ධන සම්පත්වලින් පූර්ණ මෙන්ම ප්‍රඥාවන්ත රජෙක්
ධනය ඔබව සතුටු කරවයි කියා ඔබ සිතනවාද? යමෙක් ඔබට විශාල මුදල් සම්භාරයක් දුන්නොත් ඔබ ඒ ගැන සතුටු වන්නේ නැද්ද? ඔබ සතුටු විය හැකියි. සමහරවිට එය වියදම් කරන ආකාරය ගැන ඔබ කල්පනා කරන්න පුළුවන්.
ඇත්තෙන්ම, ජීවිතය වඩාත් සැපපහසු මෙන්ම ආස්වාදයෙන් පිරි එකක් බවට පත් කිරීම සඳහා දේවල් ඕනෑ තරම් මිල දී ගන්න තිබෙනවා. අසනීප හෝ රැකියාවක් නොමැති වීම වැනි අනපේක්ෂිත ගැටලුවට එරෙහිව “ආරක්ෂාවක්” සපයන්නත් මුදලට හැකියි.—දේශනාකාරයා 7:12.
නමුත් මුදල් සහ සන්තෝෂය අතර තිබෙන සම්බන්ධතාව කුමක්ද? සන්තෝෂය කියන්නේ ධන සම්පත්වල අතුරු ඵලයක් කියා බොහෝදෙනෙක් විශ්වාස කරන්නාක් මෙන් ඔබත් විශ්වාස කරනවාද? මේ ප්‍රශ්නවලට උත්තර සොයාගැනීම අසීරු දෙයක් විය හැක්කේ මුදල් පහසුවෙන්ම මැනීමට හෝ ගණනය කිරීමට හැකි වුවත් සන්තෝෂය එසේ කළ නොහැකි වීම නිසයි. සන්තෝෂය තරාදියක දමා මනින්න ඔබට බැහැ.
ඒ හැර, ඇතැම් ධනවත් මිනිසුන් සන්තෝෂයෙන් සිටින බව පෙනුණත් තවත් ධනවත් අය දුක්ඛිත තත්වයක පසු වෙනවා. මේ දෙයම දුප්පත් අය සම්බන්ධයෙන්ද සැබෑවක් වෙනවා. ඒත්, මිනිසුන් බොහෝදෙනෙක්—දැනටමත් ධනවත්ව සිටින අය පවා—විශ්වාස කරන්නේ මුදල් වැඩි වැඩියෙන් ලැබීමෙන් තමන්ට ඉමහත් සන්තෝෂයක් ලැබෙන්න යන බවයි.
එවැනි කාරණා ගැන ලියූ තැනැත්තෙක් වන්නේ පුරාණ ඉශ්රායෙලයේ සිටි සාලමොන් රජයි. ඔහු මෙතෙක් ජීවත් වූ ධනවත්ම මිනිසුන්ගෙන් කෙනෙක් වුණා. ඔහු සතුව තිබූ අතිමහත් ධන සම්භාරය ගැන විස්තරයක් ඔබට බයිබලයේ පළමුවන රාජාවලිය පොතේ 10වන පරිච්ඡේදයේ කියවිය හැකියි. උදාරණයක් හැටියට, එම පරිච්ඡේදයේ 15වන වගන්තිය සඳහන් කරන දෙය සැලකිල්ලට ගන්න: “[සාලමොන්ට] අවුරුද්දකට ලැබුණු රන්වල බර තලෙන්ත හසිය හැටහයක්ය.” ඒ ප්‍රමාණය රන් ටොන් 25කට සමානයි. අද එම රන්වල වටිනාකම රුපියල් 12,00,00,00,000කටත් වඩා වැඩියි!
ඒත්, සාලමොන් නිකම්ම ධනවත් මිනිසෙක් වුණේ නැහැ; ප්‍රඥාව සමඟින් දෙවි ඔහුට ආශීර්වාද කළා. බයිබලය මෙසේ පවසනවා: “සාලමොන් රජ [ධනයෙනුත්, NW] ප්‍රඥාවෙනුත් පොළොවේ සියලු රජුන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය. [දෙවි] සාලමොන්ගේ සිතේ තබා තිබුණු ඔහුගේ ප්‍රඥාව අසන පිණිස සකල දේශවාසීහු ඔහු වෙතට ආවෝය.” (1 රාජාවලිය 10:23, 24) සාලමොන්ගේ ලියවිලි බයිබල් වාර්තාවේ කොටසක්ව තිබෙන නිසා ඔහුගේ ප්‍රඥාවෙන් අපටත් ප්‍රයෝජන අත් කරගන්න පුළුවන්. ධන සම්පත් සහ සන්තෝෂය අතර තිබෙන සම්බන්ධතාව ගැන ඔහුට පවසන්න තිබුණු දේවල් මොනවාද කියා අපි බලමු.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Reproduced from Die Heilige Schrift - Übersetzt von Dr. Joseph Franz von Allioli. Druck und Verlag von Eduard Hallberger, Stuttgart