නික්මයාම
8 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “පාරාවෝ ළඟට ගිහින් මෙහෙම කියන්න. ‘යෙහෝවා දෙවියන් ඔබට කියන්නේ මෙහෙමයි. “මට නමස්කාර කරන්න මගේ සෙනඟට යන්න දෙන්න.+ 2 ඔයා එයාලට යන්න දුන්නේ නැත්නම් මං ගෙඹි වසංගතයකින් ඔයාගේ මුළු දේශයටම පහර දෙනවා.+ 3 නයිල් ගඟ වැහෙන තරමටම ගෙම්බෝ බෝ වෙයි. උන් ගඟෙන් එළියට ඇවිත් ඔයාගේ මාලිගාවටත් නිදන කාමරයටත් ඇඳ උඩටත් ඔයාගේ සේවකයන්ගේ ගෙවල්වලටත් යයි. සෙනඟගේ ඇඟවල්වලටත් නඟියි. උදුන්වලටත් පිටි අනන භාජනවලටත් උන් පනියි.+ 4 ඔයාත් ඔයාගේ සෙනඟත් ඔයාගේ සේවකයන් හැමෝමත් උන් නිසා පීඩා විඳියි.”’”
5 යෙහෝවා මෝසෙස්ට මෙහෙමත් කිව්වා. “ආරොන්ට මෙහෙම කියන්න. ‘ඔයාගේ සැරයටිය ඊජිප්තුවේ ඇළදොළ, ගංගා සහ පොකුණු දිහාවට දික් කරන්න. එතකොට දේශයේ අස්සක් මුල්ලක් නෑර ගෙම්බෝ බෝ වෙයි.’” 6 ඉතින් ආරොන් ඊජිප්තු දේශයේ ජලාශ දිහාවට එයාගේ අත දික් කළා. එතකොට ගෙම්බෝ වතුරෙන් උඩට ඇවිත් දේශය පුරාම පැතිරුණා. 7 හැබැයි මන්තර ගුරුකම් කරන පූජකයනුත් එයාලාගේ මන්තර බලයෙන් ඊජිප්තුවේ ගෙම්බෝ ඇති වෙන්න සැලැස්සුවා.+ 8 ඊටපස්සේ පාරාවෝ මෝසෙස්ටයි, ආරොන්ටයි එන්න කියලා මෙහෙම කිව්වා. “යෙහෝවාට පූජා ඔප්පු කරන්න මං සෙනඟට යන්න දෙන්නම්. ඒ නිසා මං වටෙත් මගේ සෙනඟ වටෙත් ඉන්න මේ ගෙම්බන්ව අයින් කරලා දාන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න.”+ 9 ඒ වෙලාවේ මෝසෙස් පාරාවෝට මෙහෙම කිව්වා. “ඔබ වටෙත් ඔබේ සේවකයන් සහ සෙනඟ වටෙත් ඔබේ ගෙවල්වලත් ඉන්න ගෙම්බන්ව අයින් කරන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලන්නම්. ගෙම්බෝ නයිල් ගඟේ විතරක් ඉතුරු වෙයි. දෙවියන්ගෙන් මං ඒක ඉල්ලන්න ඕනෙ කවදාද කියලා ඔබම මට කියන්න.” 10 එතකොට පාරාවෝ “හෙටම ඒක කරන්න” කියලා කිව්වා. ඒ වෙලාවේ මෝසෙස් මෙහෙම කිව්වා. “ඔබ කියපු විදිහටම වෙයි. ඒකෙන් ඔබ දැනගනියි අපේ දෙවි යෙහෝවාට සමාන වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ කියලා.+ 11 ඔබ වටෙත් ඔබේ සේවකයන් සහ සෙනඟ වටෙත් ඔබේ ගෙවල්වලත් ඉන්න ගෙම්බෝ අයින් වෙලා යයි. උන් නයිල් ගඟේ විතරක් ඉතුරු වෙයි.”+
12 පාරාවෝ එක්ක කතා කළාට පස්සේ මෝසෙස් සහ ආරොන් එතනින් ගියා. ගෙම්බන් අයින් කරන්න කියලා මෝසෙස් යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලුවාම+ 13 යෙහෝවා මෝසෙස් කියපු විදිහටම කළා. ගෙවල්වල, මිදුල්වල සහ වතුපිටිවල හිටපු ගෙම්බෝ මැරුණා. 14 සෙනඟ උන්ව එකතු කරලා හැම තැනම ගොඩගැහුවා. දේශය පුරාම උහුලන්න බැරි ගඳක් පැතිරිලා ගියා. 15 ඒත් ගෙඹි වසංගතය ඉවර වුණාම යෙහෝවා දෙවියන් කිව්ව විදිහටම පාරාවෝ ආයෙත් එයාගේ හිත මුරණ්ඩු කරගත්තා.+ මෝසෙස් සහ ආරොන් කිව්ව දේ අහන්න එයා කැමති වුණේ නැහැ.
16 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “මේ දේ ආරොන්ට කියන්න. ‘ඔයාගේ සැරයටියෙන් පොළොවට ගහන්න. එහෙම කරද්දී ඊජිප්තුව පුරාම තියෙන දූවිල්ල, වැලි මැක්කන් වෙයි.’” 17 ඒ දෙන්නා ඒ විදිහටම කළා. ආරොන් එයාගේ සැරයටියෙන් පොළොවට ගැහුවාම දේශය පුරාම තිබුණ දූවිලි, වැලි මැක්කන් වුණා.+ උන් මිනිසුන්ගේ සහ සතුන්ගේ ඇඟවල්වලටත් නඟින්න පටන්ගත්තා. 18 මන්තර ගුරුකම් කරන පූජකයනුත් එයාලාගේ මන්තර බලයෙන් දූවිල්ල වැලි මැක්කන් කරන්න හැදුවා.+ ඒත් එයාලට ඒක කරන්න බැරි වුණා. මිනිස්සුයි, සත්තුයි දිගටම වැලි මැක්කන්ගෙන් පීඩා වින්දා. 19 මන්තර ගුරුකම් කරන පූජකයන් පාරාවෝට කිව්වා “මේක නම් දෙවියන්ගේ බලයෙන්* කරපු දෙයක්”+ කියලා. ඒත් යෙහෝවා කියපු විදිහටම පාරාවෝ මුරණ්ඩු විදිහට වැඩ කළා. එයා ඒගොල්ලන් කියපු දේ ගාණකටවත් ගත්තේ නැහැ.
20 පස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “උදේ පාන්දරින්ම නැඟිටලා පාරාවෝ ගඟ ළඟට එන වෙලාවේදී එයාව හම්බ වෙලා මෙහෙම කියන්න. ‘යෙහෝවා ඔබට කියන දේ අහන්න. “මට නමස්කාර කරන්න මගේ සෙනඟට යන්න දෙන්න. 21 එහෙම කළේ නැත්නම් මම ඔයාටත් ඔයාගේ සේවකයන්ටත් සෙනඟටත් පීඩා කරන්න ගඩු මැස්සන්ව* එවනවා. ඊජිප්තුවරුන්ගේ ගෙවල් පිරෙන්නම ගඩු මැස්සන් ඉඳියි. එයාලා ජීවත් වෙන පැතිවල පොළොව වැහෙන තරමට උන් ඉඳියි. 22 ඒත් මගේ සෙනඟ පදිංචි වෙලා ඉන්න ගෝෂෙන් ප්රදේශය මං ගඩු මැස්සන්ගෙන් ආරක්ෂා කරනවා. එක ගඩු මැස්සෙක්වත් එහේ ඉන්නේ නැහැ.+ යෙහෝවා වන මම මේ දේශයේ ඉන්නවා+ කියලා ඒකෙන් ඔයා දැනගනියි. 23 මං මගේ සෙනඟත් ඔයාගේ සෙනඟත් අතර පැහැදිලි වෙනසක් දකින්න සලස්වනවා. හෙට ඔයාට ඒක දකින්න ලැබෙයි.”’”
24 යෙහෝවා දෙවියන් කියපු විදිහටම ඒක කළා. පාරාවෝගේ මාලිගාවටත් එයාගේ සේවකයන්ගේ ගෙවල්වලටත් ඊජිප්තුවේ හැම ප්රදේශයකටමත් ගඩු මැස්සෝ රංචු පිටින් ආවා.+ උන් දේශය නාස්ති කළා.+ 25 අන්තිමේදී පාරාවෝ මෝසෙස්ටයි, ආරොන්ටයි එන්න කියලා මෙහෙම කිව්වා. “උඹලට පුළුවන් මේ දේශයේම ඉඳන් උඹලාගේ දෙවියන්ට නමස්කාර කරන්න.” 26 හැබැයි මෝසෙස් පාරාවෝට මෙහෙම කිව්වා. “අපිට එහෙම කරන්න බැහැ. අපේ දෙවි යෙහෝවාට අපි ඔප්පු කරන පූජා ඊජිප්තුවරුන් පිළිකුල් කරයි.+ ඊජිප්තුවරුන් ඉස්සරහම ඒ වගේ දෙයක් කළොත් ඒගොල්ලෝ අපිට ගල් ගහයි. 27 ඒ නිසා අපේ දෙවි යෙහෝවා කිව්වා වගේ අපි දවස් තුනක දුරක් පාළුකරයට ගිහින් ඔහුට පූජා ඔප්පු කරන්නම්.”+
28 එතකොට පාරාවෝ එයාලට මෙහෙම කිව්වා. “උඹලාගේ දෙවි යෙහෝවාට පූජා ඔප්පු කරන්න පාළුකරයට යන්න දෙන්නම්. හැබැයි ඔය කියන තරම් දුරක් නම් යන්න දෙන්න බැහැ. දැන් මං වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන්න.”+ 29 එතකොට මෝසෙස් මෙහෙම කිව්වා. “මම දැන් ගිහින් ඔබ වෙනුවෙන් යෙහෝවාට කන්නලව් කරන්නම්. හෙට වෙද්දී ගඩු මැස්සෝ ඔක්කොම අයින් වෙලා යයි. හැබැයි මේ පාර නම් වචනේ වෙනස් කරන්න එපා. කිව්ව විදිහටම යෙහෝවාට නමස්කාර කරන්න සෙනඟට යන්න දෙන්න.”+ 30 එහෙම කිව්වාට පස්සේ මෝසෙස් එතනින් ගිහින් යෙහෝවා දෙවියන්ට කන්නලව් කළා.+ 31 යෙහෝවා දෙවියන් මෝසෙස්ගේ ඉල්ලීම ඉටු කළා. දේශයේ එක ගඩු මැස්සෙක්වත් ඉතුරු වුණේ නැහැ. ඒ නිසා තවදුරටත් පාරාවෝටත් එයාගේ සේවකයන්ටත් එයාගේ සෙනඟටත් උන්ගෙන් පීඩා විඳින්න වුණේ නැහැ. 32 ඒත් පාරාවෝ මේ වතාවෙත් එයාගේ හිත මුරණ්ඩු කරගෙන සෙනඟට යන්න දුන්නේ නැහැ.