දෙවෙනි යොහන්
1 වැඩිමහල්ලෙක් වන* මම, මේ ලියුම ලියන්නේ මං ගොඩක් ආදරේ කරන තෝරගත්ත කාන්තාවට සහ එයාගේ දරුවන්ටයි. මං විතරක් නෙමෙයි සත්‍ය ඉගැන්වීම් ගැන දැනගත්ත හැමෝම ඔයාලට ආදරෙයි. 2 අපි ඔයාලට ආදරේ කරන්නේ සත්‍ය ඉගැන්වීම් අපේ හිත්වල තියෙන නිසයි. ඒ ඉගැන්වීම් අපේ හිත්වල හැමදාටම තියෙනවා. 3 සත්‍ය ඉගැන්වීම් ගැන වගේම ආදරය ගැනත් අපිට උගන්වන්නේ පියාණන් වන දෙවියන් සහ ඔහුගේ පුතා වන යේසුස් ක්‍රිස්තුස්. ඔවුන්ගෙන් අපිට මහත් කරුණාව,* දයාව සහ සමාදානයත් ලැබෙනවා.
4 පියාණන් අපිට ආඥා කරපු විදිහට ඔයාගේ දරුවන්ගෙන් සමහරදෙනෙක් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙනවා කියලා මට දැනගන්න ලැබුණා.+ ඒ ගැන මං ගොඩක් සතුටු වෙනවා. 5 දැන් මං ඔයාගෙන්* ඉල්ලන්නේ එකිනෙකාට ආදරේ කරන්න කියලයි. (ඒක අලුත් ආඥාවක් නෙමෙයි. මුල ඉඳන්ම අපිට දුන්න ආඥාවක්.)+ 6 ආදරේ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ පියාණන් ආඥා කරලා තියෙන විදිහට ජීවත් වෙන එකටයි.+ මුල ඉඳන්ම ඔයාට අහන්න ලැබුණ ඒ ආඥාව තමයි දිගටම ආදරේ පෙන්නන්න කියන එක. 7 යේසුස් ක්‍රිස්තුස් මිනිසෙක් විදිහට ආවා කියන දේ පිළිගන්නේ නැති+ රැවටිලිකාරයෝ හුඟදෙනෙක් මේ ලෝකයේ ඉන්නවා.+ රැවටිලිකාරයන් සහ ක්‍රිස්තු විරෝධීන්*+ විදිහට හඳුන්වන්නේ ඒ වගේ අයවයි.
8 අපි ඔයාලා වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා කරපු දේවල් අපතේ යන්න දෙන්න එපා. එතකොට ඔයාලට ලැබෙන්න ඕනෙ තෑග්ග කිසිම අඩුවක් නැතුව ඔයාලට ලැබෙයි.+ 9 කෙනෙක් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පිටින් දේවල් උගන්වනවා නම් එයාට දෙවියන්ගේ අනුමැතිය නැහැ.+ ඒත් දිගටම ඒ ඉගැන්වීම්වලට අනුව ජීවත් වෙන කෙනාට පියාණන්ගේ වගේම පුතාගෙත් අනුමැතිය තියෙනවා.+ 10 කෙනෙක් ඔයාලා ළඟට ඇවිත් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට විරුද්ධ දෙයක් උගන්වනවා නම් ඒ වගේ කෙනෙක්ව ඔයාලාගේ ගෙදරට පිළිගන්නවත්+ එයාට සුබ පතන්නවත් එපා. 11 මොකද එයා එක්ක වචනයක් හරි කතා කළොත් ඔයාලත් එයාගේ දුෂ්ට ක්‍රියාවලට හවුල්කරුවෙක් වෙනවා.
12 ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒත් ඒ දේවල් ලියලා එවනවාට වඩා ඔයාව හම්බ වෙලාම කතා කරන්න මං හිතාගෙන ඉන්නවා. එතකොට ඔයා ගොඩක් සතුටු වෙයි.
13 තෝරගත්ත තැනැත්තිය වන ඔයාගේ සහෝදරියගේ දරුවනුත් ඔයාට සුබ පතනවා.