පාඨකයන්ගෙන් ප්‍රශ්න
අපගේ පරිසරය—ගොඩබිම, මුහුද හා වාතය—දූෂණය කිරීමේ වේගය අඩු කිරීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානින්ට ඇති වගකීම් මොනවා ද?
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන් අපි, අපගේ භූමික නිවසට දැන් බලපාන බොහෝ පාරිසරික ගැටලු පිළිබඳ ව මහත් සැලකිල්ලෙන් සිටින්නෙමු. මෙම පොළොව පරිපූර්ණ මනුෂ්‍ය පවුලක් සඳහා පවිත්‍ර, සනීපදායී නිවසක් ව තිබීමට මවනු ලැබූ බව, ජනයාගෙන් බොහෝ දෙනෙකුට වඩා අපි අගය කරන්නෙමු. (උත්පත්ති 1:31; 2:15-17; යෙසායා 45:18) දෙවියන් වහන්සේ “පොළොව විනාශකරන්නවුන් විනාශ” කරන බවට වූ උන් වහන්සේගේ සහතිකය ද අපට තිබේ. (එළිදරව් 11:18) එමනිසා මනුෂ්‍යයා විසින් දැන් පොළොවට කරනු ලබන නාස්තියට නුවුවමනා ලෙස දායක වීමෙන් වැළකී සිටීමට සමබර සාධාරණ වෑයමක් දැරීම හරි ය. එසේ නමුත්, “සාධාරණ” යන වදන සැලකිල්ලට ගන්න. පාරිසරික ප්‍රශ්න හා පුරුදු ඕනෑවට වඩා අපගේ සැලකිල්ලට යොමු ව තිබීමට එරෙහි ව ආරක්ෂා වීම ද ශුද්ධ ලියවිලිමය වශයෙන් උචිත දෙයක් වෙයි.
සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයේ දී පවා අපද්‍රව්‍ය නිපදවෙයි. උදාහරණයක් වශයෙන්, ආහාර ද්‍රව්‍ය වගා කිරීම, සැකසීම, හා අනුභව කිරීම බොහෝ විට අපද්‍රව්‍ය ඇති කරයි. මින් බොහොමයක් ඇතැම් විට ස්වභාවික ව දිරාපත් කරන්නට ද පුළුවන. (ගීතාවලිය 1:4; ලූක් 3:17) මළවුන්ගෙන් උත්ථාන වූ යේසුස් වහන්සේ සිය ගෝලයන්ට සැකසූ පුලුස්සන ලද මාළු භෝජනයේ ප්‍රතිඵලයක් වශයෙන් දුම, අළු, හා ඉවත දමන ලද මාලු කටු යනාදිය බොහෝ විට ඇති වූ බව කිව හැක. (යොහන් 21:9-13) එහෙත්, පෘථිවියේ සප්රාණික සහ අප්‍රාණික පද්ධතීන් හෝ චක්රයන් නිර්මාණය කර ඇත්තේ එවන් දේ සමඟ කටයුතු කළ හැකි ආකාරයෙන් ය.
දෙවියන් වහන්සේගේ ජනයා පාරිසරික කාරණා පිළිබඳ ව අනවධානයෙන් සිටිය යුතු නොවේ. පාරිසරික මෙන් ම සෞඛ්යාරක්ෂක වැදගත්කමක් ඇති, අපද්‍රව්‍ය ඉවත් කිරීමේ පියවරවල් ගන්නා මෙන් යෙහෝවඃ වහන්සේ ස්වකීය පුරාතන ජනයාගෙන් ඉල්ලා සිටි සේක. (ද්විතීය කථාව 23:9-14) එමෙන් ම පොළොව විනාශ කරන්නා වූ අය දෙස උන් වහන්සේ බලන ආකාරය අප දන්නා බැවින්, පරිසරය පිරිසිදු ව තබා ගැනීමට අපට කළ හැකි දේවල් සම්බන්ධයෙන් නිසැක ව ම, අප නොසැලකිල්ල නොදැක්විය යුතු ය. කැළිකසල නැතහොත් අපද්‍රව්‍ය, විශේෂ කොට විෂ ද්‍රව්‍ය නිසි ලෙස ඉවත් කිරීමෙන් අපට මෙය විදහා පෙන්විය හැකි ය. අපි අපද්‍රව්‍ය යළි පාවිච්චියට ගත හැකි ලෙසින් සැකසීමට දරන වෑයම්වලට හෘදය සාක්ෂියට එකඟ ව සහයෝගය දක්වන්නෙමු, වැඩිදුරටත් මෙය මුලාදෑනීන් විසින් නියෝග කෙරේ නම්, එසේ කිරීමට වැඩිමනත් හේතු තිබේ. (රෝම 13:1, 5) තව ද, ගොඩබිම මත ද මුහුද යට ද ඇති කසළ ගොඩවල්වලට තවත් ද්‍රව්‍ය එකතු කරනවාට වඩා, ඇතැම් අය, ස්වභාවික ව දිරාපත් විය හැකි ද්‍රව්‍ය පාවිච්චි කිරීමට තෝරා ගැනීම වැනි, අමතර පියවර ගැනීමෙන් තෘප්තියක් ලබත්.
කෙසේ වෙතත්, නීතියෙන් නියෝග කර නොමැති නම්, ක්‍රිස්තියානියෙක් මේ පිළිබඳ ව ක්‍රියා කරන්නට යන තරම, පුද්ගලික කාරණයක් වෙයි. අසම්පූර්ණ මනුෂ්‍යයන් පහසුවෙන් අන්තවාදීන් වීමේ උගුලට හසු වන බව පුවත්පත් මාධ්‍යයන්ගෙන් පැහැදිලි වේ. යේසුස් වහන්සේගේ අවවාදය සහතික ව ම උචිත ය: “නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරල්ලා. . . . නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද?” (මතෙව් 7:1, 3) මෙය මනසේ තබා ගෙන සිටීමෙන්, වෙනත් වැදගත් සාධක අපගේ දෘෂ්ටියට නොපෙනී නොයාමට අපට උපකාරවත් වනවා ඇත.
දිවැස්වර යෙරෙමියා මෙසේ ලීවේ ය: “අහෝ, යෙහෝවඃ වහන්ස, මිනිසාට තමාගේ මාර්ගය අයිති නැති බව හොඳින් දනිමි. ඇවිදින මිනිසාට තමාගේ පියවර මෙහෙය වීමටවත් අයිතියක් නැත.” (යෙරෙමියා 10:23, NW) මෙම ප්‍රතිපත්තිය නොසලකා හැරීම, 2 තිමෝති 3:1-5 හි සඳහන් ආකාරයට මනුෂ්‍ය වර්ගයා ව “අන්තරා සහිත කාලවල්” කරා මුහුණට මුහුණ ලා ගෙනැවිත් තිබේ. තව ද දෙවියන් වහන්සේ එළිදරව් 11:18 හි වාර්තා කර ඇති දෙය, දූෂණය ද ඇතුළු ව ප්‍රධාන පාරිසරික ගැටලුවලින් පොළොව මුදා ගැනීමට වූ මනුෂ්‍ය වෑයම් සහමුලින් ම සාර්ථක නොවන බව සනාථ කරයි. තැනින් තැන යම් පමණ ප්‍රගතියක් තිබිය හැකිමුත්, කල් පවතින එක ම විසඳුම සඳහා දෙවියන් වහන්සේගේ මැදිහත්වීම අවශ්‍ය වේ.
මේ හේතුව නිසා, මතුපිට පෙනෙන්නට ඇති දූෂණයේ ලක්ෂණ යම් පමණට පහ කරන්නට වෑයම් කරනවාට වඩා අපි දිව්‍ය විසඳුම කෙරෙහි අපගේ වෑයම් හා සම්පත් යොමු කරන්නෙමු. මෙහිලා අපි, සිය සේවයෙන් වැඩි කොටසක් ‘සත්‍යයට සාක්ෂි දරමින්’ ගත කළ, යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කරන්නෙමු. (යොහන් 18:37) ලෝකය පෝෂණය කරමින් නැතහොත්—දූෂණය ද ඇතුළු ව—මහා පරිමාණයේ සමාජීය රෝගී තත්ත්වයන්ට සහනයක් ලබා දෙනු වෙනුවට, යේසුස් වහන්සේ අවධානය යොමු කළේ මනුෂ්‍ය වර්ගයාට බලපාන ගැටලු සඳහා වූ සර්ව සම්පූර්ණ විසඳුම කෙරෙහි ය.—යොහන් 6:10-15; 18:36.
භූමිය, පරිසරය, හෝ ජල සැපයුම් අනවශ්‍ය ලෙස දූෂණය කිරීමෙන් වැළකී සිටීමට සෙසු ජනයා කෙරෙහි ඇති ප්‍රේමය අප ව පොලඹවන අතර, අපි දිගට ම සත්‍යයට සාක්ෂි දරමු. බයිබල් සත්‍යයන් අදාළ කර ගැනීමට ජනයාට ඉගැන්වීමත්, එසේ තමන්ගේ ශරීර දුම්වලින්, පමණ ඉක්ම වූ මද්‍යපානයෙන්, හෝ හානිදායක මත් ද්‍රව්‍යවලින් විනාශ කර ගැනීම වැළැක්වීමත් මීට අයත් වේ. මිලියන සංඛ්‍යාත අලුත් අය ගෝලයන් වෙත් ම, ඔවුහු පිරිසිදුකම හා අන්‍යයන් කෙරෙහි සැලකිල්ලක් දැක්වීම පිළිබඳ පුරුදු ඉගෙනගෙන සිටිත්. මෙසේ දේශනා කිරීමේ වැඩකටයුත්ත, දූෂණය පිළිබඳ වත්මන් පොදු ගැටලුව අඩු කිරීමට සැබෑ දායකත්වයක් ලබා දී ඇත. එහෙත් වඩාත් වැදගත් දේ නම්, දෙවියන් වහන්සේ ස්වකීය සැබෑ නමස්කාරකයන් හට ඉක්මනින් සපයනු ඇති පිරිසිදු, පාරාදීස පොළොවට තමන් ගැලපෙනු පිණිස ක්‍රිස්තියානි ගෝලයන් තමන්ගේ පුද්ගලිකත්වයන් හා පුරුදු සකසා ගැනීමට දැන් වෑයම් කරමින් සිටීමයි.