60වෙනි පරිච්ඡේදය
ක්‍රිස්තුස්ගේ රාජ්‍ය මහිමයේ පෙර දර්ශනයක්
යේසුස් සිසේරිය ෆිලිප්පියට පැමිණ සිටින අතර, තම ප්‍රේරිතයන්ද ඇතුළු සෙනඟකට ඔහු උගන්වමිනුයි සිටින්නේ. ඔවුන්ට ඔහු මේ පුදුමසහගත ප්‍රකාශය කරනවා. “සැබවින්ම මම ඔබට කියමි, මනුෂ්‍ය පුත්‍රයා සිය රාජ්‍යයෙන් යුක්තව එනවා දකින්න පළමුවෙන්, මෙතැන සිටගෙන සිටින්නන්ගෙන් සමහරෙකු කිසිසේත් මරණ රසය විඳින්නේ නැත.”
‘යේසුස් මේ කියන්නේ මොකක්ද’ කියා ගෝලයන් සමහරවිට කල්පනා කරනවා ඇති. සතියකට පමණ පසු පේතෘස්, යාකොබ් සහ යොහන් කැටුව යේසුස් උස් කන්දකට නඟිනවා. ගෝලයන්ට නිදිමතයි. ඒ නිසා මෙය රාත්‍රි කාලය වන්නට ඇති. යේසුස් යාච්ඤා කරමින් සිටියදී ඔහු ඔවුන් ඉදිරියේ අන් ස්වරූපයක් වෙයි. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් බැබළෙනවා. ඔහුගේ වස්ත්‍ර ආලෝකය මෙන් දීප්තිමත් වෙනවා.
එතකොට, “මෝසෙස් සහ එලියා” ලෙස හඳුනාගන්නාවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් පෙනෙන අතර, ඔවුන් ‘යෙරුසලමේදී සිදුවීමට නියමිත ඔහුගේ නික්ම යෑම’ ගැන යේසුස් සමඟ කතා කරන්න පටන්ගන්නවා. නික්ම යෑමෙන් අදහස් කරන්නේ යේසුස්ගේ මරණය හා පසුව සිදු වන නැවත නැඟිටීම බව පැහැදිලියි. ඒ නිසා, පේතෘස්ට අවශ්‍ය කළ ආකාරයට යේසුස්ගේ නින්දාසහගත මරණය මඟහැරිය යුතු යමක් නොවන බව මෙම කතා බහෙන් ඔප්පු වෙනවා.
ගෝලයන් දැන් අවදි වී පුදුමයෙන් වාගේ සිදු වන දේ බලා සිටිමින් සවන් දෙනවා. මෙය දර්ශනයක් වුණත්, එය කොතරම් සැබෑ ලෙස පෙනෙන්න තිබෙනවාද කිව්වොත් පේතෘස් එම දර්ශනයට හවුල් වෙමින් මෙසේ පවසනවා. “ස්වාමිනි, අපට මෙහි සිටීම හොඳය. ඔබ කැමති නම්, මම මෙහි කූඩාරම් තුනක්, එකක් ඔබටද එකක් මෝසෙස්ටද එකක් එලියාටද සාදන්නෙමි.”
පේතෘස් කතා කරමින් සිටිද්දී දීප්තිමත් වලාකුළකින් ඔවුන්ව වැසී යන අතර වලාකුළෙන් හඬක් නික්ම මෙසේ පවසනවා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මොහුට මාගේ අනුමැතිය ඇත. මොහුට සවන් දෙන්න.” එම කටහඬ ඇසෙන ගමන්ම ගෝලයන් මුණින් වැටෙනවා. එහෙත් යේසුස්, “නැඟිටින්න, භය නොවන්න” කියා පවසනවා. ඔවුන් නැඟිටින විට, යේසුස් හැර වෙන කිසිවෙකුව ඔවුන් දකින්නේ නැහැ.
ඊළඟ දවසේදී ඔවුන් කන්දෙන් පහළට බසින විට යේසුස් අණ කරන්නේ, “මනුෂ්‍ය පුත්‍රයා මළවුන්ගෙන් නැඟිටුවනු ලබන තුරු මේ දර්ශනය කිසිවෙකුට නොකියන්න” කියායි. දර්ශනයේදී එලියා පෙනී සිටි නිසා ගෝලයන්ගේ සිතේ ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. ඔවුන් අසන්නේ, ‘එලියා පළමුවෙන් පැමිණිය යුතු බව ලියන්නන් කියන්නේ මන්ද’ කියායි.
යේසුස් මෙසේ පවසනවා. “එලියා දැනටමත් පැමිණ ඇත. නමුත් ඔවුහු ඔහුව හඳුනා [නොගත්හ.]” මෙහිදී යේසුස් කතා කරමින් සිටින්නේ එලියාට සමාන කාර්යභාරයක් ඉටු කළ යොහන් බව්තීස්ත ගැනයි. එලියා එලිෂාට කළාක් මෙන්, යොහන් යේසුස්ට මාර්ගය පිළියෙළ කර දුන්නා.
මෙම දර්ශනය යේසුස්වත් ගෝලයන්වත් කොයි තරම් ශක්තිමත් කරනවාද! එය ක්‍රිස්තුස්ගේ රාජ්‍ය මහිමයේ පෙර දර්ශනයක් කියා පැවසිය හැකියි. සතියකට කලින් යේසුස් පොරොන්දු වී තිබුණාක් මෙන්, මෙම දර්ශනයෙන් ගෝලයන් දැක්කේ “මනුෂ්‍ය පුත්‍රයා සිය රාජ්‍යයෙන් යුක්තව එන” ආකාරයයි. යේසුස්ගේ මරණයෙන් පසුව පේතෘස් ලීවේ, ‘ඔවුන් ක්‍රිස්තුස් සමඟ ශුද්ධ කන්දෙහි සිටිද්දී ඔහුගේ මහිමය ඇසින් දුටු’ බවයි.
දෙවිගේ තෝරාගන්නා ලද රජු වීම සඳහා ශුද්ධ ලියවිලිවල පොරොන්දු කරන ලද තැනැත්තා ඔහු බව ඔප්පු කිරීමට පරිසිවරුන් යේසුස්ගෙන් ලකුණක් ඉල්ලා තිබුණා. ඔහු ඔවුන්ට එවැනි කිසිදු ලකුණක් දුන්නේ නැහැ. එහෙත්, රාජ්‍ය අනාවැකි සනාථ කිරීමක් වශයෙන් යේසුස්ගේ අන් ස්වරූපයක් වීම දැකබලා ගැනීමට ඔහුගේ කිට්ටු ගෝලයන්ට ප්‍රස්තාව ලැබෙනවා. ඒ නිසා, පසු කලෙක පේතෘස් මෙසේ ලිව්වා. මෙසේ “අනාවැකිමය වචනය අපට තවත් තහවුරු වී තිබේ.” මතෙව් 16:13, මතෙව් 16:28–17:13; මාක් 9:1-13; ලූක් 9:27-37; 2 පේතෘස් 1:16-18, 20; NW.
▪ මරණ රසය විඳීමට පෙර, ඇතමෙකු ක්‍රිස්තුස් සිය රාජ්‍යයෙන් යුක්තව එනවා දකින්නේ කොහොමද?
▪ දර්ශනයේදී, මෝසෙස් සහ එලියා යේසුස් සමඟ කතා කරන්නේ කුමක් ගැනද?
▪ මෙම දර්ශනය ගෝලයන්ට එතරම් ශක්තිය ගෙන දෙන්නක් වන්නේ ඇයි?