යෙරෙමියා
45 යොෂියාගේ පුතා වුණ යෙහෝයාකිම් යූදාවල රජකම් කරපු හතරවෙනි අවුරුද්දේදී+ නෙරියාගේ පුතා වුණ බාරුක් අනාගතවක්තෘ යෙරෙමියා කියපු දේවල් ලියවිල්ලක ලිව්වා.+ ඒ කාලේදීම යෙරෙමියා බාරුක්ට+ මේ පණිවිඩය දුන්නා.
2 “බාරුක්, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔයාට මෙහෙම කියනවා. 3 ‘ඔයා කියනවා “අනේ, මට වෙච්ච දේ! යෙහෝවා මගේ දුක තවත් වැඩි කළා. මට සැනසිල්ලේ ඉන්නවත් තැනක් නැහැ. මේ ජීවිතේ දැන් මට ඇති වෙලා” කියලා.’
4 “දැන් බාරුක්ට මෙහෙම කියන්න. ‘යෙහෝවා ඔයාට කියන්නේ මෙහෙමයි. “මං ගොඩනඟපු දේවල් මං කඩලා දානවා. හිටවපු දේවල් උදුරලා දානවා. ඒක මං මේ මුළු දේශයටම කරනවා.+ 5 ඒත් ඔයා හිතන්නේ ඔයාගේ දියුණුව ගැන විතරයි.* ඔයා ගොඩක් දේවල් පස්සේ යනවා. ඒක නවත්තන්න.”’
“‘මොකද මම ළඟදීම ලොකු විනාශයක් ගේනවා. හැම කෙනෙක්ටම ඒකට මුහුණ දෙන්න වෙනවා.+ හැබැයි ඔයා කොහේ ගියත් මං ඔයාගේ ජීවිතේ වස්තුවක් වගේ ආරක්ෂා කරලා දෙනවා’+ කියලා යෙහෝවා කියනවා.”