92වෙනි පරිච්ඡේදය
යෙරුසලමට යන අන්තිම ගමනේදී යේසුස් ලාදුරු රෝගීන් දසදෙනෙකුව සුව කරයි
යේසුස් තමාව මරා දැමීමට සැන්හෙඩ්‍රිනය ගත් ප්රයත්නය ව්‍යර්ථ කරමින් යෙරුසලමෙන් පිට වී එෆ්‍රායිම් නුවරට ගමන් කරනවා. එෆ්‍රායිම් නුවර පිහිටා තිබෙන්නේ යෙරුසලමේ සිට කිලෝමීටර් 24ක් පමණ දුරින් ඊසාන පැත්තට වෙන්නයි. ඔහු සතුරන්ගෙන් ඈත් වී එතැන තම ගෝලයන් සමඟ නැවතී සිටිනවා.
එහෙත්, ක්‍රි.ව. 33 පාස්කුව සැමරීමට කාලය ළඟා වෙමින් තිබෙන නිසා නැවතත් තම ගමන ඇරඹීමට යේසුස්ට කාලය එළඹිලා. ඔහු සමාරිය හරහා ගමන් කරමින් ගලීලයට පැමිණෙනවා. මෙය, ඔහුගේ මරණයට පෙර එම ප්‍රදේශයට ගමන් කරන අන්තිම වතාවයි. ගලීලයේ සිටිද්දී, ඔහු මෙන්ම ඔහුගේ ගෝලයන් පාස්කු උත්සවය සඳහා යෙරුසලමට ගමන් කරන වෙනත් අය සමඟ හවුල් වී ගමන් කරනවායයි සිතිය හැකියි. යොර්දාන් ගඟෙන් නැඟෙනහිරට වෙන්න පිහිටි පෙරයාව නම් ප්‍රදේශය හරහා ඔවුන් ගමන් කරනවා.
ගමන ආරම්භයේදීම වගේ ඔහු සමාරියේ හෝ ගලීලයේ හෝ යම් ගමකට ඇතුල් වූ පසු ලාදුරු රෝගයෙන් පෙළෙන මනුෂ්‍යයන් දසදෙනෙකුව ඔහුට මුණගැසෙනවා. මෙම දරුණු රෝගය නිසා පුද්ගලයෙකුගේ ශරීරයේ කොටස්, එනම් ඔහුගේ අත් පා ඇඟිලි, කන්, නාසය සහ තොල් ක්‍රමක්‍රමයෙන් ක්ෂය වීමට පටන්ගන්නවා. වෙනත් අයටත් රෝගය වැලඳීම වළක්වාගැනීමට ලාදුරු රෝගීන් පිළිබඳව දෙවිගේ නීතියේ සඳහන් කර තිබෙන්නේ මෙසේයි. “උඩු තොල වසාගන: අපවිත්‍රය අපවිත්‍රය කියා මොරගැසිය යුතුය. රෝගය ඔහුට තිබෙන මුළු කාලයෙහි ඔහු අපවිත්‍රව සිටින්නේය . . . ඔහු තනියම වාසය කළ යුතුය.”
ලාදුරු රෝගීන් සම්බන්ධයෙන් නීතියේ පනවා ඇති තහංචිවලට අවනත වෙමින් මෙම ලාදුරු රෝගීන් දසදෙනා යේසුස්ට බොහෝ ඈතින් සිටිනවා. එහෙත් ඔවුන් මහ හයියෙන් මෙසේ පවසනවා. “යේසුස්, ගුරුතුමෙනි, අපට අනුකම්පා කරන්න!”
දුර සිටම ඔවුන්ව දැක යේසුස් ඔවුන්ට අණ කරන්නේ, “ගොස් පූජකයා ඉදිරියේ පෙනී සිටින්න” කියායි. යේසුස් මෙසේ පවසන්නේ, ලාදුරු රෝගියෙකු සුව වූ විට, ඔහු දැන් පවිත්‍ර වී සිටීයයි ප්‍රකාශ කිරීමට දෙවිගේ නීතියෙන් පූජකයන්ට බලය දී තිබෙන නිසයි. එසේ කිරීමෙන් එවැනි අයට නැවතත් නිරෝගී අය සමඟ ජීවත් වීමට අවසර ලැබෙනවා.
ආශ්චර්යවත් ලෙස සුව කිරීමට යේසුස්ට බලය ඇති බව ලාදුරු රෝගීන් දසදෙනාම විශ්වාස කරනවා. ඒ නිසා, ඔවුන්ට තවමත් සුවය ලැබී නැතත් ඔවුන් විගස පූජකයන් වෙතට යනවා. ඔවුන් එසේ ගමන් කරමින් සිටිද්දී, යේසුස් කෙරෙහි තිබෙන ඔවුන්ගේ ඇදහිල්ලට නිසි විපාක ලැබෙනවා. සුව වී ඇති බව ඔවුන් දකිනවා විතරක් නොවෙයි එය ඔවුන්ට දැනෙන්නත් පටන්ගන්නවා!
සුවය ලැබූ ලාදුරු රෝගීන්ගෙන් නවදෙනෙක් තම තමා ගමන් කරමින් සිටි ස්ථාන දක්වා යනවා. එහෙත් සමරිතානුවරයෙක් වන අනික් ලාදුරු රෝගියා යේසුස්ව හමුවීමට ආපසු පැමිණෙනවා. ඒ ඇයි? සුවය ලැබූ බැවින් ඔහුට ඉමහත් කෘතඥතාවක් දැනුණ නිසයි. ඔහු මහත් හඬින් දෙවිට ප්‍රශංසා කරනවා. යේසුස්ව මුණගැසෙන විට, ඔහුගේ පාමුල වැටී ඔහුට ස්තුති කරනවා.
එවිට යේසුස් ප්‍රතිචාරය දක්වන්නේ මෙලෙසයි. “දසදෙනාම පවිත්‍ර වූවා නොවේද? එසේනම්, අනික් නවදෙනා කොහේද? වෙනත් ජාතියකට අයත් මේ මිනිසා හැර, දෙවිව මහිමයට පත් කිරීමට වෙන කිසිවෙකු ආවේ නැද්ද?”
ඊළඟට, “නැඟිට යන්න. ඔබේ ඇදහිල්ල ඔබව සුව කළේය” කියා ඔහු සමරිතානුවරයාට පවසනවා.
ලාදුරු රෝගීන් දසදෙනාව සුව කිරීම පිළිබඳ වාර්තාව කියවද්දී, “එසේනම්, අනිත් නවදෙනා කොහේද” යන ප්රශ්නය ඇසීමෙන් යේසුස් ඉගැන්වීමට අදහස් කළ පාඩම අප සිතට ගත යුතුයි. නවදෙනා විසින් කෘතඥතාව පෙන්වීමට අසමත් වීම බරපතළ වරදක්. දෙවිගේ ධර්මිෂ්ඨ නව ලොව තුළ සදාකාල ජීවනය ලැබෙන බවට වූ ස්ථිර පොරොන්දුව ඇතුළු දෙවිගෙන් ලැබෙන අන් සෑම දෙයක් සඳහාම අපත් සමරිතානුවරයා මෙන් කෘතඥතාව පෙන්වනවාද? යොහන් 11:54, 55; ලූක් 17:11-19; NW; ලෙවී කථාව 13:16, 17, 45, 46; එළිදරව් 21:3, 4, NW.
▪ තමාව මරා දැමීමට ගන්නා ප්රයත්නයන් යේසුස් ව්‍යර්ථ කරන්නේ කෙසේද?
▪ යේසුස් ඊළඟට ගමන් කරන්නේ කොතැනටද? ඔහුගේ ගමනාන්තය කුමක්ද?
▪ ලාදුරු රෝගීන් ඈතින් සිටින්නේ ඇයි? පූජකයන්ව ගොස් හමු වන්න කියා යේසුස් ඔවුන්ට පවසන්නේ ඇයි?
▪ මෙයින් අප ඉගෙනගත යුතු පාඩම කුමක්ද?