පාඨකයන් අසයි
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින ස්ත්‍රීන් ඉගැන්වීම් කටයුතු කරනවාද?
ඔව්. ලොව පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින මිලියන ගණන් ස්ත්‍රීන් දෙවිගේ රාජ්‍යය ගැන අන් අයට උගන්වනවා. ඔවුන් ගැන ගීතාවලිය 68:11හි සඳහන් වන්නේ මෙසේයි. “යෙහෝවා දෙවි අණක් නිකුත් කරන්නේය. එබැවින් ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රීහු විශාල හමුදාවක් මෙන් පිටත්ව එති.”
කෙසේවෙතත් අනික් ආගම්වල ඉගැන්වීම් කටයුතුවල හවුල් වන ස්ත්රීන්ට වඩා ඔවුන් වෙනස්. එසේ පවසන්නේ ඇයි?
ප්‍රධාන හේතුවක් නම් වෙනත් ආගම්වල සිටින ස්ත්‍රීන් මූලිකත්වය දෙන්නේ ඔවුන්ගේම සාමාජිකයන්ට ඉගැන්වීමටයි. නමුත් සාක්ෂිකරුවන් අතර සිටින ස්ත්‍රීන් එසේ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ගෙයින් ගෙට ගොස් උගන්වනවාට අමතරව හමු වෙන සියලුදෙනාටත් දෙවිගේ රාජ්‍යය ගැන කියා දෙනවා.
තවත් හේතුවක් වන්නේ වෙනත් ආගම්වල සිටින ස්ත්‍රීන් සභාවේ ප්‍රසිද්ධියේ ඉගැන්වීමයි. නමුත් සාක්ෂිකරුවන් අතර සිටින ස්ත්‍රීන් බව්තීස්ම ලත් පුරුෂයන් සිටින විට සභාවේ ඉගැන්වීම් කටයුතුවල හවුල් වන්නේ නැහැ. සභාවේ ඉගැන්වීම් කටයුතු භාර දී තිබෙන්නේ ඒ සඳහා සුදුසුකම් ලත් පුරුෂයන්ට පමණයි.—1 තිමෝති 3:2; යාකොබ් 3:1.
සභාවේ වගකීම් දැරීමට සුදුසුකම් තිබෙන්නේ පුරුෂයන්ට පමණක් බව බයිබලයේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. පාවුල් පැවසූ මේ දෙයින් එය පැහැදිලියි. ‘මා ඔබව ක්‍රීට් දූපතෙහි නවතා ආවේ යම් හේතුවක් ඇතුවයි. ඔබ සෑම නුවරක් නුවරක් පාසාම වැඩිමහල්ලන් පත් කළ යුතුයි. එසේ පත් කරන පුරුෂයන් චෝදනාවලින් නිදහස් අය විය යුතු අතර ඔවුන්ට සිටිය යුත්තේ එක් භාර්යාවක් පමණි.’ (තීතස් 1:5, 6) ඒ හා සමාන මඟ පෙන්වීමක් තිමෝතිටත් දෙමින් පාවුල් මෙසේ පැවසුවා. ‘යමෙක් සභාව රැකබලා ගන්නෙකු ලෙස වගකීම් දැරීමට වෑයම් කරනවා නම් ඔහු කැමැත්තෙන් සිටින්නේ යහපත් සේවයක් ඉටු කිරීම සඳහාය. සභාව රැකබලා ගන්නා කෙනෙක් නිදොස් කෙනෙකු විය යුතුයි. ඔහුට සිටිය යුත්තේ එක් භාර්යාවක් පමණි. ඔහු ඉගැන්වීමට සුදුසුකම් ඇති කෙනෙකු විය යුතුයි.’—1 තිමෝති 3:1, 2.
සභාවේ වගකීම් දැරීමට පුරුෂයන්ට පමණක් ඉඩ දී තිබෙන්නේ ඇයි? ඊට හේතුව පාවුල් පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “ස්ත්‍රියකට ඉගැන්වීමේ කටයුතු කිරීමටවත් පුරුෂයෙකු කෙරෙහි යම් ආධිපත්‍යයක් දැරීමටවත් මගෙන් අවසරයක් නැත. ඇය නිශ්ශබ්දව සිටිය යුතුයි. දෙවි මුලින්ම සෑදුවේ ආදම්වය. ඒවව සෑදුවේ ඉන්පසුවය.”—1 තිමෝති 2:12, 13.
සාක්ෂිකරුවන් ඔවුන්ගේ නායකයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුකරණය කරනවා. ‘දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට නුවරින් නුවරටත් ගමින් ගමටත් ගිය යේසුස් එය සෑම තැනම පතළ කළා.’ ඒ දෙයම කරන ලෙස යේසුස් තම අනුගාමිකයන්ටද පැවසුවා. එය පිළිගත් අනුගාමිකයන් ‘ගමින් ගමට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කළා.’—ලූක් 8:1; 9:2-6.
යේසුස් කලින්ම මෙසේ පවසා තිබුණා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.” යේසුස් පැවසූ ලෙසම අද සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද ලොව පුරා ශුභාරංචිය දේශනා කරනවා.—මතෙව් 24:14.