රූත්
3 දවසක් රූත්ගේ නැන්දම්මා වන නායොමි රූත්ට මෙහෙම කිව්වා. “දුවට හොඳ කෙනෙක්ව* හොයලා බන්දලා දෙන එක මගේ යුතුකමක්.+ එතකොට දුවට සතුටින් ඉන්න පුළුවන්. 2 බෝවස් අපේම නෑයෙක්නේ.+ ඔයා මෙච්චර දවසක් වැඩ කළේ එයාගේ සේවිකාවන් එක්ක. අද රෑ එයා කමතේ බාර්ලි පොළනවා.* 3 දුව ඇඟපත හෝදගෙන ඇඟේ සුවඳ තෙල් ටිකක් ගාගන්න. ඊටපස්සේ හොඳ ඇඳුමක් ඇඳගෙන කමතට යන්න. බෝවස් කාලා බීලා ඉවර වෙන කල් ඔයා එතන ඉන්නවා කියලා එයාට දැනගන්න දෙන්න එපා. 4 එයා නිදාගන්නේ කොහෙද කියලා බලාගන්න. ඊටපස්සේ එයාගේ කකුල්වලින් පොරවන රෙද්ද අයින් කරලා එයාගේ කකුල් දෙක ළඟ නිදාගන්න. කරන්න ඕන දේ එයා දුවට කියයි.”
5 එතකොට රූත් “ඔයා කියන විදිහටම මං කරන්නම්” කියලා නායොමිට කිව්වා. 6 ඊටපස්සේ රූත් කමතට ගිහින් නැන්දම්මා කියපු විදිහටම කළා. 7 ඔය අතරේ බෝවස් හොඳට කාලා බීලා හිතේ සතුටින් ධාන්‍ය ගොඩ කෙළවරට ගිහින් නිදාගත්තා. ඊටපස්සේ රූත් හෙමින් සැරේ එතනට ගිහින් එයාගේ කකුල්වලින් පොරවන රෙද්ද අයින් කරලා එයාගේ කකුල් දෙක ළඟ ඇල වුණා. 8 මැදියම් රෑ බෝවස් ගැස්සිලා ඇහැරුණා. හැරිලා බලද්දී එයා දැක්කා එයාගේ කකුල් දෙක ළඟ ගැහැනු කෙනෙක් නිදාගෙන ඉන්නවා. 9 එතකොට බෝවස් “ඔයා කවුද” කියලා ඇහුවා. රූත් එයාට මෙහෙම කිව්වා. “මං ඔබේ දාසිය වන රූත්. අනේ, ඔබේ දාසිය වන මට ඔබේ රැකවරණය දෙන්න.* ඔබ අපේ නෑදෑයෙක්.* ඉතින් නෑදෑයෙක් අතින් වෙන්න ඕන වගකීම් ඉටු කරන්න කියලා මං ඔබෙන් ඉල්ලනවා.”+ 10 එතකොට බෝවස් මෙහෙම කිව්වා. “යෙහෝවාගෙන් ඔයාට ආශීර්වාද ලැබෙන්න ඕනෙ දුවේ! ඔයා කලින් කරපු හැම දේකටම වඩා+ ඔයා දැන් කරපු මේ දෙයින් ඔයාගේ හිතේ කොච්චර ලොකු ආදරයක්* තියෙනවාද කියලා පේනවා. ඔයාට ඕනෙ නම් තිබුණා පොහොසත් නැත්නම් දුප්පත් තරුණයෙක්ව තෝරගන්න. ඒත් ඔයා එහෙම කළේ නැහැ. 11 ඉතින් දුවේ, බය වෙන්න එපා. ඔයා කියන හැම දෙයක්ම මං කරන්නම්.+ මොකද නුවරේ* හැමෝම දන්නවා ඔයා කොච්චර ගුණ යහපත් කෙනෙක්ද කියලා. 12 ඇත්ත, මං ඔයාගේ නෑදෑයෙක් තමයි.+ ඒත් මට වඩා ළඟින් නෑ වෙන කෙනෙක් ඔයාලට ඉන්නවා.+ 13 අද රෑ ඔයා මෙහේ නවතින්න. හෙට උදේට මං ගිහින් එයා එක්ක කතා කරන්නම්. නෑදෑයෙක්ගෙන් වෙන්න ඕන වගකීම් ඉටු කරන්න එයා කැමති වුණොත් එයා ඔයාව බේරගනී.+ ඒත් එයා ඒකට කැමති වුණේ නැත්නම් මං ඒ වගකීම භාරගන්නම්. මං ඒක ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහා දිවුරලා පොරොන්දු වෙනවා. ඔයා උදේ වෙන කල් මෙහේ ඉන්න.”
14 රූත් අලුයම වෙන කල් බෝවස්ගේ කකුල් දෙක ළඟ නිදාගෙන හිටියා. ඊටපස්සේ කාටවත් එයාව අඳුරගන්න බැරි වෙන්න, එළිය වැටෙන්න කලින්ම එයා එතනින් පිට වෙලා යන්න ලෑස්ති වුණා. ඒ වෙලාවේ බෝවස් කිව්වා “කමතට ස්ත්‍රියක් ආවා කියලා කිසිම කෙනෙක්ට දැනගන්න ඉඩ තියන්න හොඳ නැහැ” කියලා. 15 එයා රූත්ට කිව්වා “ඔයාගේ සළුව දිගඅරින්න” කියලා. රූත් එයාගේ පිට සළුව දිගඇරියාම බෝවස් බාර්ලි මිනුම් හයක්* ඒකට දාලා එයාට දුන්නා. ඊටපස්සේ බෝවස් නුවරට ගියා.
16 රූත් එයාගේ නැන්දම්මා ගාවට ගියාම නායොමි ඇහුවා “කොහොමද දුවේ?* ඊයේ රෑ මොකද වුණේ” කියලා. එතකොට රූත් බෝවස් කරපු කියපු හැම දේම එයාට කිව්වා. 17 “‘ඔයාගේ නැන්දම්මා ළඟට හිස් අතින් යන්න එපා’ කියලා එයා මට මේ බාර්ලි මිනුම් හය දුන්නා” කියලත් රූත් කිව්වා. 18 ඊටපස්සේ නායොමි මෙහෙම කිව්වා. “ඊළඟට මොකද වෙන්නේ කියලා අපි ටිකක් ඉවසලා බලමු දුවේ. එයා කොහොමහරි අදම මේ කාරණය විසඳයි කියලා මට විශ්වාසයි.”