වර්ණවත් කොරල් පර ලෝකය
පැපුවා නියූ ගිනියාවේ පිබිදෙව්! වාර්තාකරු විසින්
පැපුවා නියූ ගිනියාවේ සම්පූර්ණ වෙරළබඩ තීරයම පාහේ කොරල් පරවලින් වට වී තිබෙනවා. යටගිය දවස්වල නාවිකයන් ඒවා සැලකුවේ උවදුරක් හැටියට පමණයි. එනමුත් ඒ වටා තිබෙන සමුද්‍රයන් ගවේෂණය කර තිබෙන අයට නම්, කොරල් පර කියන්නේ ඉමහත් සේ අලංකාර, වර්ණවත් සහ නිස්කලංක ලොවකට දොරකඩයි, ඇත්තටම ජලය යට තිබෙන බහුරූපේක්ෂයක්!
ජලය යට තිබෙන මෙම ලෝකය ඡායාරූපගත කිරීමට තැත් කිරීම සැබෑ අභියෝගයක්. එක දෙයක් තමයි, ජලය යට තිබෙන වස්තූන් හරියටම ඒවා පිහිටා තිබෙන නියම දුරින් තුන්කාලක තරම් ඈතකින් තිබෙනවා වගේ පෙනීම; එමනිසා නාභිගත කිරීම අමාරුයි. ජලය ආලෝකය උරාගන්නවා, විසුරුවා හරිනවා එමෙන්ම වර්තනය කරනවා. ඒ වගේම කාලගුණය, සූර්යයාගේ කෝණය, ඇල්ගී මෙන්ම ප්ලවාංග පැවතීම, ජලයේ ගැඹුර සහ මුහුදු පතුලේ ස්වරූපය මෙන්ම වර්ණය අනුවත් වර්ණ සෑහෙන දුරට වෙනස් වෙනවා. ඒ සියල්ලටම වඩා, ජලය, ඡායාරූපගත කරන දෙය සහ ඡායාරූප ශිල්පියාවත් නිරන්තරයෙන්ම චලනය වෙනවා.
කොහොම වුණත්, මේ සම්බන්ධව ඇතැම් ඡායාරූප ශිල්පීන් යම් දුරකට සාර්ථක ප්‍රතිඵල නෙළාගෙන තිබෙනවා. මෙහිදී ඔබ දකින පින්තූරු, ජලය යට ගවේෂණවලදී ගත් ඒවායි. රළ පහරට යටින් ඡායාරූපගත කර තිබෙන චිත්තාකර්ෂණීය ජීවීන් සතරදෙනෙකු ඔබට හඳුන්වා දෙන්න අවසර.
කොටි කවඩියා (සයිප්රියා ටයිග්‍රිස්) නමැති ගැඹුරේ අලංකාර වැසියෙක්ව ඡායාරූප අංක 1 දක්වනවා. විසිතුරු මෝස්තරවලින් යුත් උගේ කටුවේ වයිරම් නොව තිත් තිබෙන නිසා මෙම නම අසාමාන්‍යයි. කොටි කවඩියා කොරල් සහ ඉස්පන්ජිය ආහාරයට ගන්නා නිසා, ඌව මෙහෙ සුලභව දැකගත හැකියි. උන් කෙරෙහි පුරාණ චීනුන්ගේ සිත කොතරම් ඇදී ගියාද කිව්වොත්, උගේ සිප්පි කට්ට මුදල් හැටියට ඔවුන් භාවිත කළා. පැපුවා නියූ ගිනියාවේ, ඇතැම් ස්වදේශීය වෙළඳපොළවල් කවඩි මාරු කාසි හැටියට තවමත් භාවිත කරනවා. කොහොම වුණත්, දේශීය වැසියන් බොහෝදුරට ඒවා එකතු කරන්නේ ඒවායේ ඇති ඔපවත් අලංකාරය නිසයි.
ඡායාරූප අංක 2 තමයි අලංකාරවත් වර්ණ ගැන්වූ නාළ පණුවා (ස්පයිරෝබ්රැන්කස් ජයිගැන්ටියස්). ඌ මළ කොරල් මත ජීවත් වෙනවා වෙන්න පුළුවන්, නැතහොත් ජීවමාන කොරල්වල ගුල් හාරා එහි ජීවත් විය හැකියි. නිසොල්මනේ ඉන්න විට ඌ මලකට සමානයි. ඒත් බඩගිනි වෙද්දී, පසුකොට යන ආහාර අංශු ඉක්මනින් ඩැහැගන්න ඌ, අඬු “දැලක්” ආකාරයට හැඩගස්වාගන්නවා. උගේ පිහාටු වැනි අඬු චලනය වෙද්දී, ඌ හරියටම පවන් සලන කුඩා නැට්ටුවන් පේළියක් වගෙයි. පින්තූරයේ ඉන්න එකා පළලින් මිලිමීටර් 10ක් විතරයි. ඒත් ඕනෑම හදිස්සි චලනයක් කිරීමෙන් වැළකී සිටීමට ඡායාරූප ශිල්පියා වගබලා ගත යුතුයි. අනතුරක සේයාවක් දුටු වහාම, ඇසි පිය හෙළන ක්ෂණයකින්, මෙම සියුමැළි ක්ෂුද්‍ර රූප උන්ගේ නිවහනක් බඳු කොරල් තුළට රිංගා ගනී.
ඡායාරූප අංක 3 ඉස්පන්ජියයි. ඔබේ නාන තටාකයේ තිබෙන කෘත්‍රිම ඉස්පන්ජියට එය සමානකමක් නොදක්වන තරම්. ඇත්තටම කියනවා නම් ඉස්පන්ජියක් කියන්නේ ශාකයක් නෙවෙයි, නමුත් ජීවමාන සත්වයෙක්. එය ඉතා පුදුමාකාර ආකාරයකින් එකට ක්‍රියාත්මක වෙන දිය උරාගන්නා සෛල ස්කන්ධයක්. ඉස්පන්ජිවල සෛල “සමීපව එකට සංවිධානය වෙලාවත් එකිනෙක මත රඳා පවතින්නේවත් නැහැ” කියා දි අන්ඩ’සී (මුහුද යට) කියන පොත කියනවා. “මේ අනුව, ජීවමාන ඉස්පන්ජියක් කැබලිවලට ඉරනු ලැබුවොත්, ඒ එක් එක් කොටස අවසානයේදී අලුත් ඉස්පන්ජියක් බවට පත් වෙනවා. ඒ එක් එක් සෛල පවා එකිනෙකින් වෙන් වුණත්, එකට එකතු වූ සම්පූර්ණ ඉස්පන්ජියක් නැවත ගොඩනැඟෙන තුරු ඒවා ඇමීබාවන් මෙන් එකට ඇඹරි ඇඹරි ඉන්නවා.”
තම ආහාරය නිෂ්පාදනය කරන ශාකයකට වෙනස්ව, ඉස්පන්ජිය උගේ ආහාරය සඳහා “දඩයම්” කරනවා. අවට තිබෙන ජලය උරා බොමින් ඓන්ද්‍රීය ද්‍රව්‍ය එයින් පෙරාගන්නවා. වෙනත් ඕනෑම සතෙක් වගේ, ඌත් උගේ ආහාරය දිරවා අපද්‍රව්‍ය පිට කරනවා. පර්වතවල හෝ මුහුදු පතුලේ තිබෙන කටුවල, ඉස්පන්ජි ඇලී සිටිනවා දැකීමට ඔබට හැකි වෙයි.
අවසාන වශයෙන්, ඡායාරූප අංක 4හි පහත් මට්ටියා දකින්න පුළුවන්. ඌ එක තැනකට සීමා වී සිටින අතර, කොරල් ගල් මත නැතහොත් නිකම්ම මුහුදු පතුලෙහි සිටිනවා පහසුවෙන්ම සොයාගත හැකියි. වැඩිදෙනෙක් ප්ලවාංග ජලයෙන් පෙරාගැනීමෙන් පෝෂණය ලබනවා. මට්ටියාට කටු දෙකක් නැතහොත් කපාට දෙකක් තිබෙන නිසා, ඌව හඳුන්වන්නේ ද්විකපාට මෘද්වංගියෙක් හැටියටයි. මේවා එකට තබාගන්නේ බන්ධනයකින්; ඇරීමට සහ වැසීමට සලස්වන්නේ බලගතු පේශි දෙකක් මගින්. මට්ටියෙකුට ගමන් කරන්න අවශ්‍යතාවක් තිබෙන විට, ඌ විවෘත වන අතර, උගේ මස් සහිත පාදය ටිකක් එළියට එනවා. ඒත් සතුරෙක් ළං වුණොත්, ඌ ආපසු කටුව තුළට ගොස් වැසෙනවා.
කොරල් මුහුදුවල දැකගත හැකි විශිෂ්ට දර්ශන යන්තම් හරි දැකීමට මෙම පින්තූරු ඉවහල් වෙනවා; ඇත්තටම මෙය යෙහෝවාගේ නිර්මාණාත්මක ප්‍රඥාව ප්‍රදර්ශනය වී තිබෙන තවත් තැනක්.—රෝම 1:20.
[16, 17වන පිටුවේ පින්තූර]
1. කොටි කවඩියා තවමත් මුදල් සඳහා භාවිත කරනවා
2. මේ “මල්” ඇත්තටම නාළ පණුවෝ
3. මේ ස්පන්ජිය ශාකයක් නෙවෙයි, සතෙක්
4. මට්ටියා ප්ලවාංග මත පෝෂණය වෙනවා (කට පෙන්වා තිබෙනවා)