-
මාක් 4:3-9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 “ඇහුම්කන් දෙන්න. එක මනුස්සයෙක් බීජ වපුරන්න පිටත් වෙලා ගියා.+ 4 එයා බීජ වපුරද්දී සමහර බීජ පාර දිගේ වැටුණා. කුරුල්ලෝ ඇවිත් ඒවා කාලා දැම්මා. 5 තවත් බීජ වැටුණේ පස් එච්චර නැති ගල් බිමක. ගැඹුරු පස් තට්ටුවක් තිබුණේ නැති නිසා ඒවා ඉක්මනින්ම පැළ වුණා.+ 6 ඒත් හොඳට මුල් ඇදලා තිබුණේ නැති නිසා ඉර පෑව්වාට පස්සේ ඒවා අව්වට පිච්චිලා මැරිලා ගියා. 7 තවත් බීජ වැටුණේ කටු ගස් අතරේ. කටු ගස් වැවිලා ඒවා යට කරලා දැම්ම නිසා ඒවා පල දැරුවේ නැහැ.+ 8 ඉතුරු බීජ සරු පසේ වැටුණා. ඒවා පැළ වෙලා, හොඳට වැඩිලා පල දරන්න පටන්ගත්තා. සමහර බීජවලින් 30 ගුණයක, තව ඒවාවලින් 60 ගුණයක, තවත් බීජවලින් 100 ගුණයක පලදාවක් ලැබුණා.”+ 9 ඊටපස්සේ ඔහු මෙහෙමත් කිව්වා. “ඇහුම්කන් දෙන්න කැමති අය ඇහුම්කන් දෙන්න.”+
-
-
ලූක් 8:4-8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 යේසුස් නගරයෙන් නගරයට යද්දී ඔහු එක්ක ගිය පිරිසට තවත් විශාල සෙනඟක් එකතු වුණා. ඒ වෙලාවේ ඔහු එයාලට උදාහරණයක් පාවිච්චි කරලා මෙහෙම ඉගැන්නුවා.+ 5 “මිනිසෙක් බීජ වපුරන්න පිටත් වෙලා ගියා. එයා වපුරද්දී සමහර බීජ පාර දිගේ වැටුණා. ඒවා යන එන අයගේ කකුල්වලට පෑගුණා. කුරුල්ලොත් ඇවිත් ඒවා කාලා දැම්මා.+ 6 තවත් සමහර බීජ ගල් බිමක වැටුණා. ඒවා පැළ වුණත් එතන තෙතමනයක් තිබුණේ නැති නිසා ඒවා වේළිලා ගියා.+ 7 තවත් බීජ වැටුණේ කටු ගස් අතරේ. ඒවාත් එක්ක කටු ගසුත් වැවුණ නිසා කටු ගස් ඒවා යට කරලා දැම්මා.+ 8 ඒත් අනිත් බීජ සරු පසේ වැටුණා. ඒවා පැළ වෙලා ඒවාවලින් 100 ගුණයක පලදාවක් ලැබුණා.”+ ඔහු ඒ දේවල් කිව්වාට පස්සේ “ඇහුම්කන් දෙන්න කැමති අය ඇහුම්කන් දෙන්න”* කියලා ශබ්ද නඟලා කිව්වා.+
-