ලෙවී කතාව
12 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “ඊශ්රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘කාන්තාවක් ගැබ්ගෙන පුතෙක් බිහි කළොත් ඇගේ ඔසප් දවස්වලදී වගේ දවස් හතක් යන කල් ඇය අපවිත්ර කෙනෙක් විදිහට සැලකිය යුතුයි.+ 3 අටවෙනි දවසේදී දරුවාව චර්මච්ඡේදනය කළ යුතුයි.+ 4 ලේ ගැලීම නිසා ඇය ඉන්නේ අපවිත්ර තත්වයක. ඒ නිසා පවිත්ර වෙන්න තව දවස් 33ක් ඇය නිවසේ රැඳී සිටිය යුතුයි. ඒ දවස් සම්පූර්ණ වෙන කල් ශුද්ධස්ථානයට* යන එකෙන් සහ ශුද්ධ දේවල් අල්ලන එකෙන් ඇය වළකින්න ඕනේ.
5 “‘ඇය දුවෙක් බිහි කළොත් ඇගේ ඔසප් දවස්වලදී වගේ දවස් 14ක් යන කල් ඇයව අපවිත්ර කෙනෙක් විදිහට සැලකිය යුතුයි. ලේ ගැලීම නිසා ඇය ඉන්නේ අපවිත්ර තත්වයක. ඒ නිසා පවිත්ර වෙන්න තව දවස් 66ක් ඇය නිවසේ රැඳී සිටිය යුතුයි. 6 ඇය පුතෙක්ව හරි දුවෙක්ව හරි බිහි කළාට පස්සේ පවිත්ර වෙන්න වෙන් කරපු දවස් සම්පූර්ණ වුණාම මේ විදිහට කරන්න ඕනේ. දවන පූජාවක්+ හැටියට අවුරුද්දක් විතර වයස බැටළුවෙක්වයි, පාප පූජාවක් හැටියට පරෙවියෙක්ව නැත්නම් කොබෙයියෙක්ව හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගෙනල්ලා පූජකයාට දිය යුතුයි. 7 පූජකයා ඒ පූජා යෙහෝවා ඉස්සරහා ඔප්පු කරලා ඇය වෙනුවෙන් සමාව ලබාගත යුතුයි. එතකොට ලේ ගැලීම නිසා අපවිත්ර වුණ ඇය පවිත්ර වෙයි. දරුවෙක් බිහි කරන කාන්තාවක් පිළිපදින්න ඕනෙ නීතිය ඒකයි. 8 ඇයට බැටළුවෙක්ව ගේන්න තරම් වත්කමක් නැත්නම් ඇය කොබෙයියන් දෙන්නෙක්ව හරි පරෙවියන් දෙන්නෙක්ව හරි ගේන්න ඕනේ.+ එකෙක් දවන පූජාවට. අනිකා පාප පූජාවට. පූජකයා ඒ පූජා දෙවියන් ඉස්සරහා ඔප්පු කරලා ඇය වෙනුවෙන් සමාව ලබාගත යුතුයි. ඊටපස්සේ ඇයව පවිත්ර කෙනෙක් විදිහට සලකනවා.’”