නාඳුනන දෙවි කෙනෙකුට පූජාසනයක්
ප්‍රේරිත පාවුල් පො.යු. 50දී පමණ ග්‍රීසියේ ඇතන්ස්වලට ගියේය. එහි නාඳුනන දෙවි කෙනෙකුට කැප කළ පූජාසනයක් තිබෙනවා දුටු ඔහු පසු කලෙක යෙහෝවා සම්බන්ධයෙන් කදිම සාක්ෂියක් දරන විට, ඒ ගැන සඳහන් කළේය.
මාස් කන්දේදී නොහොත් ඇරියෝපගයේදී තම කතාව ආරම්භ කරමින් පාවුල් මෙසේ පැවසුවේය. “ඇතන්ස්හි පුරුෂයෙනි, ඔබ සියලු කාරණාවලදී අනුන්ට වඩා දෙවිදේවතාවන් කෙරෙහි භයක් ඇතිව සිටින බව මට පෙනේ. උදාහරණයක් ලෙස, මා ඇවිදගෙන යමින්, ඔබ මහත් භක්තියෙන් සලකන වස්තූන් දෙස හොඳින් බලද්දී, ‘නාඳුනන දෙවි කෙනෙකුටය’ කියා ලියා තිබුණු පූජාසනයක්ද මට සම්බ විය. එබැවින්, මම ඔබට ප්‍රකාශ කරන්නේ, ඔබ නොදන්නාකමින් භක්තිය පිරිනමන මේ දේ ගැනය.”—ක්‍රියා 17:22-31, NW.
ඇතන්ස්හි තිබූ එම පූජාසනය මෙතෙක් සම්බ වී නොතිබුණත් ග්‍රීසියේ වෙනත් තැන්වල එවැනි පූජාසන තිබූ බව සොයාගෙන තිබේ. උදාහරණයක් වශයෙන්, දෙවන සියවසේ විසූ ග්‍රීක භූගෝල විද්‍යාඥයෙකු වූ පෝසේනියස්, ඇතන්ස්වලට වැඩි ඈතකින් නොවූ ෆාලෙරෝන්හි “නාඳුනන දෙවිදේවතාවන්” යනුවෙන් පූජාසන තිබූ බව සඳහන් කළේය. (ඩිස්ක්රිප්ෂන් ඔෆ් ග්‍රීස්, අටිකා I, 4) එහිම විස්තර කර තිබෙන්නේ ඔලිම්පියාහි “නාඳුනන දෙවිදේවතාවන්ට පූජාසනයක්” තිබුණ බවය.—ඉලීය I, XIV, 8.
ග්‍රීක ගත්කරුවෙකු වූ ෆිලොස්ට්රාටස් (පො.යු. 170-245දී පමණ) විසින් ලියන ලද ද ලයිෆ් ඔෆ් ඇපොලොනියස් ඔෆ් ටයනා (VI, III) නමැති කෘතියෙහි පැවසුවේ, ඇතන්ස්හි “නාඳුනන දෙවිවරුන්ට පවා ගෞරවය දැක්වීමට පූජාසන තනා තිබෙන” බවය. එමෙන්ම ලයිව්ස් ඔෆ් ෆිලොසොෆර්ස් (1.110) නම් තම කෘතියෙහි ඩියෝජනීස් ලෙයර්ෂියස්ද (පො.යු. 200-250දී පමණ) ඇතන්ස්හි විවිධ ප්‍රදේශවල “නිර්නාමික පූජාසන” දැකගත හැකි බව ලීවේය.
රෝම වැසියන් විසින්ද නිර්නාමික දෙවිවරුන්ට පූජාසන ඉදි කරන ලදි. මෙහි දැක්වෙන්නේ පො.යු.පෙ. පළමු හෝ දෙවන සියවසේදී තිබූ පූජාසනයක් දැන් ඉතාලියේ, රෝම පැලටයින් කෞතුකාගාරයෙහි සුරක්ෂිතව තබා ඇති අයුරුය. එහි ලතින් භාෂාවෙන් කොටා ඇති ලේඛනයෙන් අඟවන්නේ මෙම පූජාසනය “දෙවියෙකුට හෝ දේවතාවියකට” කැප කර තිබූ බවය. මෙම ප්‍රකාශය “බොහෝවිට උපහාර සටහන් හා සාහිත්‍යමය පාඨවල ඇති යාතිකා හෝ පූජනීය ප්‍රකාශවල දක්නට ලැබෙන්නකි.”
‘ලෝකයද එහි ඇති සියල්ලද මැවූ දෙවිව’ තවමත් බොහෝදෙනෙක් නාඳුනති. එහෙත් පාවුල් ඇතන්ස්හි වාසීන්ට පැවසූ පරිදි, මෙම දෙවි යෙහෝවා “අප එකිනෙකාට නුදුරුව සිටින්නේය.”—ක්‍රියා 17:24, 27.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පූජාසනය: Soprintendenza Archeologica di Roma