17වෙනි පරිච්ඡේදය
නිකදේමස්ට ඉගැන්වීම
ක්‍රිස්තු වර්ෂ 30දී පාස්කුවට සහභාගි වන ගමන් යේසුස් විශිෂ්ට ලකුණු එනම්, ප්රාතිහාර්යයන් සිදු කරන නිසා බොහෝදෙනෙක් ඔහු කෙරෙහි ඇදහිල්ල තබනවා. ඔහුගේ ඉගැන්වීම්, යුදෙව් මහාධිකරණය වන සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයෙක් වන නිකදේමස්ගේ හිතටත් තදින් කාවැදිලා. ඒ හින්දා ඔහු තවත් ඉගෙනගන්න උනන්දුවක් දක්වනවා. කවුරු හරි තමාව දැක්කොත් වෙනත් යුදෙව් නායකයන් අතරේ තමා අපකීර්තියට පත් වේවි යන බිය නිසා ඔහු යේසුස්ව බැහැදැකීමට යන්නේ රාත්රියේදීයි.
“රබ්බි, ඔබ දෙවි වෙතින් පැමිණි ගුරුවරයෙකු බව අපි දනිමු. මන්ද, යමෙකු සමඟ දෙවි නැතිනම්, ඔබ කරන මේ ලකුණු සිදු කිරීමට ඔහුට නොහැකිය” යනුවෙන් ඔහු යේසුස්ට පවසනවා. එවිට යේසුස් නිකදේමස්ට පවසන්නේ දෙවිගේ රාජ්‍යයට ඇතුල් වීමට යමෙක් ‘යළි ඉපදෙන්න’ අවශ්‍ය බවයි.
එහෙත්, යමෙකුට යළි ඉපදිය හැක්කේ කොහොමද? “දෙවන වරටත් මව් කුසට ඇතුල් වී උපදින්ට පුළුවන්ද” කියා නිකදේමස් අසනවා.
නැහැ, යළි ඉපදීමෙන් අදහස් කරන්නේ එය නොවෙයි. “යමෙක් වතුරෙන් සහ ආත්මයෙන් ඉපදුණේ නැතිනම්, ඔහුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් විය නොහැක” යනුවෙන් යේසුස් පැහැදිලි කරනවා. යේසුස් “වතුරෙන් සහ ආත්මයෙන්” ඉපදුණේ ඔහු බව්තීස්ම වී ශුද්ධාත්මය ඔහු කෙරෙහි පැමිණි විටයි. ඒත් සමඟම “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මම මොහුව අනුමත කළෙමි” යනුවෙන් ස්වර්ගයෙන් නික්මුණු ප්රකාශනය මගින් දෙවි දැනුම් දුන්නේ, ස්වර්ගික රාජ්‍යයට ඇතුල් වීමේ බලාපොරොත්තුව තිබෙන ආත්මික පුත්‍රයෙකු තමන් බිහි කර ඇති බවයි. බව්තීස්ම ලත් වෙනත් අයටත් ක්‍රි.ව. 33දී ශුද්ධාත්මය ලැබේවි. එතකොට ඔවුනුත් දෙවිගේ ආත්මික පුත්‍රයන් වශයෙන් යළි ඉපදෙනවා.
නමුත් දෙවිගේ මේ මනුෂ්‍ය පුත්‍රයාගේ කාර්යභාරය අතිවැදගත් එකක්. යේසුස් නිකදේමස්ට මෙසේ පවසනවා. “පාළුකරයේදී මෝසෙස් සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාවද එසවිය යුතුය. එසේ වන්නේ ඔහු කෙරෙහි අදහාගන්නා සියලුදෙනාටම සදාකාල ජීවනය ලැබෙන පිණිසය.” විෂඝෝර සර්පයන් විසින් දෂ්ට කරනු ලැබූ ඊශ්‍රායෙලිතයන්ට තඹ සර්පයා දෙස බලන්න සිදු වූ ලෙසම, තමන්ගේ මිය යන තත්වයෙන් ගැලවීම සඳහා සෑම මනුෂ්‍යයෙකුම දෙවිගේ පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල තැබිය යුතුයි.
මේ කාරණය හා සම්බන්ධව දෙවිගේ ප්‍රේමණීය කාර්යභාරය අවධාරණය කරමින් යේසුස් ඊළඟට නිකදේමස්ට පවසන්නේ මෙහෙමයි. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” මෙසේ, මනුෂ්‍යවර්ගයාව ගැලවීම සඳහා යෙහෝවා දෙවි යොදාගන්නාවූ මාධ්‍යය තමන් බව යේසුස් තම දේවසේවය ආරම්භ කර මාස හයකට පසු යෙරුසලමේදී පැහැදිලි කරනවා.
‘දෙවි තම පුත්‍රයාව ලෝකයට එව්වේ, ඔහු විසින් ලෝකය විනිශ්චය කරනු ලබන පිණිස නොවේ’ කියා යේසුස් තවදුරටත් නිකදේමස්ට පහදා දෙනවා. ඔව්, ඔහු පැමිණ ඇත්තේ මනුෂ්‍ය ජාතිය විනාශයට නියම කරමින් ඔවුන්ව අහිතකර ලෙස විනිශ්චය කිරීමට හෝ හෙළා දැකීමට නොවෙයි. ඒ වෙනුවට, යේසුස් පවසන පරිදි ඔහුව එවා ඇත්තේ “ඔහු මාර්ගයෙන් ලෝකය ගලවනු ලබන පිණිසය.”
නිකදේමස් යේසුස් වෙතට පැමිණියේ බයගුල්ලෙකු සේ කළුවර වැටුණායින් පසුවයි. ඉතිං යේසුස් ඔහුත් සමඟ කරන සාකච්ඡාව මෙසේ නිමාවකට පත් කිරීම උනන්දුවට කරුණක්. ‘විනිශ්චය සඳහා පදනම මෙයයි. [යේසුස් තම ජීවිතයෙන් හා ඉගැන්වීම්වලින් පුද්ගලාරෝපණය කළ] ආලෝකය ලෝකයට පැමිණ තිබෙන නමුත්, තමුන්ගේ ක්‍රියා දුෂ්ට බැවින් මිනිසුන් ආලෝකයට ප්‍රේම කරනවා වෙනුවට අන්ධකාරයට ප්‍රේම කර තිබේ. මන්ද, පිළිකුල් ක්‍රියාවල නියැලෙන තැනැත්තා ආලෝකයට වෛර කර, තම ක්‍රියා වැරදි බව හෙළි නොවන පිණිස ආලෝකයට නොපැමිණෙයි. නමුත් සැබෑ දේ කරන තැනැත්තා, තම ක්‍රියා දෙවිගේ කැමැත්තට එකඟව සිදු කර තිබෙන බව ප්‍රකාශ වන පිණිස ආලෝකයට පැමිණෙයි.’ යොහන් 2:23–3:21; මතෙව් 3:16, 17; ක්‍රියා 2:1-4; NW; ගණන් කථාව 21:9.
▪ යේසුස්ව බැහැදැකීමට නිකදේමස් පෙලඹෙන්නේ කුමක් නිසාද? ඔහු රාත්රියේදී පැමිණෙන්නේ ඇයි?
▪ ‘යළි ඉපදෙනවා’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
▪ අපගේ ගැලවීම අත් කර දීමේදී යේසුස් ඉටු කරන කාර්යභාරය ඔහු පැහැදිලි කරන්නේ කෙසේද?
▪ යේසුස් ලෝකය විනිශ්චය කරන්න පැමිණියේ නැතැයි කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?