39වෙනි පරිච්ඡේදය
උඩඟු සහ යටහත් පහත් අය
යොහන් බව්තීස්තගේ ගුණ වර්ණනා කිරීමෙන් පසු, යේසුස් දැන් අවධානය යොමු කරන්නේ තමා අවට සිටින උඩඟු හා චපල මනුෂ්‍යයන් වෙතටයි. “මේ පරම්පරාව . . . වෙළඳපොළවල හිඳගෙන තමන්ගේ යහළුවන්ට හඬගසනා දරුවන්ට සමානය. ඔවුහු, ‘අපි ඔබට නළාව පිම්බෙමු, නමුත් ඔබ නැටුවේ නැත. අපි විලාප කීවෙමු, නමුත් ඔබ ශෝකයෙන් පපුවට ගසාගත්තේ නැත’ යයි කියති” යනුවෙන් යේසුස් පවසනවා.
යේසුස් මින් අදහස් කරන්නේ කුමක්ද? ඔහු මෙසේ පහදා දෙනවා. “යොහන් කමින් බොමින් ආවේ නැත. එහෙත් ‘ඔහුට භූතයෙකු ආවේශ වී ඇත’ යයි මිනිස්සු කියති. මනුෂ්‍ය පුත්‍රයා කමින් බොමින් ආවේය. ඒත්, ‘බලන්න! ඔහු කෑදර, වයින් බීමට ලොල් වූ මිනිසෙකි. බදු එකතු කරන්නන්ගේද පව්කාරයන්ගේද මිත්‍රයෙක්’ යයි මිනිස්සු කියති.”
ජනයාව කිසි සේත්ම සෑහීමකට පත් කළ නොහැකියි. ඔවුන් කිසිවකින් සතුටු වන්නේ නැහැ. “ඔහු වයින්වත් මත්පැන්වත් කිසි සේත් පානය නොකළ යුතුයි” යන දේවදූතයාගේ ප්‍රකාශයට එකඟව, යොහන් නසිරිවරයෙකු වශයෙන් ආත්ම-පරිත්‍යාගශීලී මෙන්ම ඉතා චාම් ජීවිතයක් ගත කර තිබෙනවා. එහෙත් ජනයා පවසන්නේ ඔහු භූතයෙකු ආවේශ වූ කෙනෙක් කියායි. අනෙක් අතට, යේසුස් වෙනත් මනුෂ්‍යයන් මෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන නිසා ඔහු තම සීමාවන් ඉක්මවා කටයුතු කරන කෙනෙකු බවට මිනිසුන් චෝදනා කරනවා.
ජනයාව සතුටු කිරීම මොන තරම් අපහසුද! ඔවුන් හරියට, වෙනත් දරුවන් නළාව පිඹින විට නටන්නේවත් විලාප කියන විට ශෝකයෙන් පපුවට ගසාගන්නේවත් නැති, සෙල්ලම් කරමින් සිටින සමහර දරුවන් හා සමානයි. කෙසේවුවද, යේසුස් මෙසේ පවසනවා. “ප්‍රඥාව ධර්මිෂ්ඨ බව එහි ක්‍රියාවලින් ඔප්පු වේ.” ඔව්, යොහන්ට හා යේසුස්ට එරෙහිව කර ඇති චෝදනා අසත්‍ය බව සාක්ෂිවලින්, එනම් ක්‍රියාවලින් පැහැදිලි වෙයි.
යේසුස් දැන් තම බලවත් ක්‍රියා වැඩිහරියක්ම සිදු කර තිබෙන කොරාසීනය, බෙත්සයිදාව සහ කපර්ණවුම යන නගර තුන දෝෂාරෝපණයට ලක් කිරීමට පටන්ගන්නවා. ෆිනීෂියානු නගරවල් වන තීර් හා සීදොන් තුළ ඔහු මෙම ක්‍රියා සිදු කළා නම් ඔවුන් ගෝණි රෙදි ඇඳ අළුවල හිඳ පසුතැවිලි වේවි කියා යේසුස් පවසනවා. පෙනෙන ආකාරයට, තම භූමික දේවසේවය සඳහා මධ්‍යස්ථානයක් වශයෙන් පවතින කපර්ණවුම හෙළා දකිමින් ඔහු මෙසේ පවසනවා. “විනිශ්චය දවසේදී ඔබට වඩා සොදොම් දේශයට විඳදරාගැනීම පහසු වන්නේය.”
යේසුස් ඊළඟට තම ස්වර්ගික පියාට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරනවා. ඔහු එසේ කිරීමට පෙලඹෙන්නේ දෙවි අනර්ඝ ආත්මික සත්‍යයන් උගතුන් හා බුද්ධිමතුන්ගෙන් සඟවා, එම පුදුමාකාර දේවල් ළදරුවන් වැනි යටහත් පහත් අයට හෙළි කරන නිසයි.
අන්තිමේදී යේසුස් මෙම සිත්ගන්නා ආරාධනය ඉදිරිපත් කරනවා. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම ඔබව ප්‍රාණවත් කරමි. මම මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු බැවින් මාගේ වියගහ ඔබ පිටට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙනවා ඇත. මන්ද මාගේ වියගහ පහසුය, බරද සැහැල්ලුය.”
යේසුස් ප්‍රාණවත්භාවයක් ලබා දෙන්නේ කෙසේද? ඔහු එය කරන්නේ ආගමික නායකයන් විසින් මනුෂ්‍යයන් මත පටවා ඇති පීඩිත බරෙන් එනම්, බැඳ තබන සම්ප්රදායන්ගෙන් ජනයාව නිදහස් කිරීමෙනුයි. උදාහරණයක් වශයෙන්, සබත පැවැත්වීම සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස තහංචි පැනවූ නීති රීති මෙයට ඇතුළත් වෙනවා. දේශපාලන අධිකාරීන්ගේ කෲර බලහත්කාරකම් හේතුවෙන් තැළී පොඩි වී සිටින අයටද, වද දෙන හෘදය සාක්ෂියක් තුළින් තම පාපවල බරපතළකම දැනෙන අයටද ඔහු සහනයේ මාර්ගය පෙන්වා දෙනවා. එබඳු පීඩිත අයට තම පාපවලට සමාව ලබාගත හැකි ආකාරය හා දෙවි සමඟ ඔවුන්ට අනර්ඝ සබඳතාවක් භුක්ති විඳිය හැකි ආකාරය ඔහු හෙළි කරනවා.
යේසුස් ඉදිරිපත් කරන පහසු වියගහ වන්නේ, අපගේ සානුකම්පිත, දයාන්විත ස්වර්ගික පියාට සේවය කිරීමට හැකි වන ලෙස දෙවිට සම්පූර්ණයෙන්ම කැපවීමයි. එමෙන්ම තමන් වෙතට පැමිණෙන අයට යේසුස් ඉදිරිපත් කරන සැහැල්ලු බර වන්නේ, ජීවනය උදෙසා වූ දෙවිගේ නියමයන්ට කීකරු වීමයි. ඒවා නම්, බයිබලයෙහි වාර්තා කර තිබෙන ඔහුගේ ආඥායි. මේවාට කීකරු වීම කිසි සේත්ම බරක් නොවෙයි. මතෙව් 11:16-30; ලූක් 1:15; 7:31-35; NW; 1 යොහන් 5:3.
▪ යේසුස්ගේ කාලයේ ජීවත් වූ පරම්පරාවේ සිටි උඩඟු මෙන්ම චපල මනුෂ්‍යයන් ළමුන්ට සමාන වන්නේ කෙසේද?
▪ යේසුස් තම ස්වර්ගික පියාට ප්‍රශංසා කිරීමට පෙලඹෙන්නේ ඇයි?
▪ මනුෂ්‍යයන් බරින් පීඩිතව සිටින්නේ කිනම් ආකාරවලින්ද? යේසුස් ඉදිරිපත් කරන සහනය කුමක්ද?