හබක්කුක්
1 අනාගතවක්තෘ හබක්කුක්ට දර්ශනයක් මාර්ගයෙන් දෙවිගෙන් ලැබුණු පණිවිඩය මෙයයි. 2 යෙහෝවා දෙවියනි, තව කොතරම් කාලයක් ඔබෙන් උපකාර ඉල්ලා අඬන්නද? දාමරිකයන්ගේ අතින් අපව බේරගන්න කියා තව කොතරම් කාලයක් ඔබෙන් අයැද සිටින්නද? ඔබ මට ඇහුම්කන් දී පියවර ගන්නා තුරු මා තව කොපමණ කල් බලා සිටින්නද?+ 3 ඔබ මේ නපුරුකම් දෙස බලා සිටින්නේ කෙසේද? මා බලන බලන සෑම තැනම සොරකම්ද මැරවරකම්ද සිදු වෙයි. මගේ දෑසින් මේ දුෂ්ට දේවල් දකින්න ඔබ මට ඉඩහරින්නේ ඇයි? මෙතරම් කෝලහල අඬදබර සිදු වන්නේ මන්ද?+
4 යුක්තියටවත් නීතියටවත් කිසිම තැනක් නැත.+ දුෂ්ටයෝ ධර්මිෂ්ඨයන්ව පාගා දමන්නෝය. යුක්තිය කණපිට පෙරළී ඇත.+
5 “ජනයෙනි, ඔබ අවට සිටින ජාතීන් දෙස බලා පුදුම වන්න.+ ඔබ ජීවත්ව සිටින මේ කාලයේදී ඔබ නොසිතන දෙයක් සිදු වනු ඇත. ඔබට ඒ ගැන කීවත් ඔබ විශ්වාස නොකරන්නහුය.+ 6 නොඉවසිල්ලෙන් කටයුතු කරන, ඉතා දරුණු ජාතියක් වන කල්දිවරුන්ව මම බලයට පත් කරන්නෙමි.+ ඔවුහු විශාල ප්‍රදේශයක් හරහා ගමන් කරමින් තමන්ට අයිති නැති දේශ යටත් කරගන්නෝය.+ 7 ඔවුන් භයානක ජාතියක්ය. ඔවුහු හිතුමනාපෙට නීති පනවාගන්නා, තමන්ටම කීර්ති නාමයක් හදාගන්නා සෙනඟකි.+ 8 ඔවුන්ගේ අශ්වයෝ පොළොවේ දූවිලි අවුස්සමින් නොඉවසිල්ලෙන් බලා සිටිති. උන් දිවියන්ටත් වඩා වේගවත්ය. රාත්‍රියේ සැරිසරන වෘකයන්ට වඩා දරුණුය.+ දුර සිට පැමිණෙන උන්, ගොදුර ඩැහැගැනීමට වේගයෙන් බැස එන රාජාලීන් මෙනි.+ 9 විනාශයට පමුණුවන අරමුණින් එක සේනාවක් මෙන් ඒ සෙනඟ පැමිණෙන්නෝය.+ නැඟෙනහිර දෙසින් හමන සුළිසුළඟක් හා සමානව ඔවුහු ගමන් කරන්නෝය.+ වැලි එකතු කරන්නාක් මෙන් ඔවුහු විශාල පිරිසක් අල්ලාගන්නෝය. 10 ඔවුහු රජවරුන්ට සරදම් කරති. උසස් නිලධාරීන් දෙස බලා සිනාසෙන්නෝය.+ බලකොටු දුටු විටද ඔවුහු සිනාසෙන්නෝය.+ ඔවුහු ඒවා වටා බැම්මක් තනා ඒවා අල්ලාගන්නෝය. 11 ඒ හමුදාව සුළිසුළඟක් මෙන් ඉදිරියට ගමන් කරමින් බොහෝ අපරාධ සිදු කරනු ඇත.+ ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ දෙවියන්ය.”+
12 යෙහෝවා දෙවියනි, ඔබ පුරාතනයේ පටන් සිටියේය.+ මාගේ දෙවියනි, මාගේ ශුද්ධ තැනැත්තාණෙනි, ඔබ කිසිදා මිය යන්නේ නැත.+ යෙහෝවා දෙවියනි, ඔබ ඒ ජාතිය තෝරාගෙන තිබෙන්නේ ඔබේ විනිශ්චයන් ඉටු කරගැනීමටය. මාගේ පර්වතය,+ වරදකරුවන්ට හික්මවීමක් දීම සඳහා+ ඔබ ඒ අයව තෝරාගත්තෙහිය.
13 ඔබ මොන තරම් ශුද්ධ දෙවි කෙනෙක්ද කිවහොත් නපුර ගණන් නොගෙන සිටීමට ඔබට නොහැක. දුෂ්ටකම් නොසලකාහරින්න ඔබට නුපුළුවන.+ එසේනම්, ද්‍රෝහිකම් කරන අයට විරුද්ධව ඔබ පියවර නොගන්නේ මන්ද?+ දුෂ්ටයා තමාට වඩා යහපත් කෙනෙකුව විනාශ කරද්දී ඔබ නිහඬව බලා සිටින්නේ මන්ද?+ 14 උපකාරකයෙකු නොමැති මුහුදේ මත්ස්‍යයන්ගේ තත්වයට මනුෂ්‍යයන්ව පත් වීමට ඔබ ඉඩහරින්නේ මන්ද?+ ඔවුහු මුහුදු ජීවීන් හා සමාන වී ඇත. 15 සතුරා ඇවිත් ඔවුන් සියලුදෙනාව බිලි කොකු දමා අල්ලාගනියි.+ තම මාදැලට ඔවුන්ව හසු කරගනියි.+ සතුරා තම දැලට හසු වූ ඔවුන්ව මහත් සතුටකින්+ ඇදගෙන යනු ඇත. 16 ගුණයෙන් පිරි ඉස්තරම් කෑම ඔහු අනුභව කරන්නේය. ඔහු තමාගේ මාදැලට පුදපූජා ඔප්පු කරන්නේ ඒ නිසයි. ඔහු නිතරම තම දැලට සුවඳ දුම් ඔප්පු කරන්නෙත් ඒ නිසයි.+ 17 ඔහුට නිරතුරුවම තම දැල පුරවාගැනීමට හැකි වෙයිද? ඔහු සිත්පිත් නැතුව හැමදාමත් ජාතීන්ව නැති නාස්ති කර දමයිද?+