ආ උපග්‍රන්ථය
“RNA ලෝකයෙන්ද” තවත් ලෝකයකින්ද?
DNA-RNA-ප්‍රෝටීන සාමූහික ප්රයත්නය හා සම්බන්ධ ලිහාගත නොහැකි අවුල හේතුවෙන්, ඇතැම් පර්යේෂකයන් “RNA ලෝක” මතය ඉදිරිපත් කර තිබෙනවා. ඒ කුමක්ද? ජීවය නිපදවීමට DNA, RNA සහ ප්‍රෝටීන සමගාමීව බිහි වූවා යන්න තරයේ කියා සිටිනවාට වඩා, RNA තනිව ජීවය පණගැන්වූ මුල්ම දැල්ල බව ඔවුන් කියනවා. මෙම මතයට ස්ථිර පදනමක් ඇද්ද?
කැබලි දෙකකට වෙන්වීමෙන් සහ නැවතත් එකට හාවීමෙන් RNA අණුවලට ඒවායේම එන්සයිම ලෙස ක්‍රියා කිරීමට හැකි බව 1980 ගණන්වලදී පර්යේෂකයන් තම විද්‍යාගාරයේදී සොයාගත්තා. එමනිසා ස්වයංක්‍රීයව අනුරුවක් සාදන මුල්ම අණුව RNA විය හැකියයි අනුමාන කරනු ලැබුවා. කල් යත්ම RNA අණු සෛල පටල සෑදීමට ඉගෙනගත් බවටත්, අවසානයේදී RNA ජීව වස්තුව මගින් DNA බිහි කළ බවටත් අනුමාන කළා. “RNA පිළිබඳ මෙම සංකල්පයට අනුග්‍රහය දක්වන්නන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ මතය සම්පූර්ණ සත්‍යයක් හැටියට, එසේ නැත්නම් සත්‍යයට වඩාත් ආසන්නම දේ හැටියට සැලකිය යුතු බවයි” කියා ෆිල් කෝ’අන්, නියූ සයන්ටිස්ට්හි ලියයි.
කෙසේවෙතත්, සෑම විද්‍යාඥයෙකුම මෙම උපකල්පිත සිදුවීම් වැළ පිළිගන්නේ නැහැ. “RNA අණු දෙකක් පරීක්ෂණ නළයකදී යම් ස්වයං අංග ඡේදනයකට හවුල් වූ බව කියා සිටිනවා මදිවට, RNAහි මැදිහත් වීමෙන් සෛලයක් තනිවම බිහි වී මිහිපිට ජීවය මතුවීමට හේතු වූ බවත් කියා සිටින අතර, එය සිදු විය නොහැකි හදිසි පිම්මක් කියා” සැකකරන්නන් “තර්ක කළ” බව කෝ’අන් නිරීක්ෂණය කරයි.
තවත් ගැටලු තිබෙනවා. “මුල්ම RNA අණු නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ශක්තිය පැමිණියේ කොහෙන්ද යන්න පැහැදිලි කිරීමට RNA ලෝක මතය අසමත් වන නිසා, එම මතය ගොඩගන්න බැරි තරම්ම දෝෂසහගත” බව ජීව විද්‍යාඥ කාල් වෝස් විශ්වාස කරයි. එමෙන්ම මුල සිටම එහිම අනුරුවක් සෑදීමට සමත් RNA කොටසක් පර්යේෂකයන් කිසිදාක සොයාගෙන නැහැ. ඇරත්, RNA මුලින්ම කොහෙන්ද ආවේ යන වාද විෂයත් පවතී. “RNA ලෝක” මතය බොහෝ අත්පොත්වල දකින්න ලැබුණත්, එයින් වැඩි හරියක් “අනුමාන ශුභවාදය” යයි පර්යේෂක ගැරි ඕල්සන් කියයි.
අපේ පෘථිවි ග්‍රහයාට ජීවය පැමිණියේ අජටාකාශයෙන් යන්න විද්‍යාඥයන් ඈඳාගෙන ඇති තවත් මතයක්. එනමුත් මෙම මතය ජීවය ආරම්භ වුණේ කොහොමද යන ප්‍රශ්නයට උත්තරයක් සපයන්නේ නැහැ. ජීවය අජටාකාශයෙන් පැමිණ ඇති බව පැවසීම “අභිරහසට ස්ථාන මාරුවක් ලබා දෙනවා පමණයි” කියා විද්‍යා ලේඛක බොයිස් රෙන්ස්බ’ග’ සඳහන් කරයි. ජීවයේ මූලාරම්භය ඉන් පැහැදිලි නොකරයි. මූලාරම්භය සිදු වුණ තැන වෙනත් සූර්ය ග්‍රහ මණ්ඩලයකට හෝ මන්දාකිණියකට මාරු කිරීමෙන් අදාළ වාද විෂයෙන් මඟහැරීමක් සිදු වෙනවා පමණයි. වාදයට තුඩු දෙන සැබෑ විෂය තවමත් පවතී.