65වෙනි පරිච්ඡේදය
යෙරුසලමට රහස් ගමනක්
දැන් ක්‍රි.ව. 32 ශරත් ඍතුවයි. කූඩාරම් මංගල්‍යය අත ළඟටම පැමිණ තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 31 පාස්කුවේදී යේසුස්ව මරා දැමීමට යුදෙව්වරුන් උත්සාහ කළ අවස්ථාවේ සිට යේසුස් තම කටයුතු වැඩි වශයෙන්ම ගලීලයට සීමා කර තිබෙනවා. යේසුස් එදා සිට මේ දක්වා යෙරුසලමට ගමන් කර ඇත්තේ යුදෙව්වරුන්ගේ වාර්ෂික මංගල්‍යයන් තුන සඳහා පමණක් බව සිතිය හැකියි.
දැන් යේසුස්ගේ සහෝදරයන් ඔහුට උනන්දු කරන්නේ, “මෙතැනින් පිටත්ව යුදයට යන්න” කියායි. යුදයේ ප්‍රධානතම නගරය වන්නේ යෙරුසලමයි. තවද රටේ ආගමික මධ්‍යස්ථානය එයයි. ඉතිං, ඔහුගේ සහෝදරයන් මෙලෙස තර්ක කරනවා. “අනුන් තමන් ගැන දැනගන්නවාට කැමති කිසිවෙක් කිසි දෙයක් රහසින් කරන්නේ නැත.”
තමන්ගේ වැඩිමහල් සහෝදරයා වන යේසුස් ඇත්තටම මෙසියස් බව යාකොබ්, සීමොන්, යෝසෙප් හා යූදස් විශ්වාස නොකළත්, මංගල්‍යයට එක්රැස් වී සිටින සියල්ලන්ට ඔහුගේ ආශ්චර්යවත් බලය ප්‍රදර්ශනය කරනවාට ඔවුන් කැමතියි. එහෙත් යේසුස් දන්නවා එහි ඇති අවදානම ගැන. එනිසා ඔහු මෙලෙස පවසනවා. “ඔබට වෛර කරන්න ලෝකයට හේතුවක් නැත. නමුත් එහි ක්‍රියා දුෂ්ට බවට මා ලෝකය ගැන සාක්ෂි දරන නිසා ලෝකය මට වෛර කරන්නේය.” ඒ නිසා යේසුස් තම සහෝදරයන්ට පවසන්නේ, “ඔබ මංගල්‍යයට යන්න. . . . දැන්ම මම මේ මංගල්‍යයට නොයන්නෙමි” කියායි.
කූඩාරම් මංගල්‍යය දවස් සතක උත්සවයක්. අටවන දවසේදී, වැදගත් ක්‍රියාකාරකම් සමඟින් එය නිමාවට පත් වෙනවා. කෘෂිකාර්මික වසරක අවසානය එම මංගල්‍යයෙන් සනිටුහන් කෙරෙන අතර, එය මහත් සේ සන්තෝෂ වන හා ස්තුතිවන්ත වන කාලයක්. ගමන් ගන්නා ප්‍රධාන පිරිසත් සමඟ යේසුස්ගේ සහෝදරයන් පිටත්ව ගොස් දවස් කීපයකට පසුව, මහජනයාගේ නෙත නොගැටෙන ලෙස යේසුස් තම ගෝලයන් සමඟ රහසිගතව එතැනට ගමන් කරනවා. සාමාන්‍යයෙන් බොහෝදෙනෙක් ගමන් කරන යොර්දාන් ගඟ සමීපයෙන් වැටී ඇති මඟෙහි යනවා වෙනුවට ඔවුන් සමාරිය මැදින් ගමන් ගන්නවා.
යේසුස්ට හා ඔහු සමඟ ගමන් ගන්නා පිරිසට සමාරිය ගමක නවාතැන් ගැනීමට අවශ්‍ය වන නිසා, එය සූදානම් කිරීමට ඔහු තමන්ට ඉදිරියෙන් පණිවුඩකරුවන්ව යවනවා. එහෙත් යේසුස් යන්නේ යෙරුසලමට බව ජනයා දැනගත් විට ඔවුන් ඔහු වෙනුවෙන් කිසිම උපකාරයක් දීමට ඉදිරිපත් වන්නේ නැහැ. එවිට දැඩි කෝපයකින් යුක්තව යාකොබ් සහ යොහන් මෙලෙස අසනවා. “ස්වාමිනි ඔවුන්ව විනාශ කර දමන පිණිස අහසින් ගිනි වැටෙන්න අප අණ කරනවාට ඔබ කැමතිද?” එවැනි යෝජනාවක් කිරීම ගැන යේසුස් ඔවුන්ට තරවටු කරන අතර ඔවුන් වෙනත් ගමකට ගමන් කරනවා.
ඔවුන් ගමන් කරද්දී ලියන්නෙක් යේසුස්ට මෙසේ පවසනවා. “ආචාරිනි, ඔබ යන ඕනෑම තැනකට මම ඔබ සමඟ එන්නෙමි.”
එවිට යේසුස් දෙන පිළිතුර මෙයයි. “හිවලුන්ට බෙන තිබුණත් අහසේ කුරුල්ලන්ට ලගින්න තැන් තිබුණත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තැබීමට තැනක් නැත.” ලියන්නා තම ගෝලයෙක් බවට පත් වුණොත් ඔහුට දුෂ්කරතා අද්දැකීමට සිදු වන බවයි යේසුස් පැහැදිලි කරමින් සිටින්නේ. පෙනෙන විදියට, මේ ආකාරයේ ජීවන රටාවක් ගත කිරීමට තරම් නිහතමානිකමක් ලියන්නාට නැහැ.
යේසුස් තවත් මනුෂ්‍යයෙකුට පවසන්නේ, “මාගේ අනුගාමිකයා වන්න” කියායි.
“පළමුකොට ගොස් මාගේ පියා භූමදාන කරන්න මට ඉඩ දෙන්න” යනුවෙන් ඔහු පිළිතුරු දෙනවා.
එවිට යේසුස් මෙලෙස පවසයි. ‘මළවුන් තමුන්ගේම මළවුන්ව භූමදානය කළාවේ. නමුත් ඔබ ගොස් දෙවිගේ රාජ්‍යය ගැන සෑම තැනම ප්‍රකාශ කරන්න.’ එම මිනිසාගේ පියා තවම මිය ගොස් නැති බව පැහැදිලියි. ඔහු මිය ගොස් සිටියා නම් පුතා යේසුස්ට සවන් දෙමින් සිටියි කියා සිතන්න බැහැ. පෙනෙන ආකාරයට, පියාගේ මරණය සිදු වන තෙක් කාලය දෙන ලෙසයි පුත්‍රයා අවසර ඉල්ලමින් සිටින්නේ. දෙවිගේ රාජ්‍යය ඔහුගේ ජීවිතයේ පළමු තැනට දැමීමට ඔහු සූදානම් නැහැ.
යෙරුසලම දෙසට ඔවුන් ගමන් කරද්දී, තවත් මනුෂ්‍යයෙක් යේසුස්ට මෙලෙස පවසනවා. “ස්වාමිනි, මම ඔබ පසුපස එන්නෙමි. නමුත් පළමුකොට මාගේ ගෙයි වැසියන්ගෙන් සමුගෙන එන්න මට ඉඩ දෙන්න.”
යේසුස් එයට පිළිතුරු දෙන්නේ මෙලෙසයි. “නඟුලකට අත තැබූ පසු, තමා අත්හැර ගිය දේවල් දෙස ආපසු හැරී බලන කිසිවෙක් දෙවිගේ රාජ්‍යයට සුදුසු නැත.” යේසුස්ගේ ගෝලයන් වීමට කැමති අය රාජ්‍යය වෙනුවෙන් කරන සේවය මත තම නෙත් නාභිගත කළ යුතුයි. සීසාන මිනිසා ඉදිරියම බලාගෙන නොගියොත් නඟුලෙන් හෑරෙන හීවිට ඇද වන්නාක් මෙන්, මේ පරණ සමාජ ක්‍රමය දෙස ආපසු හැරී බලන ඕනෑම කෙනෙක් සදාකාල ජීවනයට යන මාර්ගයෙන් ඉවත් වී යා හැකියි. යොහන් 7:2-10; ලූක් 9:51-62; මතෙව් 8:19-22; NW.
▪ යේසුස්ගේ සහෝදරයන් කවුද? ඔහු ගැන ඔවුන්ට හැඟෙන්නේ කෙසේද?
▪ සමරිතානුවන් එතරම්ම මිත්‍රශීලී නොවන ආකාරයට ක්‍රියා කරන්නේ ඇයි? යාකොබ්ට සහ යොහන්ට කිරීමට වුවමනා වන්නේ කුමක්ද?
▪ ගමන් කරන අතරතුරේදී යේසුස් පවත්වන සාකච්ඡාවන් තුන මොනවාද? ආත්ම-පරිත්‍යාගශීලී සේවය සඳහා ඇති අවශ්‍යතාව ඔහු අවධාරණය කරන්නේ කෙසේද?