කනෙක්ටිකට්හි ශ්‍රේෂ්ඨාධිකරණය රෝගීන්ගේ අයිතිවාසිකම් තහවුරු කරයි
වර්ෂ 1996 අප්‍රියෙල් 8වනදා, අ.එ.ජ., කනෙක්ටිකට්හි ශ්‍රේෂ්ඨාධිකරණය, රුධිර ප්‍රවේශනය ප්‍රතික්ෂේප කිරීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තිබෙන අයිතිය තහවුරු කළා. මේ තීන්දුව මගින් කලින් දුන් නඩු තීන්දුවක් නිෂ්ප්‍රභ කළා.
වර්ෂ 1994 අගෝස්තු මාසයේදී, යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන නෙලි වෙගා ඇගේ මුල්ම දරුවාව බිහි කිරීමෙන් පසු, අධික ලෙස රුධිරය ගලන්න පටන්ගත්තා. ඇගේ අධික රුධිර වහනය නතර කිරීමට ගත් උත්සාහයක් අසාර්ථක වුණා. වෙගා මහත්මියගේ තත්වය දරුණු අතට හැරීමත් සමඟම, රුධිර ප්‍රවේශනයක් දීමට අවශ්‍ය බලතල ලබාගැනීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය අධිකරණ නියෝගයක් ලබාගන්න උත්සාහ කළා. ඈ රෝහලේ නතර වී සිටින කාලයේදී, රුධිරය හෝ රුධිරය අනුසාරයෙන් ලබාගත් දෑ ප්‍රතිකාර සඳහා යොදා නොගත යුතු බවටත්, මෙසේ ඈ ගත් තීරණයේ ප්‍රතිවිපාක හේතුවෙන් මතු වන ඕනෑම වගකීමකින් රෝහල් කාර්ය මණ්ඩලය නිදහස් කරන බවටත් නියෝග කරමින් පිළියෙළ කළ මුදවාහැරීමේ ලියවිල්ලකට වෙගා මහත්මිය ඒ වන විටත් අත්සන් කර තිබුණා. ඒ කොහොමවුණත්, රුධිර ප්රවේශනයකට බල කිරීම, මවගේ රැකවරණය අවශ්‍ය කරන බිළිඳාගේ උපරිම ශුභසිද්ධියට හේතු වෙන බවට රෝහල් කාර්ය මණ්ඩලය කරුණු ගෙනහැර දැක්වුවා. රුධිරය පිට වුණත්, වෙගා මහත්මිය සෞඛ්‍යසම්පන්න තරුණ කාන්තාවක් යන්න ගැනද අභියාචනාධිකරණය සැලකිල්ල දැක්වූවා. මේ අනුව, වෙගා මහත්මියගේ, ස්වාමිපුරුෂයාගේ හා නීතිඥයාගේ විරෝධතාව නොසලකා, රුධිර ප්‍රවේශනය සඳහා නියෝග කළ අතර ඈට රුධිරය ලබා දුන්නා.
කාලයක් ගතවීමෙන් පසු, මේ නඩුව කනෙක්ටිකට්හි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළා. රෝහල් කාර්ය මණ්ඩල විසින් ගත් ක්‍රියාමාර්ගය මගින් වෙගා මහත්මියගේ අයිතිවාසිකම් උල්ලංගනය කර තිබෙන බව එහිදී ඒකමතිකව තීන්දු වුණා. එම තීන්දුවේ මෙසේ සඳහන් වුණා: “මේ නඩුව විභාග කළ අධිකරණය ඉදිරියෙහි තර්ක විතර්ක කිරීම් සිදු වූයේ, දෙපාර්ශ්වයටම එහි තර්ක ඒත්තුගැන්වීමට ඉඩ කඩ නොතිබූ දැඩි හදිසි තත්වයන් යටතේ මධ්‍යම රාත්රියේදීයි.”
කනෙක්ටිකට්හි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් මේ තීන්දුව, සාක්ෂිකරුවන්ට අමතරව වෙනත් අයටත් වැදගත් වෙනවා. “තමන්ගේ වෛද්‍යවරුන් සමඟ එකඟ නොවිය හැකි සියලුම රෝගීන්ට එය වැදගත්” කියා වෙගා මහත්මියගේ නීතිඥයා වන ඩොනල්ඩ් ටී. රිඩ්ලි පවසනවා. “මෙම තීන්දුව හේතුවෙන්, ආගමික හෝ වේවා ලෞකික හෝ වේවා රෝගීන්ගේ සාරධර්මයන් රෝහල් කාර්ය මණ්ඩල විසින් යටපත් කර දැමීම නතර වේවි.”