නික්මයාම
6 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “මං පාරාවෝට කරන්න යන දේ දැන් බලාගන්න.+ මං එයාට විරුද්ධව මගේ මහත් බලය* පාවිච්චි කරනවා. මගේ මහත් බලය දැක්කාම පාරාවෝට සිද්ධ වෙනවා මගේ සෙනඟට යන්න දෙන්න. එතකොට එයා සෙනඟව දේශයෙන් එළවලා දායි.”+
2 දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “මම යෙහෝවා. 3 මං ආබ්‍රහම්ට, ඊසාක්ට සහ යාකොබ්ට මාව හඳුන්වලා දුන්නේ සියලු බලය තියෙන දෙවියන් විදිහටයි.+ හැබැයි යෙහෝවා කියන මගේ නමින්+ මම එයාලට මාව හඳුන්වලා දුන්නේ නැහැ.*+ 4 එයාලා විදේශිකයන් විදිහට ජීවත් වුණ කානාන් දේශය එයාලට උරුමයක් විදිහට දෙනවා කියලා මං එයාලා එක්ක ගිවිසුමක් ඇති කරගත්තා.+ 5 ඒ ගිවිසුම මට අමතක වෙලා නැහැ.+ ඊජිප්තුවරුන් වහලුන් කරගෙන ඉන්න ඊශ්‍රායෙල්වරුන්ගේ දුක් ගැනවිලි මට ඇහෙනවා.
6 “ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කියන්න. ‘මම යෙහෝවා. මගේ මහත් බලය පාවිච්චි කරලා ඔයාලව වහලුන් කරගෙන ඉන්න ඊජිප්තුවරුන්ට මම දඬුවම් කරනවා.+ මං අනිවාර්යයෙන්ම ඔයාලව බේරගන්නවා. 7 ඔයාලව මගේ සෙනඟ විදිහට භාර අරන් මං ඔයාලාගේ දෙවියන් කියලා ඔප්පු කරලා පෙන්නනවා.+ ඊජිප්තුවරුන් කරන හැම කුරිරුකමකින්ම මං ඔයාලව නිදහස් කරනවා. එතකොට යෙහෝවා වන මම ඔයාලාගේ දෙවියන් කියලා ඔයාලා දැනගනියි. 8 මං ආබ්‍රහම්ට, ඊසාක්ට සහ යාකොබ්ට දෙනවා කියලා දිවුරලා පොරොන්දු වුණ දේශයට මං ඔයාලව අනිවාර්යයෙන්ම අරන් යනවා. ඒ දේශය මං ඔයාලට උරුම කරලා දෙනවා.+ මම යෙහෝවා.’”+
9 දෙවියන් කියපු ඒ හැම දේම මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට දැන්නුවා. ඒත් වහලුන් විදිහට වින්ද පීඩා නිසාත් අධෛර්යය වෙලා හිටිය නිසාත් එයාලා මෝසෙස් කියපු දේවල් පිළිගත්තේ නැහැ.+
10 ආයෙත් යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 11 “ඊජිප්තුවරුන්ගේ රජ වන පාරාවෝට කියන්න ඊශ්‍රායෙල්වරුන්ට මේ දේශයෙන් යන්න දෙන්න කියලා.” 12 ඒත් මෝසෙස් යෙහෝවාට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්වත් මං කියන දේ අහන්නේ නැහැ.+ එහෙනම් පාරාවෝ මං කියන දේ අහයිද? හරියට කතා කරගන්නවත් බැරි මං වගේ කෙනෙක්ට එයා ඇහුම්කන් දෙයිද?”+ 13 ඒත් ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගේන්න කරන්න ඕනෙ දේවල් යෙහෝවා ආයෙත් මෝසෙස්ට සහ ආරොන්ට කිව්වා. ඒ ගැන ඊශ්‍රායෙල්වරුන්ට සහ ඊජිප්තුවේ රජ වන පාරාවෝට දන්වන්න කියලත් කිව්වා.
14 ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්ගේ නම් මේවායි. ඊශ්‍රායෙල්ගේ කුලුඳුලා වන රූබෙන්ගේ+ පුතාලාගේ නම් හනොක්, පල්ලූ, හෙස්රොන් සහ කාමී.+ ඒ හැමෝම රූබෙන්ගෙන් පැවතෙන අය.
15 සිමියොන්ගේ පුතාලාගේ නම් යෙමුවෙල්, යාමින්, ඕහද්, යාකින්, ෂෝහර් සහ කානානිය ස්ත්‍රියකගේ+ පුතෙක් වුණ ෂාවුල්. ඒ හැමෝම සිමියොන්ගෙන් පැවතෙන අය.
16 ලෙවීගේ+ පුතාලාගේ නම් මේවායි. ගේර්ෂොන්, කෝහාත් සහ මෙරාරී.+ ඒ හැම පුතෙක්ගෙම නමින් පෙළපත් බිහි වුණා. ලෙවී අවුරුදු 137ක් ජීවත් වුණා.
17 ගේර්ෂොන්ගේ පුතාලාගේ නම් මේවායි. ලිබ්නි සහ ෂිමෙයි. ඒ දෙන්නාගේ නමිනුත් පෙළපත් බිහි වුණා.+
18 කෝහාත්ගේ පුතාලාගේ නම් අම්රාම්, ඉෂ්හාර්, හෙබ්‍රොන් සහ උස්සියෙල්.+ කෝහාත් අවුරුදු 133ක් ජීවත් වුණා.
19 මෙරාරීගේ පුතාලාගේ නම් මාලී සහ මූෂී.
ලෙවී ගෝත්‍රයට අයිති පවුල් ඒවායි.+
20 අම්රාම් එයාගේ තාත්තාගේ ළඟම නෑයෙක්* වුණ යොකෙබෙද්ව විවාහ කරගත්තා.+ යොකෙබෙද්ට ආරොන් සහ මෝසෙස් කියන පුතාලා ලැබුණා.+ අම්රාම් අවුරුදු 137ක් ජීවත් වුණා.
21 ඉෂ්හාර්ගේ පුතාලාගේ නම් කෝරා,+ නෙෆෙග් සහ ෂික්රී.
22 උස්සියෙල්ගේ පුතාලාගේ නම් මිෂායෙල්, එල්ෂාෆාන්+ සහ සිත්රී.
23 ආරොන් අමිනදාබ්ගේ දුව වුණ එලිෂෙබාව විවාහ කරගත්තා. එලිෂෙබා නාෂොන්ගේ+ සහෝදරියයි. එලිෂෙබාට නාදාබ්, අබිහු, එලියාසර් සහ ඉතමාර්+ කියන පුතාලා ලැබුණා.
24 කෝරාගේ පුතාලාගේ නම් අස්සීර්, එල්කානා සහ අබියාසාෆ්.+ ඒ එක් එක් කෙනාගේ නමින් පවුල් බිහි වුණා.+
25 ආරොන්ගේ පුතා වුණ එලියාසර්,+ පුතියෙල්ගේ දුවෙක් එක්ක විවාහ වුණා. එයාට පිනෙහාස්ව+ ලැබුණා.
ලෙවීවරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්ගේ නම් ඒවායි.+
26 ලෙවී ගෝත්‍රයට අයිති වෙලා හිටිය ආරොන්ට සහ මෝසෙස්ට තමයි යෙහෝවා කිව්වේ “ඊශ්‍රායෙල්වරුන්ව එක එක කණ්ඩායම්වලට වෙන් කරලා* ඊජිප්තුවෙන් පිටතට අරන් එන්න” කියලා.+ 27 ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්න කියලා ඊජිප්තුවේ රජ වන පාරාවෝ එක්ක කතා කළේ ඒ දෙන්නායි.+
28 ඊජිප්තු දේශයේදී යෙහෝවා දෙවියන් මෝසෙස්ට කතා කළා. 29 එදා යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “මම යෙහෝවා. මං ඔයාට කියන හැම දෙයක්ම ඊජිප්තුවේ රජ වන පාරාවෝට කියන්න.” 30 එතකොට මෝසෙස් යෙහෝවාට මෙහෙම කිව්වා. “මට හරියට කතා කරගන්නවත් බැහැ. ඉතින් පාරාවෝ මං කියන දේ අහයිද?”+