99වෙනි පාඩම
හිරගෙදර භාරකරු ශුභාරංචිය පිළිගනියි
භූතයෙක් වැහුණු තරුණ සේවිකාවක් ෆිලිප්පියේ හිටියා. ඒ භූතයා නිසා එයාට පුළුවන් වුණා අනාගතය ගැන කියන්න. ඒකෙන් ඒ සේවිකාවගේ ස්වාමිවරු ගොඩක් සල්ලි හම්බ කළා. පාවුලුයි සීලසුයි ෆිලිප්පියට ආවාම ඒ සේවිකාව දවස් කීපයක්ම එයාලා පස්සෙන් ගිහින් “මේ මිනිස්සු උසස්ම දෙවියන්ගේ සේවකයෝ” කියලා කෑගැහුවා. අන්තිමට පාවුල් භූතයාට මෙහෙම කිව්වා. ‘යේසුස්ගේ නමින් මං ඔයාට කියන්නේ මේ තරුණියගෙන් එළියට එන්න කියලයි.’ ඒ වෙලාවෙම භූතයා එළියට ආවා.
සල්ලි හම්බ කරන්න බැරි වෙනවා කියලා දැනගත්තාම සේවිකාවගේ ස්වාමිවරුන්ට කේන්ති ගියා. එයාලා පාවුල්වයි සීලස්වයි සිවිල් ආණ්ඩුකාරයන් ළඟට එක්කන් ගිහින් මෙහෙම කිව්වා. ‘මේ මිනිස්සු නීති කඩ කරලා නගරයේ කලබල ඇති කරනවා.’ එතකොට ආණ්ඩුකාරයන් කිව්වා ඒ දෙන්නාට ගහලා හිරේ දාන්න කියලා. හිරගෙදර භාරකරු එයාලව හිරගෙදර ඇතුළටම වෙන්න තිබුණු කළුවර හිරකූඩුවකට දාලා දඬුකදේ ගැහුවා.
ටික වෙලාවකින් ඒ දෙන්නා යෙහෝවාට ප්රශංසා ගීතිකා කියනවා අනිත් හිරකරුවන්ටත් ඇහුණා. රෑ දොළහට විතර එකපාරටම ලොකු භූමිකම්පාවක් ඇවිත් මුළු හිරගෙදරම හෙල්ලුණා. හිරේ දොරවල් ඇරිලා හිරකරුවන්ගේ විලංගුත් ගැලවුණා. දොරවල් ඇරිලා තියෙනවා දැක්කාම හිරගෙදර භාරකරුට හිතුණා හිරකරුවන් පැනලා යන්න ඇති කියලා. ඒ නිසා එයා කඩුව අරන් එයාටම ඇනගන්න හැදුවා.
එතකොටම පාවුල් මෙහෙම කිව්වා. “ඕක නවත්තන්න! අපි හැමෝම මෙතන ඉන්නවා.” ඒ වෙලාවේ හිරගෙදර භාරකරු පාවුලුයි සීලසුයි ඉස්සරහා දණගහලා ඇහුවා “ගැලවීම ලබාගන්න මම මොනවාද කරන්න ඕනෙ” කියලා. එතකොට එයාලා මෙහෙම කිව්වා. ‘ඔයායි පවුලේ අයයි යේසුස්ව විශ්වාස කරන්න.’ ඊටපස්සේ පාවුලුයි සීලසුයි එයාලට ශුභාරංචිය ගැන කිව්වාම හිරගෙදර භාරකරුත් පවුලේ හැමෝමත් බව්තීස්ම වුණා.
“මිනිස්සු ඔයාලට පීඩා කරයි. එයාලා ඔයාලව අල්ලලා සිනගෝගවලටත් සිරගෙවල්වලටත් භාර දෙයි. ඔයාලා මගේ අනුගාමිකයන් නිසා ආණ්ඩුකාරයන් සහ රජවරු ඉස්සරහට ඔයාලව අරන් යයි. ඒකෙන් ඔයාලට සාක්ෂි දරන්න අවස්ථාවක් ලැබෙයි.”—ලූක් 21:12, 13