70වෙනි පරිච්ඡේදය
උපතෙන්ම අන්ධ වූ කෙනෙකුව සුව කිරීම
යුදෙව්වරුන් යේසුස්ට ගල් ගැසීමට වෑයම් කළ විට ඔහු යෙරුසලමෙන් පිට වී යන්නේ නැහැ. පසුව, සබත් දවසේදී ඔහු තම ගෝලයන් සමඟ නුවරෙහි ඇවිදිමින් සිටිද්දී, ඔවුන් උපතින් අන්ධ වූ මනුෂ්‍යයෙකුව දකිනවා. ගෝලයන් යේසුස්ගෙන් මෙසේ අසනවා. “රබ්බි, මේ මිනිසා අන්ධව ඉපදීමට පව් කළේ කවුද? ඔහුද නැත්නම් ඔහුගේ දෙමාපියන්ද?”
ඇතැම් රබ්බිවරුන් විශ්වාස කරන්නාක් මෙන් ගෝලයනුත් සමහරවිට විශ්වාස කරනවා ඇති යමෙකුට තම මව්කුස තුළදීම පව් කළ හැකි බව. නමුත් යේසුස් මෙලෙස පිළිතුරු දෙනවා. “මේ මිනිසාවත් ඔහුගේ දෙමාපියන්වත් පව් කළේ නැත. නමුත් මෙසේ වී තිබෙන්නේ දෙවිගේ ක්‍රියා ඔහු තුළ ප්‍රකාශ වන පිණිසය.” මේ මනුෂ්‍යයා අන්ධ වී සිටින්නේ ඔහු හෝ ඔහුගේ දෙමව්පියන් කළ යම් විශේෂිත වරදක් හෝ පාපයක් නිසා නොවෙයි. පළමු මනුෂ්‍යයා වන ආදම්ගේ පාපය නිසා සියලු මනුෂ්‍යයන් අසම්පූර්ණ තත්වයක පසු වෙනවා. ඒ නිසා, උපතින් අන්ධ වීම වැනි ආබාධයන් ඇති විය හැකියි. මේ මනුෂ්‍යයාට තිබෙන ආබාධය නිසා දැන් යේසුස්ට අවස්ථාවක් සැලසෙනවා දෙවිගේ ක්‍රියා පෙන්වීමට.
මෙම ක්‍රියා සිදු කිරීම සඳහා හදිසිතාවක් ඇති බව යේසුස් දැන් අවධාරණය කරනවා. “දිවා කාලය තිබෙද්දී මාව එවූ තැනැත්තාගේ වැඩ අප විසින් කළ යුතුය. මන්ද කිසිවෙකුට වැඩ කළ නොහැකි රාත්‍රිය පැමිණෙයි. මා ලෝකයේ සිටින තෙක්, මම ලෝකයේ ආලෝකය වෙමි.” වැඩි කල් යන්න මත්තෙන්, යේසුස් මිය යන විට ඔහු මිනී වළේ අන්ධකාරය තුළට ඇද වැටෙනවා. එහිදී ඔහුට තවදුරටත් කිසිවක් කිරීමට හැකි නොවෙයි. ඒ වන තෙක් ඔහු ලෝකයට ඥානාලෝකයේ උල්පතක්ව සිටිනවා.
මේ දේවල් පැවසීමෙන් පසු, යේසුස් බිමට කෙළ ගසා එයින් මැටි පිඩක් සාදාගන්නවා. ඔහු එය අන්ධ මිනිසාගේ ඇස් මත තබා පවසන්නේ, “ගොස් සිලෝම් පොකුණෙන් සෝදාගන්න” කියායි. මිනිසා ඔහුට කීකරු වෙනවා. එසේ කරන විට ඔහුට පෙනීම ලැබෙනවා! ජීවිතයේ මුල්ම වතාවට ඔහුට ඇස් පෙනෙන අතර ඔහු පොකුණේ සිට ආපසු පැමිණෙන්නේ මොන තරම් ප්‍රීති ප්රමෝදයකින්ද!
ඔහුව දන්නා අසල්වැසියන් සහ වෙනත් අය පුදුමයට පත් වී “මේ ඉඳගෙන සිඟා කෑ මිනිසා නොවේද” කියා අසනවා. “මේ ඔහුය” කියා සමහරෙකු පිළිතුරු දෙනවා. නමුත් වෙනත් අයට එය විශ්වාස කළ නොහැකියි. “කොහෙත්ම නැත. නමුත් මොහු ඔහු වාගේ” කියා ඔවුන් පවසනවා. එහෙත් එම මිනිසා පවසන්නේ “මම ඔහුය” කියායි.
“එසේනම්, ඔබේ ඇස් පෑදුණේ කොහොමද” කියා ජනයා අසනවා.
“යේසුස් නම් මිනිසා මැටි පිඩක් සාදා මාගේ ඇස්වල තවරා, ‘සිලෝම්ට ගොස් සෝදාගන්න’ යයි මට කීවේය. එහෙයින් මම ගොස් සෝදාගෙන පෙනීම ලැබුවෙමි.”
“ඒ මිනිසා කොහේද” කියා ඔවුන් අසනවා.
ඔහු පිළිතුරු දෙන්නේ, “මම නොදනිමි” කියායි.
මනුෂ්‍යයන් දැන් වරක් අන්ධව සිටි මනුෂ්‍යයාව ඔවුන්ගේ ආගමික නායකයන් වන පරිසිවරුන් වෙතට ගෙන යනවා. මොවුන්ද, ඔහුගෙන් අසන්න පටන්ගන්නේ ඔහුට පෙනීම ලැබුණේ කෙසේද කියායි. ඔහු මෙසේ පැහැදිලි කරනවා. “ඔහු මගේ ඇස් මත මැටි පිඩක් තැබුවේය. මා සෝදාගත් විට මට පෙනීම ලැබුණේය.”
ඇත්තෙන්ම, සුව කරන ලද හිඟන්නා සමඟ පරිසිවරුන් ප්‍රීති විය යුතුයි! එහෙත්, ඒ වෙනුවට ඔවුන් යේසුස්ව ප්‍රසිද්ධියේම හෙළා දකිමින් මෙසේ චෝදනා කරනවා. “ඔහු දෙවි වෙතින් පැමිණි මිනිසෙකු නොවේ.” ඔවුන් මෙසේ පවසන්නේ ඇයි? ‘ඔහු සබත් දවස පවත්වන්නේ නැති නිසයි.’ නමුත් අනික් පරිසිවරුන් කල්පනා කරන්නේ, “පව්කාර මිනිසෙකුට මෙවැනි ලකුණු සිදු කළ හැක්කේ කෙසේද” යන්නයි. ඒ නිසා, දැන් ඔවුන් අතරෙහි භේදයක් හටගන්නවා.
ඒ නිසා, ඔවුන් එම මිනිසාගෙන් අසන්නේ, “ඔහු ඔබේ ඇස් පෑදූ බැවින්, ඔබ ඔහු ගැන කියන්නේ කුමක්ද” කියායි.
“ඔහු අනාගතවක්තෘවරයෙක්” කියා ඔහු පිළිතුරු දෙනවා.
පරිසිවරුන් මෙය විශ්වාස කිරීමට කැමති නැහැ. ඔවුන් තරයේ විශ්වාස කරන්නේ ජනයාව මුළා කිරීමේ අදහසින් මේ මනුෂ්‍යයාත් යේසුස් සමඟ යම් රහස් කුමන්ත්‍රණයක් කර තිබිය යුතුමයි කියායි. ඒ නිසා, මෙම කාරණය නිරාකරණය කිරීම සඳහා ඔවුන් සිඟමන් ඉල්ලූ එම මිනිසාගේ දෙමව්පියන්ව කැඳවනවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට. යොහන් 8:59; 9:1-18; NW.
▪ මිනිසා අන්ධ වීමට හේතුව කුමක්ද? එයට හේතු නොවන්නේ කුමක්ද?
▪ කිසිදු මිනිසෙකුට වැඩ කළ නොහැකි රාත්‍රිය යනු කුමක්ද?
▪ මිනිසා සුව වන විට, ඔහුව හඳුනන අය ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?
▪ මිනිසාගේ සුවවීම ගැන පරිසිවරුන් දරන මත එකිනෙකට වෙනස් වන්නේ කෙසේද?