හරියට ම පළඟැටියන් මෙන් ය
ග්‍රීෂ්ම කාලයේ ඔබ පිට්ටනියක් හරහා සක්මන් කර ඔබගේ මාර්ගය ඉදිරියෙහි පනින අසංඛ්‍යාත පළඟැටියන් දැක තිබෙනවා ද? ඔබ උන් කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකළත්, උන් සෑම තැනක ම සිටින බව පෙනෙන්නට ඇත. ඇත්තට ම, උන් අහිංසක මෙන් ම සැලකිය නොහැකි තරම් කුඩා යයි පෙනෙන හෙයිනි.
එහෙත්, ඇත්ත වශයෙන් ම පළඟැටියන්ගේ සැලකිය නොහැකි තරම් කුඩා ස්වභාවය නිසා ම උන් ව මනුෂ්‍ය වර්ගයාගේ උචිත සංකේතයක් බවට පත් වෙයි. ඇතැම් ප්රමුඛ පෙළේ අය තමන් ව අතිශය වැදගත් තැනැත්තන් හැටියට සැලකුවත්, අපගේ මැවුම්කරුවාණන් වෙනත් ආකාරයකට කල්පනා කරන සේක. උන් වහන්සේගේ දිවැස්වර යෙසායා මෙසේ පැවසී ය: “පෘථිවි චක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය, එහි වැසියෝ පළඟැටියන් වැනිය.”—යෙසායා 40:22.
මනුෂ්‍යයා බුද්ධියෙන් හා බලයෙන් පළඟැටියන්ට වඩා අතිශයින් උසස් වන්නා සේ, යෙහෝවඃ දෙවියන් වහන්සේගේ මහිමය, බලය හා ප්‍රඥාව මගින් උන් වහන්සේ ව සාමාන්‍ය මනුෂ්‍යයන්ට වඩා උත්තරීතර තත්ත්වයකට පත් කරනු ලබයි. කෙසේ නමුත්, දෙවියන් වහන්සේගේ අතිශ්රෙෂ්ට ගුණාංගය වන්නේ ප්‍රේමයයි. එමෙන් ම උන් වහන්සේ සතු අසමසම ප්‍රේමය—තව ද අප උන් වහන්සේට ප්‍රේම කර කීකරු වන්නේ නම්—අප කෙරෙහි සැලකිල්ල යොමු කරන්නට, අපට උපකාර කරන්නට හා අප ව ගලවා ගන්නට උන් වහන්සේ ව පොලඹවයි. අප සැලකිල්ලට නොගැනෙන පළඟැටියන් හා සමාන ව සිටියත්, යෙහෝවඃ වහන්සේ අප සමඟ කටයුතු කරන්නේ ප්‍රේමයෙනි. ගීතිකාකරු පැවසුවේ මෙසේ ය: “උසස් තැන්හි වැඩ හිඳින්නාවූ, ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ බලන්ට තමන්ම යටත්වන්නාවූ අපේ දෙවිවූ ස්වාමීන්ට [යෙහෝවඃ වහන්සේට NW] සමාන කවුද? . . . උන්වහන්සේ දුප්පතා [පහත් තැනැත්තා ව NW] ධූලියෙන් නැගිටුවනසේක.”—ගීතාවලිය 113:5-7.
මෙම ගීතිකාව පැහැදිලි කරන්නා සේ, යෙහෝවඃ වහන්සේ ප්‍රේමයෙන් යුක්ත ව පහත් අයට උපකාරය පිරිනමන සේක. එසේ ය, ‘දෙවියන් වහන්සේ ව සැබවින් ම සම්බවන ලෙස’ යටහත් වී ‘උන්වහන්සේ ව සොයන’ අයට උන් වහන්සේ උපකාර කරන සේක (ක්‍රියා 17:27) දෙවියන් වහන්සේ ව සැබවින් ම සොයන—හා උන් වහන්සේට සේවය කරන—අය උන් වහන්සේගේ ඇස් ඉදිරියේ අනර්ඝ ව සිටින්නෝ ය. (යෙසායා 43:4, 10 සසඳන්න.) එබැවින් යටහත් පහත් පළඟැටියන් අපගේ ම නොවැදගත් ස්වභාවයත්, කීකරු මනුෂ්‍යයන්ට තමන් වහන්සේගේ මිත්‍රත්වය ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව දානය කරන්නා වූ අපගේ සර්වබලධාරී මැවුම්කරුවාණන්ගේ ප්‍රේමයත් සිහිපත් කිරීමට උපකාරවත් වේ. දෙවියන් වහන්සේගේ ප්‍රේමයට ඔබ ඔබේ අගය පෙන්වන්නෙහි ද?