ආමොස්
9 යෙහෝවා දෙවි පූජාසනයට ඉහළින් සිටින අයුරු මම දුටුවෙමි.+ දෙවි මෙසේ පැවසුවේය. “නමස්කාරය සඳහා සාදා ඇති කණුවල මුදුනටම ගසන්න. ඒවායෙහි අත්තිවාරම් දෙදරා යන ලෙස ගසන්න. ඒ සෑම කණුවකම ඉහළ කොටස කපා දමන්න.+ බේරී ජීවත් වන කිසිවෙකු ඇත්නම් ඒ සියලුදෙනාවම මම කඩුවෙන් මරා දමන්නෙමි. කිසිවෙකුට මගෙන් බේරී පලා යෑමට ඉඩ ලැබෙන්නේ නැත.+ 2 ඔවුන් පොළොව හාරාගෙන ගොස් ඉතා ගැඹුරු ස්ථානයක සැඟවුණත් මම ඔවුන්ව සොයාගන්නෙමි.+ අහස තරම් උස් තැනකට ගොස් සැඟවී සිටියත් මම ඔවුන්ව පහතට හෙළන්නෙමි.+ 3 ඔවුන් කර්මෙල් කඳු මුදුනේ සැඟවුණත් මම ඔවුන්ව සොයා යන්නෙමි.+ ඔවුන් මුහුදු පත්ලට ගොස්+ මගෙන් සැඟවුණත් ඔවුන්ට දෂ්ට කිරීමට මුහුදු සර්පයෙකුට මම අණ කරන්නෙමි. 4 සතුරන් ඔවුන්ව ඈත දේශයකට රැගෙන ගියොත් මම ඔවුන්ව මරා දමන්න+ ඔවුන් පසුපස කඩුවක් යවන්නෙමි. ඔවුන්ට ආශීර්වාද කරනවා වෙනුවට මම ඔවුන්ව විනාශ කරන්නෙමි.”+ 5 විශ්වයේ පාලකයාණන්ද ස්වර්ගයේ සේනාවල අධිපතියාණන්ද වන යෙහෝවා දෙවි දේශයට අත තැබූ විට එය දිය වී යයි.+ එවිට එහි සිටින සියලු වැසියෝ වැලපෙන්නෝය.+ ඔවුහු සියලුදෙනා ඊජිප්තුවේ නයිල් ගඟ මෙන් කැලඹී පහව යන්නෝය.+
6 “අහස දිගේ පඩි පේළියක් තැනුවේ කවුද?+ තමා සෑදූ පොළොවට ඉහළින් වාසස්ථානයක්ද ඉදි කළේ කවුද?+ මුහුදෙන් වතුර ගෙන+ පොළොවට වැසි වස්සවන්නේ කවුද?+ ඔහුගේ නාමය යෙහෝවාය.”+
7 “‘ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ මා ඉදිරියේ හැසිරෙන්නේ කූෂ් ජාතිකයන්* හැසිරෙන ආකාරයටය.’ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. ‘ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේ+ මා නොවෙයිද? පිලිස්තිවරුන්ව+ ක්‍රීට් දූපතෙන් පිටතට ගෙනාවෙත් සිරියානු ජාතිකයන්ව කිර් දේශයෙන් පිටතට ගෙනාවෙත්+ මමය.’
8 “පව්කාර ජනයෙනි, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබ දෙස බලා සිටියි.+ ඔහු ඔබේ රාජ්‍යය සම්පූර්ණයෙන්ම පොළොවෙන් තුරන් කරන බව+ නිසැකය. ‘එහෙත් මම යාකොබ්ගේ පෙළපත මුළුමනින්ම නැති කර නොදමන්නෙමි.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. 9 ‘මගේ අණ පරිදි ඊශ්‍රායෙල්වරුන්ව සියලු ජාතීන් අතරේ සොලවනු ලැබේ.+ කුල්ලකින් ධාන්‍ය පොළන්නාක් මෙන් මම ඔවුන්වද සොලවන්නෙමි. එක ගල් කැටයක්වත් ධාන්‍ය ගොඩට නොවැටෙන සේ මම ඔවුන්ව පොළා සෝදිසි කරන්නෙමි. 10 එවිට මගේ සෙනඟ අතරේ සිටින සියලු පව්කාරයෝ කඩුවෙන් මැරුම් කන්නෝය.+ “අපට කිසි විපතක් සිදු වන්නේ නැත” කියා පවසන ඒ එක් කෙනෙකුවත් මම ඉතුරු නොකරන්නෙමි.’+
11 “‘ඒ දවසේදී, බිඳ වැටී ඇති+ දාවිත්ගේ ගෘහය+ මම නැවත ගොඩනඟන්නෙමි.+ එහි කැඩී බිඳී ගිය තැන් අලුත්වැඩියා කර එහි නටබුන් නැවත ගොඩනඟන්නෙමි. අතීතයේදී තිබුණු තත්වයටම නැවත එය ගෙනෙන්නෙමි.+ 12 ඒදොම් දේශයෙන්+ ඉතුරු වන සියලු ප්‍රදේශද මාගේ නාමය දරන+ සියලු ජාතීන්ද ඔවුන්ට උරුමයක් ලෙස දෙන පිණිස මම ඒ දේ කරන්නෙමි.’ එසේ පවසන්නේ ඒ සියල්ල ඉටු කරන්නාවූ යෙහෝවා දෙවිය.
13 “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. ‘ඉදිරියේදී පැමිණීමට නියමිත කාලය ගැන මම දැන් ඔබට කියන්නෙමි. ඊළඟ කන්නය සඳහා වැපිරීමට පටන්ගන්නා විටත් කලින් කන්නයේ අස්වැන්න කපා අවසන් කිරීමට නොහැකි වන කාලයක් පැමිණෙනු ඇත.+ මිදි පාගා අවසන් වීමට පෙර පැළ කිරීමට බීජ රැගෙන එනු ඇත.+ කඳු මත වයින් බහුලව සාදන නිසා+ ඒ කඳු දිගේ අලුත් වයින් ගලා යයි.+ 14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+
15 “‘මම ඔවුන්ව ගැඹුරට මුල් ඇද තිබෙන ගසක් මෙන් වීමට සලස්වන්නෙමි. ඔවුන්ව තම දේශයේ ස්ථිර ලෙස පිහිටුවන්නෙමි. ඔවුන්ගේ දේශයෙන් ඔවුන්ව පන්නා දමන්න කිසිවෙකුට මම නැවත ඉඩ නොදෙන්නෙමි.’+ එසේ පවසන්නේ ඔබේ දෙවි වන යෙහෝවාය.”