රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
අර්බුද සහිත කාලවල දේශනා කිරීම
“අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු අර්බුදසහිත කාලවල් මෙහි [තිබෙනු ඇත]” කියා ප්‍රේරිත පාවුල් පුරෝකථනය කළේය. (2 තිමෝති 3:1, NW) මෙම වචන මොනතරම් නිවැරදි බවට ඔප්පු වී තිබේද! මධ්‍යම අමෙරිකාවේ එල් සැල්වදෝර්හි සිටින ජනයා මෙම තික්ත යථාර්ථය අද්දැක සිටිති. දශකයකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ, එම රට, බොහෝ දහස් ගණනකට දුක්ඛිතභාවය සහ මරණය ගෙන ආ සිවිල් යුද්ධයෙන් පීඩිත වී සිටී. එම යුද්ධය දැන් අවසන් වී ඇති නමුත්, එහි දුක්ඛිතභාවය තවමත් පවතී. යුද්ධයට පසු අපරාධ ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. එක් ප්‍රාදේශීය රූපවාහිනි විස්තර ප්‍රකාශකයෙක් මෑතකදී මෙසේ පැවසීය: “අපරාධ සහ මංකොල්ලකෑම දැන් අපගේ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්වී තිබේ.”
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝද මෙම අපරාධ රැල්ලෙන් බේරී නොසිටිති. ගෙවල් බිඳින්නන් රාජ්‍යය ශාලා බොහොමයකට කඩා වැදී, ශබ්ද විකාශන උපකරණ සොරාගෙන ගොස් තිබේ. අවස්ථා කිහිපයකදී, රාජ්‍යය ශාලාවල රැස්වීම් පැවැත්වෙමින් තිබෙන විට, අවි සන්නද්ධ තරුණ කල්ලි රාජ්‍යය ශාලාවලට කඩා වැද, එහි පැමිණ සිටින්නන්ගෙන් මුදල්, අත් ඔරලෝසු සහ වෙනත් වටිනා දෑ සොරාගෙන ගොස් ඇත. තම එදිනෙදා කටයුතුවල යෙදී සිටින අතරේ, සාක්ෂිකරුවන් ගණනාවක් මංකොල්ලකරුවන් විසින් මරා දැමීම පවා කර තිබේ.
මෙම බාධා හමුවේ, එල් සැල්වදෝර්හි සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, ශුභාරංචිය දේශනා කිරීමෙහිලා දිගටම වෙහෙස මහන්සි වී ක්‍රියා කරමින් සිටිති. ඔවුන් මෙය කරන්නේ, “ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශකරනු ලබන්ට ඕනෑය” යන ශුද්ධ ලියවිලිමය නියෝගයට එකඟවය. (මාර්ක් 13:10) බයිබලය ඉදිරිපත් කරන රාජ්‍යය බලාපොරොත්තුව දෙස ආශාවෙන් බලා සිටින බොහෝදෙනෙකු තවමත් මෙම රටේ සිටින අතර, ඔවුන් කරා ළඟා වීමට සාක්ෂිකරුවෝ මහත් ප්රයත්නයක් දරති. අවිධිමත් ලෙස සාක්ෂිදැරීම දේශනා කිරීමේ ක්‍රමවල ඉතා ප්‍රබල එකක් බවට ඔප්පු වෙමින් තිබේ.
එක් සාක්ෂිකරුවෙක්, රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර, බයිබලයේ සඳහන් වී ඇති පරිදි, අනාගතය උදෙසා දෙවියන්වහන්සේගේ පොරොන්දු ගැන වෙනත් රෝගීන්ට කතා කිරීමට සෑම ප්‍රස්තාවක්ම යොදාගත්තේය. එක් බරපතළ රෝගියෙක් ඉතා දුකින් මෙසේ පැවසීය: “ඉතා ඉක්මනින් මා මැරිලා යාවි!” එහෙත්, එම රෝගියාගේ අඳුරුසහගත ශෝචනීය ආකල්පය නිසා, මෙම සාක්ෂිකරුවා, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය බෙදාගැනීමට අධෛර්යය වූයේ නැත. ඒ වෙනුවට ඔහු, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන පොතෙන් එම මිනිසාහට ශබ්ද නඟා කියෙව්වේය. දවස් ස්වල්පයකට පසුව, එම සාක්ෂිකරුවා රෝහලින් පිටවූයේ, එම මිනිසා ඔහුගේ මරණ ඇඳේ සිටින බවට සිතා දුක්වෙමිනි.
වසර හතරකට පසු, එම සාක්ෂිකරුවාට වෙනත් රෝහලක වෛද්‍ය ප්‍රතිකාරගැනීමට සිදුවිණ. ඔහු එහි සිටින අතර, එක් රෝගියෙක් ඔහු කරා එළඹ, “ඔබට මාව මතකද?” කියා ඔහුගෙන් ඇසීය. ඒ වනාහි ඔහුට මීට වසර හතරකට පෙර හමුවූ, මියයමින් සිටිනවා යයි සිතා සිටි මනුෂ්‍යයාය! ඒ මිනිසා ඔහුව වැළඳගෙන, “මමත් දැන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක්” යයි පැවසූ විට, එය මොනතරම් ප්‍රීතියක් වීද! එම මිනිසා, අනාගතය උදෙසා බයිබලය ඉදිරිපත් කරන බලාපොරොත්තුව වැළඳගෙන තිබූ අතර, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ පාඩම් කර, ඔහුගේ ජීවිතය යෙහෝවඃවහන්සේට කැප කොට තිබිණ. ඔහු සාක්ෂිකරුවෙකුව සිටියා පමණක් නොව, නමුත් ඔහු වසර දෙකක් පුරා ස්ථාවර පුරෝගාමියෙකු වශයෙන් පූර්ණ කාලීන සේවයේද හවුල් වෙමින් සිටියේය.
මේ සිද්ධියේදී, අවිධිමත් ලෙස සාක්ෂිදැරූ විටෙක වපුරන ලද බීජ, ප්‍රතිචාර දක්වනසුලු හදවතකට ළඟා වී තිබිණ. සත්‍යය පිළිබඳ දැනුම ලැබීමට ජනයාට උපකාර කිරීමේ මෙම වරප්‍රසාදය සැබෑ ක්‍රිස්තියානීන්ව පොලඹවන්නේ, “කටයුතු කිරීමට අසීරු අර්බුදසහිත කාලවල්” මැද දිගටම දේශනා කිරීමටයි.