැත්තකින් තැබිය යුතුයි. 11 ඔහු ඇඳ සිටින වස්ත්‍ර ගලවා+ වෙනත් වස්ත්‍රයකින් සැරසී කඳවුරෙන් පිටත පවිත්‍ර තැනකට තෙල් මිශ්‍ර අළු ගෙන යා යුතුයි.+ 12 පූජාසනය මත නොකඩවා ගින්දර ඇවිළෙන්න සැලැස්විය යුතුයි. එය නිවී යෑමට ඉඩ නොදිය යුතුයි. පූජකයා සෑම උදෑසනකම ගින්නට දර+ දමා ඒ මත දවන පූජාව පිළිවෙළින් තැබිය යුතුයි. හවුල් පූජා සඳහා ගෙනෙන සතාගේ තෙල් කොටස්ද ඒ මත දැවිය යුතුයි.+ 13 පූජාසනය මත ගින්දර+ නොකඩවා ඇවිළෙමින් තිබිය යුතු අතර එය නිවී යෑමට ඉඩ නොදිය යුතුයි.
14 “‘ධාන්‍ය+ පූජාව සඳහා නීතිය මෙයයි. ආරොන්ගේ පුත්‍රයන් යෙහෝවා දෙවි වන මා වෙතට එනම්, පූජාසනය ඉදිරියට ධාන්‍ය පූජාව ගෙනා යුතුයි. 15 ඔවුන්ගෙන් කෙනෙකු ධාන්‍ය පූජාවෙන් අහුරක් ගත යුතුයි. සිහින් පිටි හා තෙල් ස්වල්පයක්ද කට්ටකුමංජල් සියල්ලද ඇතුළත් එම අහුර දෙවිට සිහිගැන්වීමක්+ වශයෙන් පූජාසනය මත දැවිය යුතුයි. එය යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පූජාවක් වන්නේය. 16 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වන කොටසින් මුහුන් නොදැමූ රොටි+ සාදා ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්+ ශුද්ධ තැනකදී ඒවා අනුභව කළ යුතුයි. ඔවුන් ඒවා අනුභව කළ යුත්තේ සම්මුඛ වීමේ කූඩාරමේ මළුව ඇතුළේය. 17 එම රොටි මුහුන් නොදමා සෑදිය යුතුයි.+ මට ගින්නෙන්+ ඔප්පු කරන පූජාවලින් මා ඔවුන්ට දෙන කොටස එයයි. පාප පූජාව හා වන්දි පූජාව මෙන් එයද ඉතා ශුද්ධය.+ 18 ආරොන්ගෙන් පැවත එන සියලුම පුරුෂයන්ට+ එයින් අනුභව කළ හැකියි. යෙහෝවා දෙවි වන මට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් ඔවුන්ට ලැබෙන එම කොටස බොහෝ කාලයක්+ පුරා ඔවුන්ගෙන් පැවත එන්නන්ට උරුම වෙයි. පූජා කළ දේ යම් දෙයක ස්පර්ශ වුවහොත් ඒ දේ ශුද්ධ දෙයක් ලෙස සැලකිය යුතුයි.’”
19 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. 20 “උත්තම පූජකයා ලෙස ආරොන්ව අභිෂේක+ කරනු ලබන දවසේදී ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් යෙහෝවා දෙවි වන මට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කළ යුතුයි. උත්තම පූජකයෙකු ලෙස යමෙකුව අභිෂේක කරන සෑම අවස්ථාවකදීම ඔවුන් සිහින් පිටි ඒපාවකින්+ දහයෙන් කොටසක් ධාන්‍ය පූජාවක්+ ලෙස ගෙනා යුතුයි. එයින් භාගයක් උදෑසනද අනික් භාගය සවසද ඔප්පු කළ යුතුයි. 21 පිටිවලට හොඳට තෙල් දමා මිශ්‍ර කළ පසු එය කබලේ පිලිස්සිය යුතුයි.+ එලෙස පිලිස්සූ ධාන්‍ය පූජාව කැබලිවලට කඩා යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ඔප්පු කරන්න. 22 එය ඔප්පු කළ යුත්තේ ආරොන්ගෙන් පසුව උත්තම පූජකයා ලෙස අභිෂේක කරනු ලැබීමට නියමිත ඔහුගේ පුත්‍රයාය.+ මුළු පූජාවම+ යෙහෝවා දෙවි වන මා ඉදිරියේ දැවිය යුතුයි. එය බොහෝ කාලයක් පුරා පිළිපැදිය යුතු නියෝගයකි. 23 පූජකයන්+ ඔප්පු කරන සියලු ධාන්‍ය පූජා මුළුමනින්ම ඔප්පු කළ යුතුයි. එයින් කිසිවක් නොකෑ යුතුයි.”
24 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. 25 “ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘පාප පූජාව සඳහා නීතිය මෙයයි.+ දවන පූජාව සඳහා සතුන්ව මරන ස්ථානයේදීම+ පාප පූජාව සඳහා ඔප්පු කරන සතාවද මැරිය යුතුයි. යෙහෝවා දෙවි වන මා ඉදිරියේ එම සතාව මැරිය යුතුයි. එය ඉතා ශුද්ධය.+ 26 පාප පූජාව ඔප්පු කරන පූජකයා එයින් අනුභව කරන්නේය.+ එය අනුභව කළ යුත්තේ ශුද්ධ තැනකදීය.+ එනම්, සම්මුඛ වීමේ කූඩාරමේ මළුව+ ඇතුළේය.
27 “‘එම සතාගේ මාංසය යම් කිසි දෙයක ස්පර්ශ වුණොත් ස්පර්ශ වූ දෙය ශුද්ධ දෙයක් ලෙස සැලකිය යුතුයි.+ උගේ ලේ යමෙකුගේ වස්ත්‍රයට විසි වුණොත්+ ඔබ එම වස්ත්‍රය ශුද්ධ තැනකදී සේදිය යුතුයි.+ 28 එම සතාගේ මස් මැටි භාජනයක+ තැම්බුවොත් එම භාජනය බිඳිය යුතුයි. එය තඹ භාජනයක තැම්බුවොත් එම භාජනය හොඳට මැද වතුරෙන් සේදිය යුතුයි.
29 “‘සෑම පූජකයෙකුම එම පූජාවෙන් අනුභව කළ යුතුයි.+ මන්ද එය ඉතා ශුද්ධය.+ 30 ශුද්ධස්ථානයේදී පව්වලට සමාව ලබාගන්නා පිණිස පාප පූජාවක් ඔප්පු කරන අවස්ථාවලදී එම සතාගේ ලේ+ සම්මුඛ වීමේ කූඩාරමට ගෙන යනු ලබන්නේය. එවැනි අවස්ථාවලදී එම සතාගේ මස් නොකෑ යුතුයි. උගේ මස් සම්පූර්ණයෙන්ම ගින්නෙන් දවන්න.