‘මුළු සිතින්ම එකිනෙකාට සමාව දෙන්න’
දෙවි ඔබේ පව්වලට සමාව දී තිබෙනවා කියා ඔබ විශ්වාස කරනවාද? අමෙරිකා එක්සත් ජනපදයේ වැඩිහිටි අයගෙන් බහුතරයකගේ විශ්වාසය එයයි. මිචිගන් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පර්යේෂණ අංශය පුද්ගලයන් 1,423දෙනෙකුව යොදාගෙන සමීක්ෂණයක් කළේය. එම කටයුතුවලදී මූලිකත්වය ගනු ලැබුවේ වෛද්‍ය ලොරොං ටූසොං. එහිදී අවුරුදු 45ක් ඉක්මවූ වැඩිහිටියන්ගෙන් 80දෙනෙකු කියා සිටියේ දෙවි ඔවුන්ගේ පව්වලට සමාව දී ඇති බවයි.
නමුත් අන් අයටත් තමන් සමාව දුන් බව කියා සිටියේ ඉන් සියයට 57ක් පමණි. මෙම සංඛ්‍යා ලේඛන මගින් කන්ද උඩ දේශනයෙහි යේසුස්ගේ වදන් අපගේ මතකයට නැඟේ. “ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වැරදිවලට සමාව දෙනවා නම්, ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ද ඔබට සමාව දෙනවා ඇත. නමුත් ඔබ මිනිසුන්ගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්නම්, ඔබේ වැරදිවලටද ඔබේ පියාණන් සමාව දෙන්නේ නැත.” (මතෙව් 6:14, 15, NW) දෙවි අපේ පව්වලට සමාව දෙන්නේ එක කොන්දෙසියක් මතයි. එය නම් අපත් අන් අයගේ වැරදිවලට සමාව දිය යුතුය යන්නයි.
ප්‍රේරිත පාවුල් කොලොස්සි නගරයේ සිටි ක්‍රිස්තියානීන්ට මෙම ප්‍රතිපත්තිය සිහිගැන්වීය. “එකිනෙකා ගැන ඉවසමින්, මුළු සිතින්ම එකිනෙකාට කමා කරමින් සිටින්න. යෙහෝවා මුළු සිතින්ම ඔබට කමා කළාක් මෙන් ඔබත් එසේ කරන්න.” (කොලොස්සි 3:13, NW) සෑම අවස්ථාවකම මෙය කරන එක ලෙහෙසි පහසු දෙයක් නොවන බව සත්‍යයකි. සිතා බැලීමකින් තොරව, ආකාරුණිකව යම් කෙනෙකු විසින් ඔබට යමක් පවසනු ලැබූ විට එම පුද්ගලයාට සමාව දීම එතරම් පහසු නැත.
ඒත්, සමාව දීමෙන් ලැබෙන ප්‍රයෝජන ඉමහත්ය. සමාජ විද්‍යාඥයෙක් වන වෛද්‍ය ඩේවිඩ් ආර්. විලියම්ස් ඔහු සිදු කළ සමීක්ෂණය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “අන් අයට සමාව දීමත් මැදිවියේ සහ වැඩිහිටි අමෙරිකානුවන්ගේ මානසික සෞඛ්‍යයත් අතර ඉතා ප්‍රබල සම්බන්ධකමක් තිබෙන බව අපට පෙනී ගියා.” මෙය අවුරුදු 3000කට පෙර සාලමොන් රජ ලියූ දෙය සත්‍යයක් බවට සනාථ කරයි. ඔහු පැවසුවේ, “මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය” යනුවෙනි. (හිතෝපදේශ 14:30) හදවතින්ම එකිනෙකාට නොමසුරුව සමාව දීමට අපට වැදගත් හේතුවක් තිබේ. එනම්, සමාව දෙන ස්වභාවයක් දෙවි සහ අසල්වාසීන් සමඟ හොඳ සබඳතාවක් වර්ධනය කරගැනීමට දායක වන බැවිනි.—මතෙව් 18:35.