ඔබේ ජීවිතය පාලනය වන්නේ දෛවය මගින්ද?
“ආලා නො ඩොන්.” බටහිර අප්‍රිකාවේ මාලිහි බම්බාරා භාෂාවෙන්, එම වදන් “දෙවියන්වහන්සේගේ ක්‍රියාවක්” යන්න අදහස් කරයි. ලෝකයේ එම ප්‍රදේශයෙහි මෙවැනි උද්යෝග වාක්‍යය බොහෝදුරට පොදුවේ දක්නට ලැබේ. වෝලොෆ් භාෂාවෙන් එය “යාලාහ් මෝ කෝ ඩෙෆ්” (දෙවියන්වහන්සේ එය නියම කළසේක) යනුවෙන් පවසනු ලැබේ. ඩෝගොන් ගෝත්‍රිකයන්ගේ උප-භාෂාවක, “ආමා බිරෙයි” (දෙවියන්වහන්සේ එය සිදු කළසේක) යනුවෙන් ඔවුහු පවසති.
මේ ප්රකාශයන්ට සමාන ඒවා වෙනත් රටවලද දක්නට තිබේ. මරණයෙන් හෝ ඛේදවාචකයකින් පහර ලබද්දී, “ඔහුගේ වෙලාව ආවා” සහ “ඒක දෙවියන්වහන්සේගේ කැමැත්ත” වැනි ප්‍රකාශයන් බොහෝවිට අසන්ට ලැබේ. “මනුෂ්‍යයා යෝජනා කරයි, දෙවියන්වහන්සේ තීරණය කරයි” වැනි උද්යෝග වාක්‍යයන් බටහිර අප්‍රිකාවේ, පොදු ප්‍රවාහණ රථවල තීන්තෙන් ලියා ඇති අතර, කඩ සාප්පුවල පෝස්ටර් ලෙස අලවා තිබීම පොදුවේ දකින්ට ලැබේ. බොහෝදෙනෙකුට එය නිකම්ම වාක්‍යාලංකාර ප්‍රකාශයන් වේ. කෙසේවෙතත්, බොහෝ අවස්ථාවලදී, දෛවවාදය කෙරෙහි මුල්බැසගත් විශ්වාසයක් මෙය පිළිබිඹු කරයි.
ඇත්තෙන්ම, දෛවවාදය යනු කුමක්ද? ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා එය නිර්වචනය කරන්නේ, “මනුෂ්‍යවර්ගයාට පාලනය කළ නොහැකි බලවේගයන් මගින් සිද්ධීන් තීරණය කරනු ලබන බව පෙන්වන විශ්වාසය” වශයෙනි. මෙම “බලවේගයන්” මොනවාද? පුද්ගලයෙකුගේ උපතේදී තාරකාවල පිහිටීම මගින් ඔහුගේ දෛවයට මහත් බලපෑමක් ඇති කරන බව වසර දහස් ගණනාවකට පෙර බබිලෝනිවරු විශ්වාස කළහ. (යෙසායා 47:13, සසඳන්න.) බලවත් දේවතාවියන් තිදෙනෙකු දෛවය පාලනය කරනු ලබන බව ග්රීක්වරු විශ්වාස කළෝය. මෙම දේවතාවියෝ ජීවිතය නමැති නූල කටිමින්, මනිමින් එමෙන්ම කපමින් සිටිති. කෙසේවෙතත්, පුද්ගලයෙකුගේ දෛවය දෙවියන්වහන්සේ විසින්ම තීරණය කරනු ලබන බවට වූ සංකල්පය ගෙන ආවේ ක්‍රිස්තියානි ලෝකයේ දේවධර්ම ශාස්ත්රඥයන්ය.
නිදසුනක් වශයෙන්, “සාන්ත” ඔගස්ටින් ජ්‍යොතිඃ ශාස්ත්‍රඥයන්ගේ “බොරු සහ හානිකර මතයන්” ප්‍රතික්ෂේප කළේය. අනික් අතට, “දෙවියන්වහන්සේ පවතින බව පිළිගන්නා අතරම උන්වහන්සේට අනාගතික දේවල් සම්බන්ධයෙන් පූර්වදැනුමක් තිබෙන බව ප්‍රතික්ෂේප කිරීම වනාහි හොඳින් පැහැදිලිව දකින මෝඩකමක්” බවට ඔහු තර්ක කළේය. දෙවියන්වහන්සේ සැබවින්ම සර්ව බලධාරි වීමට නම්, උන්වහන්සේ විසින් “කලින් නියම කරනු නොලබන” කිසිවක් නොතිබිය යුතු අතර, උන්වහන්සේ “සියලුම දේ සිදුවීමට කලින් දැන සිටිය යුතු” බව ඔහු කියා සිටියේය. එහෙත් දෙවියන්වහන්සේට සියලු දේවල් සිදුවන්ට පෙර කලින් දැනසිටීමේ හැකියාව තිබියදීත්, මනුෂ්‍යයාට තවමත් නිදහස් කැමැත්ත තිබේයයි, ඔගස්ටින් බලවත් හැඟීමකින් යුතුව තර්ක කළේය.—ද සිටි ඔෆ් ගෝඩ්, Vවන පොත, පරිච්ඡේද 7-9.
ශතවර්ෂ ගණනාවකට පසු, රෙපරමාදු දේවධර්ම ශාස්ත්රඥයෙකු වූ ජොන් කැල්වින් එම අදහස තවත් වැඩිදියුණු කළේය. සමහරුන්ව “ස්වර්ග රාජ්‍යයේ දරුවන් හා උරුමක්කාරයන් වීමට [දෙවියන්වහන්සේ විසින්] පූර්වයෙන් නියම කරනු ලැබ” තිබෙන අතර, වෙනත් අයව “උන්වහන්සේගේ උදහස ලබන්නන්” වීමට පූර්වයෙන් නියම කරනු ලැබ තිබෙන බවට ඔහු තර්ක කළේය.
අදදින, දෛවය කෙරෙහි තිබෙන විශ්වාසය, ලෝකයේ බොහෝ ප්‍රදේශවල පිළිගනු ලබන දෙයකි. බටහිර අප්‍රිකාවේ ජීවත් වන ඌස්මාන් නමැති යෞවන පුරුෂයාගේ අද්දැකීම සලකා බලන්න. ඔහු පාසැලේ සිටි හොඳම ශිෂ්‍යයන්ගෙන් කෙනෙක් වූයේය; නමුත් ඔහු අවසාන විභාගයට පෙනී සිටි විට, එයින් අසමත් වූයේය! නැවතත් එම පන්තියේම තවත් අවුරුද්දක් රැඳී සිටීම පමණක් නොව, නමුත් තම පවුලේ අය හා මිතුරන් ඉදිරියේ ලජ්ජාවට පත්වීමද ඉන් අදහස් විය. එය දෙවියන්වහන්සේගේ කැමැත්ත බව පවසමින් මිතුරෙක් ඔහුව සැනසීමට උත්සාහ කළේය. ඔහුගේ අසමත් වීම සම්බන්ධයෙන් ඌස්මාන්ගේ මව එයාකාරයෙන්ම දෛවය මත වරද පැටවූවාය.
කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා ඔවුන් ගත්තාවූ උත්සාහයන් පිළිගැනීමට ඌස්මාන් මුලින්ම සතුටු වූයේය. කෙසේවෙතත්, ඔහුගේ අසමත් වීම සැබවින්ම දෙවියන්වහන්සේගේ කැමැත්ත වූවා නම්, එය වැළැක්වීම සඳහා ඔහුට කිසිවක් කළ නොහැකිව තිබිණ. එහෙත් ඔහුගේ පියා වෙනස් කෝණයකින් දේවල් දෙස බලන්ට විය. විභාග අසමත් වීම වනාහි ඔහුගේ වරදක් මිස දෙවියන්වහන්සේගේ වරදක් නොවන බව ඔහු ඌස්මාන්ට පැවසුවේය. ඌස්මාන් අසමත් වූයේ, හුදෙක් තම පාඩම් නොසලකා හැර තිබුණු නිසාය.
දෛවය ගැන තම ඇදහිල්ල සසල වීමෙන් පසු, තමාම කාරණා පරීක්ෂා කළ යුතු බවට ඌස්මාන් තීරණය කළේය. මීළඟ ලිපිය සලකා බැලීමෙන් ඔබටත් එසේම කරන්න කියා දැන් අපි ඔබට ආරාධනා කරන්නෙමු.