හිතෝපදේශ
26 මෝඩයෙකුව ගෞරවයට පත් කිරීම කොහෙත්ම නුසුදුසුය.+ එය ගිම්හානයේදී හිම වැටෙන්නාක් මෙන්ද අස්වැන්න නෙළන කාලයේදී වැසි වසින්නාක් මෙන්ද වන්නේය.+
2 කුරුල්ලෙකු ඉගිලී යන්නෙත් වැහිළිහිණියෙකු පියඹා යන්නෙත් යම් හේතුවක් ඇතුවය. එසේම, හේතුවක් නොමැතිව යමෙකු පිටට ශාපයක් නොපැමිණෙන්නේය.+
3 අශ්වයන් සඳහා කසයක්ද+ බූරුවන් සඳහා නාස් ලණුවක්ද+ තිබෙන්නා සේම මෝඩයන්ව හික්මවීමට වේවැල තිබේ.+
4 මෝඩයෙකු සමඟ කතා කරන විට ඔහුගේ කතා විලාසය අනුගමනය නොකරන්න. එසේ කළොත් ඔබත් ඔහුගේම තත්වයට පත් වනු ඇත.+
5 මෝඩයෙකු තමා ප්රඥාවන්තයෙකුයයි නොසිතන පිණිස ඔහුගේ මෝඩකම ඉස්මතු වන ලෙසින් ඔහුට පිළිතුරු දෙන්න.+
6 මෝඩයෙකුගේ අතට කාරණා භාර දෙන කෙනා තම දෙපා කපාගන්න කෙනෙකු මෙන්ද තමාටම හානියක් කරගන්න කෙනෙකු මෙන්ද වන්නේය.+
7 කොරගසන කෙනෙකුට පුළුවන්ද වතුර අදින්න? එසේනම්, මෝඩයෙකුටත් පුළුවන් වෙයි හිතෝපදේශ කියන්න.+
8 මෝඩයෙකුට ගෞරවය පිරිනැමීම+ ගල් ගොඩක ගලක් වළලා දමන්නාක් මෙනි.
9 මෝඩයෙකු විසින් පවසන හිතෝපදේශයක් බේබද්දෙකුගේ අතේ තිබෙන කටු අත්තක් මෙනි.+
10 මඟ යන එන අයව හෝ මෝඩයෙකුව හෝ කුලියට ගන්න කෙනෙකු හැම තැනටම ඊතල විදින දුනුවායෙකු මෙනි.+
11 මෝඩයෙකු එකම මෝඩකම නැවත නැවත කිරීම බල්ලෙකු උගේ වමනය ලෙව කන්නාක් මෙනි.+
12 තමා ප්රඥාවන්තයෙකුයයි සිතන මිනිසෙකුව ඔබ දන්නෙහිද?+ ඔහුට වඩා මෝඩයෙකු යහමඟට හැරෙයි කියා බලාපොරොත්තු තැබිය හැක.+
13 “පාරේ සිංහ පැටවෙක් සිටියි. මංසන්ධියේ සිංහයෙක් සිටී” යයි අලසයා කියයි.+
14 දොරක් නිතරම ඇරෙනවා වැහෙනවා හා සමානව අලසයාද තම යහන මත ඒ මේ අත පෙරළෙයි.+
15 අලසයා කෑම බඳුනට තම අත දැමුවද එය කට ළඟට ගැනීම පවා ඔහුට වෙහෙසකරයි.+
16 අලසයා සිතන්නේ නැණවත්ව පිළිතුරු දෙන සත්දෙනෙකුටත් වඩා තමා ප්රඥාවන්තයි කියාය.+
17 මඟ දිගේ යන විට අනුන්ගේ අඬදබරවලට මැදිහත් වී කෝප වන අයෙකු+ බල්ලෙකුගේ කන් දෙක අල්ලාගන්නෙකු මෙනි.
18 යමෙකු මාරාන්තික ගිනිමය ඊතල+ විදින වියරු වැටුණු කෙනෙකු මෙන් හැසිර 19 තම මිතුරාව රවටන්නේය. ඉන්පසු, “මම එය විහිළුවට කළෙමි”+ යයි ඔහු කියන්නේය.
20 දර නැති විට ගින්න නිවී යන්නා සේම නින්දා කරන්නෙකු නැති විට විවාදයද නතර වෙයි.+
21 නිතරම රණ්ඩුවට ඇදී යන මිනිසෙක් ගින්නට දමන දර මෙන්ද ලිපට දමන අඟුරු මෙන්ද වන්නේය.+
22 කේලාම් කියන්නාගේ වචන කෑදරකමින් ගිල දමන රසවත් කෑමක් මෙනි. එය ගිලගත් පසු ඇඟට හොඳින් උරාගනී.+
23 පණ වුණත් දෙන බවට බොරු මවාපෑමක් කරන කෙනා රිදී ආලේප කළ මැටි භාජනයක් මෙනි.+
24 යමෙක් තමා කතා කරන ආකාරයෙන් සිතේ ඇති වෛරය සඟවාගනී. ඔහුට සැබවින්ම හැඟෙන විදිහ ඔහු හෙළි නොකරයි.+ 25 ඔහු මිහිරි බස් පැවසුවත්+ ඔහුව විශ්වාස නොකරන්න.+ මන්ද ඔහුගේ සිතේ ද්වේෂසහගත සිතුවිලි සතක් තිබේ.+ 26 යමෙක් කපටිකමින් තම සිතේ වෛරය සඟවාගෙන සිටියත් ඔහුගේ දුෂ්ටකම සියල්ලන් ඉදිරියේ හෙළි වනු ඇත.+
27 අනුන්ට වළ කපන්නා තමන් කැපූ වළේම වැටෙයි.+ යමෙකු ගලක් පෙරළුවොත් ඒ ගල නැවත ඔහු දෙසටම පෙරළී එයි.+
28 යමෙකු බොරු කියා අනුන්ව රිදවන්නේ ඔහුගේ සිතෙහි තිබෙන වෛරය නිසාය.+ චාටු බස් දොඩන්නා හානි පමුණුවයි.+