8 පාඩම
සූදානම් වීමේ වටිනාකම
1-5. සූදානම් වීම වටින්නේ කවරෙකුට ද, එමෙන් ම මන්ද?
1 “සියලු යහපත් වැඩවලට සූදානම්ව සිටින්ට . . . ඔවුන්ට [ක්‍රිස්තියානින්ට] සිහිකරවාපන්න” යයි ජාතීන්ට ප්‍රේරිතයෙක් වූ පාවුල් තම සහෝදර සේවකයා වූ තීතස්ගෙන් උදක් ම ඉල්ලා සිටියේ ය. (තීතස් 3:1, 2) එයින් අදහස් කළේ කිසියම් අනාගත ක්‍රියාවක් සඳහා මනසේ සහ සිතේ ස්වභාවයෙන් ඔවුහු සූදානම් ව සිටිය යුතු බව ය.
2 ඕනෑ ම දිව්‍යාණ්ඩු ප්රයත්නයක් සඳහා සූදානම් ව සිටීම ඇත්ත වශයෙන් ම වටිනා දෙයකි. එක්තරා ක්‍රියාකාරකමකට ඔබ පළමුවරට සහභාගි වන විට, එම ක්ෂේත්රය අලුත් නිසා අමතර සූදානමක් ඔබට අවශ්‍ය බව සැබෑ ය. එහෙත් ඔබේ දැනුම් සම්භාරය වැඩි වෙත් ම, ඔබ අතීතයේ කර ඇති පාඩම් සහ ඔබ ලබා ඇති අද්දැකීම් උපයෝගි කළ හැකි බව ඔබට පෙනී යනු ඇත. එහෙත්, ඔබ එක්තරා වර්ගයක පැවරුමක් කොපමණ වාරයක් ඉටු කර තිබුණත්, සූදානම් වීම නිතර ම වටිනා දෙයකි.
3 කථා පැවරුමක් ලබා ඇති අයට පමණක් නොව, ශුභාරංචිය පිළිබඳ හොඳින් සුදුසුකම් ලබා ඇති සේවකයෙකු වීමට කැමති සෑම කෙනෙකුට ම සූදානම අවශ්‍ය ය. ඔබ මාස හෝ අවුරුදු ගණනාවකට ගෙයින්-ගෙට සේවයේ සහභාගි වූවායින් පසු, ඔබ ඒ සඳහා යන සෑම අවස්ථාවක ම, පෙර සූදානම් වීම සඳහා එතරම් කාලයක් මිඩංගු කිරීමට අවශ්‍ය නැති බව ඔබට පෙනී යනු ඇත. එහෙත්, ඔබ සූදානම් වන්නේ නම්, ඔබ වඩා කාර්ය සාධක වනු ඇත. බයිබල් පාඩමක් පැවැත්වීම සම්බන්ධයෙන් ද තත්ත්වය එසේ ම ය. ඔබ පැවැත් වූ ප්‍රථම බයිබල් පාඩමට විශාල සූදානම් වීමක් අවශ්‍ය නමුත් ඔබ එක්තරා කොටසක් වාර කිහිපයක් ම පාඩම් කර ඇතත්, ඔබේ සුවිශේෂ ශිෂ්‍යයා මනසේ තබා ගෙන එය නැවත පුනරීක්ෂණය කරන්නේ නම්, එම පාඩම ඔබ වඩා හොඳින් කරනු ඇත. වේදිකාවෙන් කථාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද මෙය සැබෑ ය. අවුරුදු ගණනාවක් මුළුල්ලේ ලබා ගත් අද්දැකීම් මහත් උපකාරයකි. එහෙත්, ඔබට කථාවක් ඉදිරිපත් කිරීමට ඇති බව කලින් දන්වනු ලැබුවහොත්, සූදානමින් තොර ව එය ඉදිරිපත් කිරීමට වෑයම් නොකරන්න.
4 දිව්‍යාණ්ඩු සේවා පාසල සම්බන්ධයෙන් සූදානම අප සියලු දෙනා සඳහා ම වටිනා දෙයකි. සෑම ශිෂ්‍යයෙක් ම සතු ව ඇති පාසල් වැඩසටහන් පිටපතෙහි දෙනු ලබන ඕනෑ ම දිනයක සඳහන් කර ඇති බයිබල් පරිච්ඡේද සහ වෙනත් අංග බලා දැන ගත හැක. ඔබ සූදානම් වන තරමට පාසලෙන් වැඩි ප්‍රයෝජන ලබා ගත හැක. පූර්ව සූදානමේ වටිනාකම හඳුනා ගැනීමට අසමත්වීම නිසා ඔබට බොහෝ සැබෑ ප්‍රයෝජන අහිමි විය හැක.
5 සූදානම් වීමට කාලය අවශ්‍ය ය, නමුත් ඒ සඳහා දරන ප්රයත්නය වටිනා බව ප්‍රතිඵලවලින් ඔප්පු කෙරේ. සූදානම වාචික පුනරීක්ෂණවලට උපකාරවත් අන්දමින් සහභාගි වීමේ හැකියාව ලබා දෙනවා පමණක් නොව, යෙහෝවඃ වහන්සේගේ අදහස් දැනගැනීමටත්, සත්‍යයේ ‘නිර්මල භාෂාව’ වටහා ගැනීම දියුණු කර ගැනීමටත් ඔබට උදව් වනු ඇත. (ශෙප. 3:9) දිව්‍යාණ්ඩු පාසල සඳහා සූදානම් වීම පුරුද්දක් කර ගැනීම සඳහා අදාළ කියවීම සහ පාඩම ඔබේ ම පවුලේ සාමාජිකයන් සමඟ හෝ මිතුරන් සමඟ කියවීමට ඔබට කටයුතු සලස්වා ගත හැක. සැබවින් ම, දිව්‍යාණ්ඩු පාසලට ඇතුල් වී සිටින සෑම දෙනාට ම කථා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබෙන නිසා, ඒවා සූදානම් කරන ආකාරය පිළිබඳ යෝජනා ඔවුනට උපකාරයක් වනු ඇත.
6. සේවා පාසලේ කියවීමේ පැවරුමක් සඳහා අප සූදානම් විය යුත්තේ කෙසේ ද?
6 කියවීමේ පැවරුම්. කලින් කලට දිව්‍යාණ්ඩු සේවා පාසල් වැඩසටහනට කියවීමේ පැවරුම් ඇතුළත් විය හැක. එබඳු පැවරුමකට සූදානම් වන විට, එම කොටස් සුපරීක්ෂාකාරී ව කියවන්න. නම් සහ අපහසු වචන උච්චාරණය කිරීම හුරු කර ගන්න. අනුමානයකින් හෝ වැරදිවලින් තොර ව කරුණු සම්භාෂණාත්මක, චතුර ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව ලබා ගැනීම සඳහා කියවීම ශබ්ද නගා පුහුණු වන්න. එමෙන් ම, කරුණු නියමිත කාලය තුළ ඉදිරිපත් කළ හැකි දැයි ස්ථිර ලෙස පරීක්ෂා කර බලන්න.
7-11. ප්‍රකාශිත ලිපියකින් කථාවක් වර්ධනය කරන විට, උපයෝගි කරගන්නට යන සුවිශේෂ කරුණු තෝරා ගැනීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු මොනවා ද?
7 මුද්‍රිත ලිපියකින් කථාවක් වර්ධනය කිරීම. මේ වර්ගයේ කථාවක් සම්බන්ධයෙන් කළ යුතු පළමු වෙනි දෙය නම්, පවරා ඇති කොටස සුපරීක්ෂාකාරී ව කියවීම ය. ප්‍රධාන කරුණ යටින් ඉරි ඇඳ ගන්න, එසේ නැත්නම්, කඩදාසි කැබැල්ලක ප්‍රධාන කරුණු ඇතුළත් කෙටි සටහනක් ලියා ගන්න. වර්ධනය කොට ඇති ප්‍රධාන අදහස් පැහැදිලි ලෙස වටහා ගන්න. දැන් ඔබට නියමිත කාලය තුළ භාවිතා කළ හැකි කරුණුවලට වඩා වැඩි ප්‍රමාණයක් තිබිය හැකි බැවින්, ඔබ තෝරා ගන්නට යන්නේ කුමන කරුණු ද? තෝරා ගැනීම කෙරෙහි බලපෑ හැකි සමහරක් දේවල් මෙසේ ය: (1) ඔබේ ශ්‍රාවක පිරිස සහ පසුබිම—කරුණු ප්‍රායෝගික අන්දමින් භාවිතා කළ හැකි ආකාරය නිරූපනය කිරීමට පසුබිම ඉවහල් වේ නම් යෙහෙකි, එමෙන් ම (2) ඔබේ තේමාව සහ දීමට බලාපොරොත්තු වන කරුණුවල සුවිශේෂී අදාළත්වය.
8 ඔබේ සබය සලකා බලන කල ඔවුන්ට උනන්දුව ඇති කරවන සහ ප්‍රයෝජනවත් වන කරුණු, ප්‍රකාශිත ලිපියෙන් තෝරා ගැනීමට ඔබට අවශ්‍ය වනු ඇත. ප්‍රකාශිත ලිපියේ සමහරක් ඡේද එක්තරා සබයකට බර වැඩි බව පෙනෙන්නේ නම්, වෙනත් ඡේද කෙරෙහි අවධානය යොමු කරන්න. එමෙන් ම, ඔබ නියම දේවලට හේතු පැහැදිලි කිරීමක් වශයෙන්, තෝරා ගත් ශුද්ධ ලියවිලි පාඨ ස්වල්පයක් ප්‍රමාණවත් වනු ඇත. ඔබ ඔබේ සබය ගැන සැලකිලිමත් වන්නේ නම්, ඔබ ප්‍රමාණයට වඩා කරුණු ඉදිරිපත් නොකරනු ඇත, මක්නිසා ද, ඔබ ලහි ලහියේ කථාව ඉදිරිපත් කළොත්, එහි වටිනාකම බොහෝ සේ අඩු වන හෙයිනි. ඒ නිසා, කරුණු ස්වල්පයක් හොඳින් ඉදිරිපත් කිරීම වඩා හොඳ ය.
9 බොහෝ ශිෂ්‍ය කථා සම්බන්ධයෙන් නම්, එයට සුවිශේෂ පසුබිමක් යොදා ගැනීම ප්‍රයෝජනවත් ය. ගෙයින්-ගෙට සේවයේ දී පුද්ගලයෙකුට කථා කරන විලාසයෙන් ඔබට කරුණු ඉදිරිපත් කළ හැක; එසේ නැත්නම්, නැවත බැලීමක දී, ප්‍රශ්නයකට පිළිතුරු දීමක් විය හැක; එසේත් නැත්නම්, අනියම් සාක්ෂි දරන අවස්ථාවක් විය හැක. ඔබේ ම දරුවන්ගෙන් කෙනෙකුට පැහැදිලි කරන ස්වරූපයෙන් පවා ඔබට එම කරුණු ඉදිරිපත් කළ හැක. භාවිතා කළ හැකි පසුබිම් තවත් බොහොමයක් ඇත. පසුබිමක් භාවිතා කිරීමේ දී වැදගත් වන ප්‍රධාන කරුණ නම්, එය හැකි තරම් දුරට යථාර්ථවාදී විය යුතු වීම ය. එමනිසා, පසුබිම පිළිබඳ කාරණය ගැන දැඩි ලෙස සැලකිලිමත් වන්න. එය වෙනත් ප්‍රචාරකයන් සමඟ ද සාකච්ඡා කරන්න, මක්නිසා ද ඔවුන්ට යම් කදිම යෝජනා තිබිය හැකි බැවිනි.
10 ඔබ තෝරා ගෙන තිබෙන්නේ කුමන තේමාවක් ද? කරුණු ඔබ අදාළ කරන්නට යන්නේ කෙසේ ද? ප්‍රකාශිත ලිපියෙන් ඔබ කරුණු තෝරා ගත යුත්තේ ඒ අනුව ය. ඔබේ කථාවේ තේමාවට සහ අරමුණට සැබවින් ම දායක නොවන කරුණු ඔබ අත් හැරිය යුතු ය. සාමාන්‍යයෙන් කියතොත්, ඔබේ කථාවට අවශ්‍ය කරුණු ලිපියේ ම සඳහන් වී ඇත, ඒ නිසා බාහිර කරුණු විශාල ප්‍රමාණයක් ගෙනහැර පානවාට වඩා ලිපියේ සඳහන් කරුණුවලට පමණක් අවධානය යොමු කිරීම හොඳ ය. එහෙත් සුදුසු නිදසුනක් ඇතුළත් නොකළ යුතු බව හෝ පවරා ඇති කොටසේ වටිනාකම අගය කිරීමට සබයට උපකාර වන වෙන යම් කරුණක් උපයෝගි නොකළ යුතු බව මෙයින් අදහස් නොකෙරේ. හැකි සෑම විට ම සබයේ සියලු දෙනාට ම වැඩි ම ප්‍රයෝජනය ලබා ගත හැකි වන පරිදි කරුණුවල අදාළත්වය පෙන්වා දීමට අමතක නොකරන්න.
11 තේමාව සහ පසුබිම තෝරා ගැනීමෙන් පසු, ප්‍රකාශිත ලිපියේ සමහර ඡේද ඔබේ කථාවට හොඳින් නොගැළපෙන බව ඔබට හැඟෙන්නට පුළුවන. සෑම ඡේදයක ම සඳහන් අදහස් උපයෝගි කර ගත යුතු යයි නීතියක් නැත. එහෙත් මේ දෙය කරන්න: ලිපියේ සඳහන් වැඩි කරුණු ප්‍රමාණයක් යුක්ති සහගත ලෙස උපයෝගි කර ගත හැකි තේමාවක් සහ පසුබිමක් තෝරා ගන්න.
12. පවරා ඇති ශුද්ධ ලියවිලි පද ලැයිස්තුවක් කථාවකට වර්ධනය කරන්නේ කෙසේ ද?
12 ශුද්ධ ලියවිලි පාඨ ලැයිස්තුවකින් කථාවක් වර්ධනය කිරීම. ඇතැම් විට එක්තරා ශුද්ධ ලියවිලි පාඨ ලැයිස්තුවක් ඔබට පවරනු ලැබිය හැක. සාකච්ඡා කිරීමට බයිබල් මාතෘකා නැතහොත් රීසනිං ෆ්‍රොම් ද ස්ක්‍රිප්චර්ස් යන පොත ඔබේ භාෂාවෙන් පිට වී ඇත්නම්, එම ශුද්ධ ලියවිලි පාඨ මේවායින් උපුටා ගත් ඒවා විය හැක. එවිට ඔබේ අරමුණ විය යුත්තේ මෙම ශුද්ධ ලියවිලි පද දේශනයක ආකාරයකට හෝ ක්ෂේත්‍ර සේවයේ සම්භාෂණයක ආකාරයට වර්ධනය කිරීම ය. නියමිත කාලය තුළ උපයෝගි කළ හැකි ප්‍රමාණයට වඩා වැඩි පද ප්‍රමාණයක් ඇත්නම්, ඔබට භාවිතා කිරීමට අවශ්‍ය පද පමණක් තෝරා ගන්න. නියම කාලය තුළ උපයෝගි කර ගත හැකි ප්‍රමාණයට වඩා වැඩි පද ප්‍රමාණයක් උපයෝගි නොකිරීම වඩා හොඳ ය. ඉන් පසු, ඔබ භාවිතා කරන්නට යන එක් එක් පදය විග්රහ කරන්න. එය භාවිතා කිරීමේ හේතුව තීරණය කරන්න. ඔබ එක් එක් පදය සඳහා හැඳින්වීමෙන් එය භාවිතා කිරීමේ හේතුව නාභි ගත වන විධියට ඔබේ කථාව සූදානම් කරන්න. එමෙන් ම, ඔබ ශුද්ධ ලියවිලි පදයක් කියවන ආකාරයෙන් එහි ප්‍රධාන අදහස අවධාරණය කළ යුතු ය. අවසාන වශයෙන් ඔබ එහි අදාළත්වය පෙන්වා දෙන ආකාරයෙන් එහි ප්‍රධාන අදහස කාවද්දනු ඇත.
13-15. විෂයක් පවරා, කථාවට පදනම හැටියට සුවිශේෂ මූලාශ්‍රයක් නියම නොකළ විට, කථාව වර්ධනය කිරීම සඳහා ප්‍රයෝජනවත් ලෙස අනුගමනය කළ හැකි පියවර මොනවා ද?
13 විෂය පමණක් පවරනු ලැබූ විට. දිව්‍යාණ්ඩු සේවා පාසලේ දී හෝ සේවා රැස්වීමේ දී හෝ වෙනත් වැඩසටහන්වල දී හෝ ඔබට විෂය පමණක් පවරා, එය මත දේශනයක් ඉදිරිපත් කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටින අවස්ථා ද තිබිය හැක. ඔබේ කථාවට පදනමක් වශයෙන් භාවිතා කළ හැකි කිසි ම කරුණක් ඔබට දෙනු නොලබයි. එවැනි අවස්ථාවල දී අනුගමනය කළ යුතු යයි නිර්දේශිත ක්‍රියා පටිපාටිය මෙසේ ය: ඔබගේ මනස සෝදිසි කොට, වර්ධනය කිරීම සඳහා වටින්නේ යයි ඔබ විශ්වාස කරන කරුණු සටහන් කර ගන්න. එම පළමු පියවර වැදගත් ය. ඔබේ කථාව නැවුම් ගතියෙන් යුක්ත ව ද එසේ නැත්නම්, වෙනත් මිනිසුන්ගේ අදහස් නැවත කීමක් පමණ ද කියා තීරණය කරන්නට යන්නේ එයයි. එමෙන් ම, එය ඔබේ පර්යේෂණවල ක්ෂේත්රය, සීමා කරන නිසා අරමුණක් නැති සෙවීමෙන් සහ කියවීමෙන් වළක්වයි. ඊටත් වඩා වැදගත් දේ නම්, ඔබේ පෞරුෂත්වයට බාහිර ශෛලියකට වඩා ඔබේ ම ශෛලියෙන් ඉදිරිපත් කරනු ලබන කථාවක් බවට පත්වීමට ඉඩ තිබීමයි. ඔබේ විෂය ගැන මේරූ පුද්ගලයන් සමඟ කථා කිරීම ද උපකාරී විය හැක. ඔබේ විෂය වර්ධනය කළ හැකි ආකාරය පිළිබඳ හොඳ අදහස් ඔවුන් සතු ව තිබිය හැක.
14 බයිබල් සූචියක සහ සමිතියේ සූචිවල ආධාරයෙන් බයිබලයේ සහ වෙනත් ප්රකාශනවල ඇති කරුණු පර්යේෂණය කොට ඔබේ ම තොරතුරුවලට එකතු කිරීමට ඔබ ඊළඟට සූදානම් ය. ඔබ පර්යේෂණය සඳහා භාවිතා කරන ඕනෑ ම ප්රකාශනයක පටුන ප්‍රථමයෙන් සෝදිසි කිරීමෙන් ඔබට එයින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගත හැක. ඉන් පසු, ඔබට වැඩියෙන් ම උපකාර විය හැකි කරුණු ඇති තැන සොයා දැනගැනීම සඳහා සූචිය පරීක්ෂා කර බලන්න. වරණීය වීමෙන් ඔබට බොහෝ කාලය ඉතිරි කළ හැක. ඔබ කියවන විට, ඔබේ තේමාවට කෙළින් ම සම්බන්ධ නොවන නමුත් උනන්දුව ඇති කරවන සුලු කරුණු ඔබට මුණ ගැසුණු විට, ඒවායින් ඔබේ අවධානය වෙනතකට යාමේ අවදානමක් ඇත. යන්තමින් කියවා ඔබට භාවිතා කළ හැකි කොටස් පමණක් ලකුණු කිරීමෙන් ඔබට මෙම අවදානම මඟ හැර විය හැක. බොහෝ විට ඔබ කළ යුතු ව ඇත්තේ එක් එක් ඡේදයේ මාතෘකා වගන්තිය පමණක් කියවා ඉන් පසු ඔබේ භාවිතයට ඉතාමත් සුදුසු යයි පෙනෙන ඡේද පමණක් කියවීම ය.
15 ඔබේ ම අදහස් සහ වෙනත් මූලාශ්‍රවලින් උපුටා ගත් කරුණුවලින් ඔබට නියම වී ඇති කාලය තුළ ඉදිරිපත් කළ හැකි හොඳ ම කරුණු තෝරා ගැනීමට දැන් ඔබ සූදානම් ය. මෙම කරුණු සම්භාරයෙන් තෝරා ගන්නා විට, මෙම ප්‍රශ්න ඔබෙන් ම අසා ගන්න: එය ප්‍රායෝගික ද? එය උනන්දුව ඇති කරවන සුලු ද? එය මගේ තේමාව කැපී පෙනෙන්නට සලස්වයි ද?
16, 17. සටහන් ලිවීම සම්බන්ධයෙන් දී ඇති යෝජනා මොනවා ද?
16 සටහන් ලිවීම. ඕනෑ ම කථා පැවරුමක් සඳහා සූදානම් වීමේ දී සහ පර්යේෂණ කිරීමේ දී වර්ධනය වන අදහස් රාශිය සටහන් කර තැබීමේ යම් ක්‍රමයක් අවශ්‍ය ය. කුඩා කාඩ් පත් හෝ කඩදාසි කැබලි මේ සඳහා උපකාරී වන බව සමහර ශිෂ්‍යයන්ට පෙනී ගොස් ඇත, කථාවේ භාවිතා කරන්නට යන එක් එක් ප්‍රධාන අදහස් එක් එක් කාඩ් පතක ඔවුහු සටහන් කර තබති.
17 ඔබට අදහස මතක් කර දෙන විධියේ කෙටි සටහන් පමණක් ප්‍රමාණවත් ය. මෙහි වාසිය නම්, වෙනත් කෙනෙකුගෙන් උපුටාගත් වාක්‍ය හා වාක්‍ය ඛණ්ඩවල දැඩි ලෙස ඇලී සිටිනවා වෙනුවට හිටිවන කථාවක් ඉදිරිපත් කිරීමට කෙටි සටහන් ආධාර වීම ය. ඔබේ අදහස් උපුටා ගත් මූලාශ්‍ර සටහන් කර ගන්න. එවිට අවශ්‍ය වූ විට පිටුව සහ ඡේදය ඔබට සොයා ගත හැක. ආධිපත්‍යය වශයෙන් රඳා පැවතීමට යන එක් එක් ශුද්ධ ලියවිලි පදය ද සටහන් කළ යුතු ය. කාඩ් පත් හෝ කඩදාසි කැබලි පාවිච්චි කිරීමේ තවත් වාසියක් නම්, කථාව සූදානම් කිරීමේ දී, නව කාඩ් පත් ඇතුළත් කිරීමටත්, සමහර ඒවා ඉවත් කිරීමටත් හැකි වීම ය. එවිට, නැවත ලිවීම බොහෝ සෙයින් වළක්වා ගත හැක.
18. අප සූදානම් වූ සෙනඟක් වීමට අවශ්‍ය වන්නේ මන්ද?
18 සූදානම් වූ සෙනඟක්. ඕනෑ ම දිව්‍යාණ්ඩු පැවරුමක් සම්බන්ධයෙන් සූදානම් වීම සඳහා අතපසු කිරීමේ ප්‍රවණතාවයක් පෙන්වන්නේ නම්, යෙහෝවඃ වහන්සේගේ අනුමැතිය ලබා ගැනීමට කැමති අය සූදානම් ව සිටීමේ වැදගත්කම මෙනෙහි කරන්න. නිදසුනක් හැටියට “සූදානම්වූ සෙනඟක් ස්වාමීන්වහන්සේට පිළියෙළ කරන පිණිස” යොහන් බව්තීස්ත ලැබූ නියෝගය සිහිපත් කරන්න. (ලූක් 1:17) එම “සූදානම්වූ” ඊශ්‍රායෙල්වරුන් යෙහෝවඃ වහන්සේ තමන් සමඟ කටයුතු කළ ආකාරයෙන් හැඩගස්වනු ලැබ, උන් වහන්සේ ඔවුන් සඳහා අදහස් කර තිබූ කාර්යය කිරීමට සුදුසු තත්ත්වයක සිටි සෙනඟකි. අපේ තත්ත්වය ද මීට සමාන ය. දිව්‍යාණ්ඩු සේවා පාසලෙන් සම්පූර්ණ ප්‍රයෝජන ලබා ගැනීමෙන් සහ එක් එක් පැවරුම හොඳින් සූදානම් වීමෙන් යෙහෝවඃ වහන්සේ සපයා ඇති මෙම අධ්‍යාපනික වැඩසටහන මගින් අපි හැඩගස්වනු ලබමු. මේ ආකාරයට දේව සේවකයන් වශයෙන් කාර්ය සාධක ලෙස සේවය කිරීමට අපි ද සන්නාහ සන්නද්ධ වන්නෙමු.