දෙවෙනි රාජාවලිය
10 ආහබ්ගේ+ පුතාලා 70දෙනෙක් සමාරියේ හිටියා. ඉතින් යේහු ලියුම් කීපයක් ලියලා ඒවා සමාරියේ හිටපු යෙෂ්‍රෙයෙල්වල අධිපතීන්ටයි, වැඩිමහල්ලන්ටයි,+ ආහබ්ගේ පුතාලාගේ භාරකරුවන්ටයි* යැව්වා. ඒ ලියුම්වල මෙහෙම සඳහන් වුණා. 2 “ඔබත් එක්ක ඔබේ ස්වාමියාගේ පුතාලා ඉන්නවා. ඒ වගේම අශ්ව රථ, අශ්වයන් සහ යුධායුධ තියෙනවා. ඔබ ඉන්නෙත් පවුරකින් වට වුණ නගරෙක. ඉතින් මේ ලියුම ලැබුණ ගමන්ම 3 ඔබේ ස්වාමියාගේ පුතාලා අතරින් හොඳම, රජකමට සුදුසුම කෙනාව තෝරගෙන එයාගේ තාත්තාගේ රජකම එයාට භාර දෙන්න. ඊටපස්සේ ඔබේ ස්වාමියාගේ පෙළපත වෙනුවෙන් සටන් කරන්න.”
4 ඒත් එයාලා හොඳටම බය වෙලා මෙහෙම කතා වෙන්න පටන්ගත්තා. “මේ අහන්න! යේහුට විරුද්ධ වෙන්න රජවරු දෙන්නෙක්ටත් බැරි වුණා.+ එහෙනම් අපි කොහොමද එයාට විරුද්ධ වෙන්නේ?” 5 ඉතින් මාලිගාව භාරව හිටපු කෙනායි, නගරයේ ආණ්ඩුකාරයායි, වැඩිමහල්ලෝයි, දරුවන්ගේ භාරකරුවෝයි මේ පණිවිඩය යේහුට යැව්වා. “අපි ඔබේ සේවකයෝ. ඔබ අපිට කියන ඕනෙම දෙයක් අපි කරන්නම්. අපි කාවවත් රජකමට පත් කරන්නේ නැහැ. ඔබට හොඳයි කියලා හිතෙන ඕනෙම දෙයක් ඔබ කරන්න.”
6 එතකොට යේහු එයාලට තවත් ලියුමක් ලියලා මෙහෙම දැන්නුවා. “ඔබ මට පක්ෂව ඉඳලා මං කියන දේ කරන්න කැමතියි නම් ඔබේ ස්වාමියාගේ පුතාලාගේ ඔළු ටික අරගෙන හෙට මේ වෙලාව වෙද්දී මාව හම්බ වෙන්න යෙෂ්‍රෙයෙල්වලට එන්න.”
ඒ වෙද්දී රජගේ පුතාලා 70දෙනා හිටියේ එයාලව ඇතිදැඩි කරපු අය එක්කයි. ඒ අය නගරයේ හිටපු ප්‍රසිද්ධ අය. 7 ඒ ලියුම ලැබුණ ගමන්ම එයාලා රජගේ පුතාලා 70දෙනාවම මරලා දැම්මා.+ ඊටපස්සේ එයාලාගේ ඔළු කූඩවල දාලා යෙෂ්‍රෙයෙල්වල හිටපු යේහුට යැව්වා. 8 පණිවිඩකරුවෙක් ඇවිත් යේහුට මෙහෙම දැනුම් දුන්නා. “රජගේ පුතාලාගේ ඔළු ටික එවලා තියෙනවා.” එතකොට යේහු “ඒවා අරන් ගිහින් නගරේ දොරටුව ළඟ ගොඩවල් දෙකක් ගහලා උදේ වෙන කල් තියන්න” කියලා කිව්වා. 9 පහුවෙනිදා උදේ යේහු එළියට ගිහින් සෙනඟ ඉස්සරහා හිටගෙන මෙහෙම කිව්වා. “ඔයාලා අතේ කිසි වරදක් නැහැ.* මං පිළිගන්නවා මං මගේ ස්වාමියාට විරුද්ධව කුමන්ත්‍රණය කරලා එයාව මැරුවා කියලා.+ ඒත් මෙයාලව මැරුවේ කවුද? 10 එහෙනම් ඒකෙන් තේරෙනවා යෙහෝවා දෙවියන් ආහබ්ගේ පවුලට විරුද්ධව කියපු හැම දෙයක්ම ඒ විදිහටම ඉටු වෙනවා කියලා. යෙහෝවා කියපු හැම වචනයක්ම ඒ විදිහටම ඉටු වෙනවා.+ යෙහෝවා ඔහුගේ සේවකයා වුණ එලියා මාර්ගයෙන් කියපු දේ දැන් ඔහු ඉටු කරලා තියෙනවා.”+ 11 ඊටපස්සේ යේහු යෙෂ්‍රෙයෙල්වල ඉතුරු වෙලා හිටපු ආහබ්ගේ පවුලේ හැමෝවම මරලා දැම්මා. ආහබ්ට සේවය කරපු ප්‍රසිද්ධ අය හැමෝවමත් ආහබ්ගේ යාළුවන්වත් පූජකයන්වත්+ එයා මරලා දැම්මා. ආහබ්ට කිට්ටුවෙන් හිටපු කිසිම කෙනෙක්ව යේහු ඉතුරු කළේ නැහැ.+
12 ඊටපස්සේ යේහු සමාරියට යන්න පිටත් වුණා. එයා ගිය පාරේ බැටළුවන්ගේ ලොම් කපන තැනක්* තිබුණා. 13 එතනදී යේහුට යූදාවල රජ වුණ අහසියාගේ+ සහෝදරයන්ව හම්බ වුණා. “ඔයාලා කවුද” කියලා යේහු එයාලාගෙන් ඇහුවාම එයාලා මෙහෙම කිව්වා. “අපි අහසියා රජගේ සහෝදරයෝ. අපි මේ යන්නේ රජගේ පුතාලයි, මව් බිසවයි* හොඳින් ඉන්නවාද කියලා බලන්න.” 14 එතකොටම යේහු “මෙයාලව අල්ලගන්න” කියලා කිව්වා. ඉතින් එයාලා ඒ 42දෙනාව අල්ලගෙන බැටළුවන්ගේ ලොම් කපන තැන තිබුණ පොකුණ ළඟදී එයාලව මරලා දැම්මා. යේහු එයාලාගෙන් එක් කෙනෙක්වත් ඉතුරු කළේ නැහැ.+
15 යේහු එතනින් පිටත් වෙලා යද්දී එයාව හම්බ වෙන්න ආපු රේකාබ්ගේ+ පුතා වුණ යෙහොනාදාබ්ව+ යේහුට මුණගැහුණා. යේහු යෙහොනාදාබ්ට ආචාර* කරලා මෙහෙම කිව්වා. “මගේ හිතේ ඔයාට ලොකු ළැදිකමක් තියෙනවා කියලා ඔයා දන්නවා. ඒ වගේම ළැදිකමක් ඔයාටත් මං ගැන තියෙනවාද?”
එතකොට යෙහොනාදාබ් “ඔව්” කියලා උත්තර දුන්නා.
“එහෙනම් මට ඔයාගේ අත දෙන්න.”
ඉතින් යෙහොනාදාබ් එයාගේ අත යේහුට දික් කළා. යේහු යෙහොනාදාබ්ගේ අතින් ඇදලා එයාව අශ්ව රථයට නග්ගගත්තා. 16 යේහු එයාට මෙහෙම කිව්වා. “දැන් මාත් එක්ක එන්න. යෙහෝවාට විරුද්ධව වැඩ කරන අයට මං පොඩ්ඩක්වත් ඉඩක් දෙන්නේ නැහැ.* මං දැන් කරන්න යන දේ ඔයාට බලන්න පුළුවන්.”+ ඉතින් යේහු යෙහොනාදාබ්ව එයාගේ යුධ රථයේ එක්කගෙන ගියා. 17 යේහු සමාරියට ගිහින් ආහබ්ගේ පවුලේ ඉතුරු වෙලා හිටපු හැමෝවම මරලා දැම්මා. එයාලාගෙන් කිසිම කෙනෙක්ව ඉතුරු කළේ නැහැ.+ යෙහෝවා දෙවියන් එලියා මාර්ගයෙන් කියපු දේ ඒ විදිහටම ඉටු වුණා.+
18 යේහු මිනිස්සු හැමෝවම රැස් කරලා මෙහෙම කිව්වා. “ආහබ් රජත් බාල්ට නමස්කාර කළා තමයි.+ ඒත් යේහු ඊටත් වැඩියෙන් බාල්ට නමස්කාර කරන්නයි යන්නේ. 19 ඉතින් දැන් බාල්ගේ අනාගතවක්තෘවරුන්වයි,+ බාල්ට නමස්කාර කරන අයවයි, පූජකයන්වයි+ මං ළඟට එක්කගෙන එන්න. එක් කෙනෙක්ටවත් නෑවිත් ඉන්න දෙන්න එපා. මොකද මං බාල් වෙනුවෙන් මහා පූජාවක් ඔප්පු කරන්නයි යන්නේ. කවුරු හරි කෙනෙක් එන්නේ නැත්තං එයාට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.” ඒත් යේහු කපටි විදිහට බාල්ට නමස්කාර කරන හැමෝවම විනාශ කරන්න ලෑස්ති වෙලයි හිටියේ.
20 යේහු මෙහෙමත් කිව්වා. “බාල්ට නමස්කාර කරන්න විශේෂ රැස්වීමක් තියෙනවා කියලා නිවේදනය කරන්න.” ඉතින් එයාලා ඒ ගැන නිවේදනය කළා. 21 ඊටපස්සේ යේහු ඊශ්‍රායෙල් දේශය පුරාම පණිවිඩයක් යැව්වා. ඉතින් බාල්ට නමස්කාර කරන හැමෝම ආවා. කිසිම කෙනෙක් එන්නේ නැතුව හිටියේ නැහැ. එයාලා ඇවිල්ලා බාල්ගේ දේවාලයට ඇතුල් වුණා.+ බාල්ගේ දේවාලය ඇඟිල්ලක්වත් ගහන්න බැරි වෙන තරමට මිනිස්සුන්ගෙන් පිරුණා. 22 එතකොට යේහු ඇඳුම් තිබුණ කාමරේ භාරව හිටපු කෙනාට මෙහෙම කිව්වා. “ඇඳුම් ගෙනල්ලා බාල්ට නමස්කාර කරන මේ හැමෝටම ඒවා දෙන්න.” ඉතින් එයා එහෙම කළා. 23 ඊටපස්සේ යේහු රේකාබ්ගේ පුතා වුණ යෙහොනාදාබ්+ එක්ක බාල්ගේ දේවාලේ ඇතුළට ගියා. බාල්ට නමස්කාර කරන අයට එයා මෙහෙම කිව්වා. “යෙහෝවාට නමස්කාර කරන එක් කෙනෙක් හරි ඔයාලා අතරේ ඉන්නවාද කියලා හොඳට හොයලා බලන්න. මෙතන ඉන්න ඕනෙ බාල්ට නමස්කාර කරන අය විතරයි.” 24 ඊටපස්සේ එයාලා පූජා සහ දවන පූජා ඔප්පු කරන්න පටන්ගත්තා. ඒත් ඊට කලින් යේහු මිනිස්සු 80දෙනෙක්ව දේවාලෙන් එළියේ හිටවලා එයාලට මෙහෙම කියලා තිබුණා. “මෙතන ඉන්න කාට හරි බේරිලා යන්න ඉඩ දුන්නොත් එයා වෙනුවට ඒකට ඉඩ දුන්න කෙනාව මම මරනවා.”
25 දවන පූජාව ඔප්පු කරලා ඉවර වුණ ගමන්ම යේහු මුරකරුවන්ටයි, හමුදා නිලධාරීන්ටයි මෙහෙම කිව්වා. “ඉක්මනට ඇවිත් මෙයාලව මරලා දාන්න! එක් කෙනෙක්ටවත් බේරිලා යන්න දෙන්න එපා.”+ ඉතින් මුරකරුවනුයි, හමුදා නිලධාරීනුයි බාල්ට නමස්කාර කරපු අයට කඩුවෙන් පහර දීලා එයාලව එළියට වීසි කළා. එයාලා බාල්ගේ දේවාලේ ශුද්ධස්ථානය* ඇතුළටම ගිහින් ඒ කට්ටියව මරලා එළියට වීසි කළා. 26 ඊටපස්සේ එයාලා බාල්ගේ දේවාලේ නමස්කාර කරන්න හදලා තිබුණ කුලුනු+ ගලවලා ඒවා එළියට ගෙනල්ලා පුච්චලා දැම්මා.+ 27 බාල්ට නමස්කාර කරන්න හදලා තිබුණ කුලුනත්+ කඩලා දාලා බාල්ගේ දේවාලේ+ විනාශ කරලා ඒක වැසිකිළියක් කළා. අද වෙන කල්ම ඒක වැසිකිළියක් විදිහට පාවිච්චි කරනවා.
28 ඒ විදිහට යේහු ඊශ්‍රායෙල් දේශයෙන් බාල් නමස්කාරය අතුගාලා දැම්මා. 29 ඒත් යේහු බෙතෙල්වල සහ දාන්වල තිබුණ රන් වස්සන්ව අයින් කළේ නැහැ.+ ඒකට ඉඩහැරපු එකෙන් ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් කරපු වරදම එයාත් කළා. 30 යෙහෝවා දෙවියන් යේහුට මෙහෙම කිව්වා. “ඔයා හොඳ දේවල් කළා. ආහබ්ගේ පවුලේ අයට කරනවා කියලා මම තීරණය කරපු දේ+ ඔයා ඒ විදිහටම කරලා මං ඉස්සරහා හරි දේ කළා. ඒ නිසා ඔයාගෙන් පැවතෙන පරම්පරා හතරක් ඊශ්‍රායෙල්වල රජකම් කරනවා.”+ 31 ඒත් යේහු ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා දුන්න නීතියට මුළු හදවතින්ම කීකරු වෙලා ඒක පිළිපැද්දේ නැහැ.+ ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු යෙරොබොවම් කරපු වැරදිවලින් එයා අයින් වුණේ නැහැ.+
32 ඒ කාලේදී ඊශ්‍රායෙල්වරුන්ගේ දේශයේ සමහර පැති එයාලට අහිමි වෙන්න යෙහෝවා ඉඩහැරියා. හසායෙල් දිගටම ඊශ්‍රායෙල් දේශයේ හැම පළාතකටම පහර දුන්නා.+ 33 යොර්දාන් ඉඳන් නැඟෙනහිරට තියෙන මුළු ගිලියද් දේශයම ඒ කියන්නේ ගාද්, රූබෙන් සහ මනස්සේ ගෝත්‍රවලට+ අයිති ප්‍රදේශ එයා අල්ලගත්තා. ඒකට ආනොන් නිම්නය ළඟ තියෙන අරෝයේර් ඉඳලා ගිලියද් දක්වාත් බාෂාන් දක්වාත් තියෙන ප්‍රදේශ අයිතියි.+
34 යේහුගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක්ම ගැනත් එයාගේ ශ්‍රේෂ්ඨත්වය ගැනත් ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 35 යේහු මැරුණාම එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. එයාව තැන්පත් කළේ සමාරියේ. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ යෙහෝයහාෂ්+ රජකමට පත් වුණා. 36 යේහු සමාරියේ ඉඳන් අවුරුදු 28ක් ඊශ්‍රායෙල් දේශය පාලනය කළා.