ෂෙඛෙම් නිම්නයේ පිහිටි නගරය
දෙවි තම සෙනඟ සඳහා තෝරාගත් දේශයේ ගර්භයේ තමයි, ඒබාල් හා ගෙරිසීම් කඳු අතර තුරුලු වී සිටින, ෂෙඛෙම් නගරය පිහිටා තිබෙන්නේ. අවුරුදු හාරදහසකට විතර පෙර, යෙහෝවා ආබ්‍රහම්ට මේ විදිහට පොරොන්දු කළේ, මෙහිදීයි: “මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමි.”—උත්පත්ති 12:6, 7.
මෙම පොරොන්දුවට එකඟව, ආබ්‍රහම්ගේ මුනුපුරා වූ යාකොබ්, ෂෙඛෙම්හි කූඩාරම් ගසාගෙන, “දෙවි ඉශ්‍රායෙල්ගේ දෙවි” යනුවෙන් හැඳින්වූ පූජාසනයක් ගොඩනැඟුවා. ඔහුගේ පවුලේ අයට හා සතුන්ට වතුර සැපයීමට යාකොබ් ළිඳක් හෑරුවා වෙන්න පුළුවන්; ඊට ශතවර්ෂ ගණනාවකට පස්සේ “යාකොබ්ගේ ළිඳ” හැටියට හඳුන්වනු ලැබුවේ ඒ ළිඳයි.—උත්පත්ති 33:18-20, NW පාදසටහන; යොහන් 4:5, 6, 12.
කොහොම වුණත්, යාකොබ්ගේ පවුලේ සියලුදෙනාම සැබෑ නමස්කාරය සඳහා ජ්වලිතය දැක්වූයේ නැහැ. ඔහුගේ දියණිය වූ දීනා, ෂෙඛෙම්හි කානානීය ස්ත්රීන්ගේ ආශ්‍රය පැතුවා. ඒ වෙනකොටත් යෞවනියක්ව හිටපු දීනා, ඇගේ පවුලෙන් ලැබූ ආරක්ෂාව අත්හැරලා, මිත්‍රයන් ඇති කරගැනීමට ළඟපාත තිබුණු ඒ නගරයට යන්න පටන්ගත්තා.
ඔවුන්ගේ නගරයට නිතරම පැමිණි,—බොහෝවිට තනියම පැමිණි—මේ කන්‍යාවව, එම නගරයේ විසූ යෞවන පුරුෂයන් සලකනු ඇත්තේ කොයි ආකාරයකටද? අධිපතියෙකුගේ පුතෙක් “ඈ දුටුවේය; ඔහු ඈ රැගෙන ඈ සමග සයනය කොට ඈ අපවිත්‍ර [කළේය].” දුරාචාර කානානීවරුන් එක්ක ආශ්‍රය කිරීමෙන් දීනා අන්තරාවට අතවැනුවේ ඇයි? සම වයසේ යෞවනියන්ගේ ආශ්‍රය ඇයට අවශ්‍ය බව ඇයට හැඟුණු නිසාද? ඇගේ සහෝදරයන් කිහිපදෙනෙක් වගේ ඇයත් හිස උදුම්මාගත් ස්වාධීන කෙනෙක්ද? උත්පත්ති වාර්තාව කියවන්න; තම දියණිය ෂෙඛෙම් නගරයට යෑමෙන් ඇති වූ දුඃඛිත ප්‍රතිඵලය ගැන, යාකොබ් හා ලෙයාට ඇති වූ දුක හා ලජ්ජාව තේරුම්ගන්න උත්සාහ කරන්න.—උත්පත්ති 34:1-31; 49:5-7; වර්ෂ 1985 ජූනි 15, ද වොච්ටවර් කලාපයේ 31වන පිටුවද බලන්න.
ඊට අවුරුදු 300කට ආසන්න කාලයකට පමණ පස්සේ, දිව්‍යාණ්ඩු මාර්ගදර්ශක නොසලකා හැරීමේ ප්‍රතිඵල නැවතත් මතු වුණා. ඉශ්‍රායෙලිතයන්ගේ ඉතිහාසයේ වඩාත් වැදගත් එක්රැස්වීම්වලින් එකක් යෝෂුවා ෂෙඛෙම්හිදී සංවිධානය කළා. නිම්නයේ තිබුණු දර්ශනය සිතේ මවාගන්න. මනුෂ්‍යයන් මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් ගෙරිසීම් කන්ද ඉදිරිපිට සිටගෙන සිටිනවා; එනම් ඉශ්රායෙලයේ ගෝත්‍ර හයට අයිති පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන්. නිම්නය හරහා ඒබාල් කන්ද ඉදිරිපිට අනික් ගෝත්‍ර හයෙන්, මේ හා සමාන සංඛ්‍යාවක් පමණ සිටගෙන ඉන්නවා.a පහළ, ගිවිසුම් පෙට්ටිය අසල හා ඉශ්රායෙලිත සමූහයන් දෙක අතර, පූජකවරු හා යෝෂුවා සිටගෙන සිටිනවා. මොනතරම් මනරම් දර්ශනයක්ද!—යෝෂුවා 8:30-33.
මෙම විශාල සමූහයට ඉහළින් නැඟී සිටින මෙම කඳු දෙක, අලංකාර හා නිසරු බිමක් අතර තිබෙන වෙනස පැහැදිලිව ඉදිරිපත් කරනවා. ගෙරිසීම්හි ඉහළ බෑවුම් කොළ පැහැති එමෙන්ම සශ්‍රීක වන අතර, ඒබාල්හි බෑවුම් වියළි මෙන්ම පාළුයි. යෝෂුවා කතා කරන මොහොත වන තෙක් බලා සිටින ඉශ්‍රායෙලිතයන් අතර පවතින උද්යෝගී වාතාවරණය ඔබටත් හැඟෙනවාද? මෙම ස්වාභාවික රඟ මඩලේ හැම ශබ්දයක්ම ප්රතිනාද වෙනවා.
‘මෝසෙස්ගේ ව්‍යවස්ථා පොත’ කියවීමට යෝෂුවා ගත කරන පැය හතරේ සිට හය දක්වා කාලය අතරතුර, ජනයාද සහභාගි වෙනවා. (යෝෂුවා 8:34, 35) පෙනෙන විදිහට, හැම ආශීර්වාදයකින්ම පස්සේ, ගෙරිසීම් ඉදිරිපිට සිටින ඉශ්‍රායෙලිතයන් ආමෙන්! කියා කියන අතර, ඒබාල් ඉදිරිපිට සිටින අය පවසන ආමෙන්! යන්නෙන් හැම ශාපයක්ම අවධාරණය කෙරෙනවා. ඇතැම්විට ඒබාල් කන්දෙහි නිසරු පෙනුම, අකීකරුකමේ විපත්තිදායක ප්‍රතිඵලය සෙනඟට මතක් කරලා දෙන්න උපකාර වෙනවා වෙන්න පුළුවන්.
“තමාගේ පියාට හෝ මවට හෝ අගෞරව කරන්නාට ශාප වේවා” කියලා යෝෂුවා අනතුරු අඟවයි. කටහඬවල් මිලියනයකට වඩා සංඛ්‍යාවක්, “ආමෙන්” කියලා එකඟත්වයකින් ප්‍රතිචාරය දක්වනවා. ගර්ජනාවකට සමාන ප්‍රතිචාරයකින් නැඟෙන ශබ්දය නිහඬ වන තෙක් බලා සිටීමෙන් යෝෂුවා තවදුරටත් මෙහෙම කියනවා: “තමාගේ අසල්වාසියාගේ බිමේ ඉම පහකරන්නාට ශාප වේවා.” නැවතත්, විජාතික වැසියන් සමඟින් ගෝත්‍ර හය “ආමෙන්” කියා ප්‍රතිචාර දක්වනවා. (ද්විතීය කථාව 27:16, 17) ඔබ එහි සිටියා නම්, කඳු අතර පැවැත්වූ එම රැස්වීම ඔබට කිසිදිනක අමතක වෙයිද? කීකරුකම සඳහා ඇති අවශ්‍යතාව අමතක නොවන ආකාරයකට ඔබේ මනසට කාවදින්නේ නැද්ද?
අවුරුදු 20කට පමණ පස්සේ යෝෂුවා මැරෙන්න කලින්, ඔවුන්ගේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න, ඔහු නැවත වරක් එම ජාතියට ෂෙඛෙම් අසලට රැස් වෙන්න කියා ඉල්ලා සිටියා. සියලුදෙනාම කළ යුතු තේරීම ඔහු ඔවුන් ඉදිරියේ තැබුවා. “නුඹලා සේවය කරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න” කියලා ඔහු පැවසුවා. “එහෙත් අපි නම්—මමද මාගේ පවුලද—ස්වාමීන්වහන්සේට සේවය කරමු.” (යෝෂුවා 24:1, 15) ෂෙඛෙම් අසල පැවැත්වූ මෙම ඇදහිල්ල පුබුදුවාලන සමුළු සිතට තදින්ම කාවැදුණා කියලා කියන්න පුළුවන්. යෝෂුවාගේ මරණයෙන් පස්සේ අවුරුදු ගණනාවක් පුරා, ඉශ්රායෙල්වරු ඔහුගේ විශ්වාසවන්ත ආදර්ශය අනුගමනය කළා.—යෝෂුවා 24:31.
ඊට ශතවර්ෂ 15කට පමණ පස්සේ, ගෙරිසීම් කඳු සෙවණෙහි යේසුස් විවේක ගනිමින් සිටිද්දී, හද උණුසුම් කරවන සංවාදයක් සිදු වුණා. දිගු ගමනකින් පස්සේ වෙහෙසට පත්ව සිටි යේසුස් යාකොබ්ගේ ළිඳ අසල ඉඳගෙන ඉන්න කොට, සමරිතානු ස්ත්‍රියක් වතුර කළයක් රැගෙන එතැනට ළඟා වුණා. යුදෙව්වන් සමරිතානුවන් සමඟ කතා කළේ නැති නිසාත්, ඒ වගේම ඔවුන්ගේ භාජනවලින් වතුරවත් බිව්වේ නැති නිසාත්, යේසුස් ඇගෙන් බොන්ට වතුර ඉල්ලූ විට ඇය පුදුම වුණා. (යොහන් 4:5-9) යේසුස් පැවසූ ඊළඟ වචන ඇයව තවත් පුදුම කළා.
“මේ වතුර බොන හැමදෙනාට නැවත පිපාසාවන්නේය. නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේය.” (යොහන් 4:13, 14) මේ ගැඹුරු ළිඳෙන් වතුර ඇදීම හරිම වෙහෙසකර කාර්යයක් වූ නිසා, එම පොරොන්දුව කෙරෙහි එම ස්ත්‍රිය දැක්වූ උනන්දුව සිතේ මවාගන්න. යෙරුසලමට හා ගෙරිසීම් කන්දට ඓතිහාසික වැදගත්කමක් තිබුණත්, දෙවි වෙත ළඟාවීමට ඒ ප්‍රදේශ අත්‍යවශ්‍ය වූ ආගමික ස්ථාන නොවූ බව යේසුස් තවදුරටත් පැහැදිලි කළා. වැදගත් වුණේ ස්ථානය නොව, නමුත් හෘද ආකල්පය හා හැසිරීමයි. “සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකර[නු ඇත]” කියා ඔහු පැවසුවා. “[ඇත්තෙන්ම] පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක.” (යොහන් 4:23) ඒ වචන කොතරම් සැනසිල්ල ගෙන දෙන ඒවා වන්ට ඇද්ද! මෙම නිම්නය, යෙහෝවාට සේවය කරන්න සෙනඟට උනන්දු කළ ස්ථානයක් බවට නැවත වරක් පත් වුණා.
ඉපැරණි ෂෙඛෙම්හි සුන්බුන් අසල, අදදින නැබ්ලස් නගරය පිහිටා තිබෙනවා. ගෙරිසීම් කන්ද හා ඒබාල් කන්ද අදදිනත්, නිම්නය කෙරෙහි බලපවත්වන අතර, ඒවා පෙර සිදු වූ සිද්ධීන්වලට නිහඬ සාක්ෂි වෙනවා. මේ කඳු පාමුල පිහිටා තිබෙන යාකොබ්ගේ ළිඳ, අදදිනත් දැකිය හැකියි. එහිදී සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් අපි මෙනෙහි කරද්දී, යෝෂුවා හා යේසුස් අපට ඉගැන්වූ විදිහට සැබෑ නමස්කාරය තහවුරු කිරීමේ ඇති වැදගත්කම අපේ සිහියට නැඟෙනවා.—යෙසායා 2:2, 3, සසඳන්න.
[පාදසටහන]
a ගෙරිසීම් කන්ද ඉදිරිපිට සිටි ගෝත්‍ර හය වන්නේ, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර්, යෝසෙප් හා බෙන්යමින්ය. ඒබාල් කන්ද ඉදිරිපිට සිටගෙන සිටි ගෝත්‍ර හය වන්නේ, රූබෙන්, ගාද්, ආෂෙර්, සාබුලොන්, දාන් හා නප්තලීය.—ද්විතීය කථාව 27:12, 13.
[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.