12වෙනි පරිච්ඡේදය
යේසුස්ගේ බව්තීස්මය
යොහන් දේශනා කරන්න අරගෙන දැන් මාස හයක් පමණ ගත වෙලා. දැන් 30 හැවිරිදි යේසුස් ඔහුව හමුවීමට යොර්දානය වෙතට පැමිණෙනවා. යේසුස් එතැනට පැමිණෙන්නේ ඇයි? යොහන් සමඟ සුහද කතා බහක යෙදෙන්නද? නැත්නම් නිකම්ම යොහන්ගේ වැඩය කොතරම් දුරට සාර්ථක වී ඇද්ද කියා සොයා බලන්න අවශ්‍ය නිසාද? නැහැ. තමාව බව්තීස්ම කරන මෙන් යොහන්ගෙන් ඉල්ලා සිටීමටයි.
යොහන් එක විගසම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ මෙසේයි. ‘ඔබ ඇයි මා වෙතට එන්නේ? ඔබෙන් බව්තීස්ම විය යුත්තේ මමයි.’ තම ඥාති සහෝදර යේසුස්, දෙවිගේ සුවිශේෂී පුත්‍රයා බව යොහන් දන්නවා. ඇත්තෙන්ම, මරියා යේසුස්ව කුසේ දරා සිටින විට ඔවුන්ව බැහැදකින්න ගිය අවස්ථාවේදී යොහන් තම මවගේ කුස තුළ ප්‍රීතියෙන් ඉපිලී ගියා! යොහන්ගේ මව වන එලිසබෙත් ඔහුට මේ ගැන පසු කලෙක පැවසූ බව නම් නිසැකයි. ඒ වගේම යේසුස්ගේ උපත පිළිබඳ දේවදූතයාගේ දැනුම් දීම මෙන්ම යේසුස් උපන් රාත්රියේදී දේවදූතයන් එඬේරුන්ට දර්ශනය වීම පිළිබඳවත් ඇය ඔහුට පවසන්න ඇති.
ඒ නිසා, යේසුස් යොහන්ට අමුත්තෙක් නොවෙයි. ඔහු කරන බව්තීස්මය යේසුස්ට අදාළ නොවන බවත් යොහන් දන්නවා. එම බව්තීස්මය අවශ්‍ය වන්නේ තම පව්වලට පසුතැවිලි වන අයටයි. යේසුස් තුළ කිසි පාපයක් නැහැ. යොහන් විරුද්ධ වුණත් යේසුස් ඉතා ඕනෑකමින් මෙසේ ඉල්ලා සිටිනවා. “දැනට මෙය සිදු වෙන්ට ඉඩහරින්න. මන්ද මේ ආකාරයෙන් අප සියලු ධර්මිෂ්ඨ දේ කිරීම සුදුසුය.”
යේසුස් බව්තීස්ම වීම සුදුසු දෙයක් වන්නේ ඇයි? ඔහුගේ බව්තීස්මය සංකේතවත් කරන්නේ තම පියාගේ කැමැත්ත කිරීමට ඉදිරිපත් වී සිටීම මිස, පාප සඳහා පසුතැවිලි වීමක් නොවන නිසයි. යේසුස් මෙතෙක් කල් වඩු වැඩ කරමින් සිටියා. නමුත් දැන් යෙහෝවා දෙවි තමාව පොළොවට එවූ කාර්යය ඉටු කිරීමට, එනම් දේවසේවය ආරම්භ කිරීමට කාලය පැමිණ තිබෙනවා. යේසුස්ව බව්තීස්ම කරන විට යම් අසාමාන්‍ය දෙයක් සිදු වේවියයි යොහන් අපේක්ෂා කරනවා කියා ඔබ සිතනවාද?
යොහන් පසු කලෙක මෙසේ වාර්තා කරනවා. “වතුරෙන් බව්තීස්ම කරන්නට මාව එවූ ඒ තැනැත්තාම මා අමතා, ‘ශුද්ධාත්මය යමෙකු පිට බැස ඇවිත් නවතිනවා ඔබ දකින්නෙහිද, ඔහු ශුද්ධාත්මයෙන් බව්තීස්ම කරන තැනැත්තාය.’” ඉතිං තමා බව්තීස්ම කරන යම් කෙනෙකු පිට දෙවිගේ ආත්මය පැමිණෙයි කියා යොහන් බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ නිසා යේසුස් ජලයෙන් උඩට එද්දී, “දෙවිගේ ආත්මය පරෙවියෙකු මෙන් ඔහු පිටට බසිනවා” දකින විට යොහන් ඒ තරම් පුදුම වෙන්න නැතුව ඇති.
එහෙත් යේසුස් බව්තීස්ම වෙද්දී, ඊට වඩා වැඩි යමක් සිදු වෙනවා. ඔහුට ‘අහස විවර වෙනවා.’ මෙයින් අදහස් කරන්නේ කුමක්ද? පෙනෙන විදිහට මින් අදහස් වන්නේ ඔහු බව්තීස්ම වෙද්දී, මනුෂ්‍යයෙකු වීමට පෙර ඔහු ස්වර්ගයේ ගත කළ ජීවිතය පිළිබඳව ඔහුට නැවත මතක් වන බවයි. මෙසේ, මනුෂ්‍යත්වයට පෙර පැවැත්ම තුළදී දෙවි ඔහුට ස්වර්ගයේදී කතා කළ සියල්ල ඇතුළුව, යෙහෝවා දෙවිගේ ආත්ම පුත්‍රයෙකු වශයෙන් තමා ගත කළ ජීවිතය හා සම්බන්ධ සෑම දෙයක්ම දැන් යේසුස්ගේ මතකයට නැඟෙනවා.
මීට අමතරව, ඔහු බව්තීස්ම වන අවස්ථාවේදී, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි” කියා පවසන හඬක් අහසෙන් නික්මෙනවා. එය කාගේ කටහඬද? යේසුස්ගේම කටහඬද? එය කොහෙත්ම වෙන්න බැහැ! එය දෙවිගේ කටහඬයි. යේසුස් දෙවිගේ පුත්‍රයා මිස, සමහරුන් පවසන ආකාරයට දෙවිම නොවන බව මින් පැහැදිලියි.
නමුත් පළමු මිනිසා වූ ආදම් මෙන්, යේසුස්ද දෙවිගේ මනුෂ්‍ය පුත්‍රයෙක්. ශ්‍රාවක ලූක්, යේසුස්ගේ බව්තීස්මය විස්තර කිරීමෙන් පසු මෙසේ ලියනවා. “යේසුස් තම සේවය පටන්ගන්නා විට, ඔහුට වයස අවුරුදු තිහක් පමණ විය. ඔහු යෝසෙප්ගේ පුත්‍රයායයි සිතන ලදි. යෝසෙප් හේලිගේ පුත්‍රයාය, . . . දාවිත්ගේ පුත්‍රයාය, . . . ආබ්‍රහම්ගේ පුත්‍රයාය, . . . නෝවාගේ පුත්‍රයාය, . . . ආදම්ගේ පුත්‍රයාය, දෙවිගේ පුත්‍රයාය.”
ආදම් ‘දෙවිගේ [මනුෂ්‍ය] පුත්‍රයෙක්’ වුණා වගේම, යේසුස්ද දෙවිගේ මනුෂ්‍ය පුත්‍රයෙක්. අප යේසුස්ගේ ජීවිතය සෝදිසි කර බලද්දී ඔහු මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා බව අපට මනාව පැහැදිලි වෙනවා. කෙසේවෙතත්, යේසුස් තම බව්තීස්මයේදී දෙවි සමඟ අලුත් සබඳතාවකට ඇතුල් වෙමින් දෙවිගේ ආත්මික පුත්‍රයෙක් බවටත් පත් වෙනවා. ඒ අවස්ථාවේදී, ඔහුව දෙවි නැවත ස්වර්ගයට කැඳෙව්වා හා සමානයි. මෙතැන් පටන් මරණයට නියම වූ මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් සදහටම තම මනුෂ්‍ය ජීවිතය පූජා කිරීමට මඟ පාදන ජීවන ගමන ඇරඹීම සඳහා දෙවි ඔහුට මඟ පෙන්වනවා. මතෙව් 3:13-17; ලූක් 3:21-38; 1:34-36, 44; 2:10-14; යොහන් 1:32-34; NW; හෙබ්‍රෙව් 10:5-9.
▪ යේසුස් යොහන්ට අමුත්තෙකු නොවන්නේ ඇයි?
▪ කිසි පාපයක් නොකළ යේසුස් බව්තීස්ම වන්නේ ඇයි?
▪ යේසුස් මතට දෙවිගේ ආත්මය පැමිණෙන විට යොහන් පුදුම නොවන්නේ ඔහු යේසුස් ගැන දන්නා කුමන දේ නිසා විය හැකිද?