අන් අයව දිනාගත හැකි අයුරු
1 ප්‍රේරිත පාවුල් අන් අයව දිනාගැනීමටa දක්ෂ දේවසේවකයෙකු හැටියට ප්‍රසිද්ධව සිටියා. (ක්‍රියා 19:26, NW) අග්‍රිපා රජ පවා ඔහුට මෙසේ පැවසුවා. “වැඩි වේලාවක් යන්න පෙර ඔබ මාව ක්‍රිස්තියානියෙකු වීම සඳහා නම්මාගනියි කියා මට සිතෙයි.” (ක්‍රියා 26:28, NW) පාවුල් දේවසේවයේදී අන් අයව දිනාගැනීමේ කලාව වර්ධනය කරගත්තේ කොහොමද? ඔහු ශුද්ධ ලියවිලි ඇසුරෙන් කාරණා තර්කානුකූලව ඉදිරිපත් කළා. ඒ වගේම තමන්ට සවන්දෙන්නන්ට ගැළපෙන විදිහට ඔහු කරුණු සකස් කරගත්තා.—ක්‍රියා 28:23.
2 අපිත් පාවුල් මෙන් දේවසේවයේදී අන් අයව දිනාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීම අවශ්‍යයි. මෙය කරන්නේ කොහොමද? අනිත් අය සමඟ කතා කරන විට හා ඔවුන්ට සවන් දෙන විට තීක්ෂ්ණ බුද්ධිය පාවිච්චි කිරීමෙන් එය කළ හැකියි. (හිතෝ. 16:23, NW) මේ සඳහා වැදගත් පියවර තුනක් අපට උපකාරවත් වෙනවා.
3 හොඳින් සවන් දෙන්න: අනිත් කෙනා කතා කරන විට, සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා යොදාගත හැකි පොදු පදනමක් ඇති කරගැනීමේ අරමුණින් සවන් දෙන්න. ඔබ පවසන දෙයට ඔහු විරෝධය පළ කළොත්, එසේ කිරීමට හේතුව වටහාගැනීමට වෑයම් කරන්න. මෙසේ කිරීමෙන් ඔහු විශ්වාස කරන දේවල්ද, ඒවාට හේතුද, එම විශ්වාසයන් ඔහුට කාවැදී තිබෙන්නේ කුමන දේවල් නිසාද කියන කාරණා ඔබට හරියටම දැනගන්න පුළුවන්. (හිතෝ. 18:13) උපායශීලී ලෙස ඔහුගේ අදහස් ඇදගන්න.
4 ප්‍රශ්න අසන්න: බෞද්ධ හෝ හින්දු ආගම හා සම්බන්ධ තමන්ගේ විශ්වාසයන් ගැන කෙනෙක් අදහස් පළ කරන විට ඔබට පුළුවන් මෙසේ අසන්න. “අපේ මේ පුදුමාකාර පොළොව හා විශ්වය ආරම්භ වුණ ආකාරය ගැන සෑහීමට පත් වෙන්න පුළුවන් උත්තරයක් සොයාගන්න ඔයාට පුළුවන් වෙලා තියෙනවාද?” පුද්ගලයාගේ ප්‍රතිචාරයෙන් පසු මෙසේ අසන්න. “මේ කාරණය ගැන බයිබලයේ සඳහන් වෙන දෙය ගැන ඔයා හොඳින් සොයා බලා තියෙනවාද?” ඔබට මේ විදිහටත් අසන්න පුළුවන්. “දෙවි හැම දෙයක්ම මවා තිබෙනවා නම්, ඔහු යම් ශුද්ධ ලියවිල්ලක් මාර්ගයෙන් අපිට ඔහු ගැන හෙළි කරයි කියා බලාපොරොත්තු වෙන්න බැරිද?” ඔබ සමඟ කතා කරන පුද්ගලයාට ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල් පහදා දෙන්න, මෙම ප්‍රශ්නවලට ඔහු දක්වන ප්‍රතිචාර ඔබට උපකාරවත් වෙනවා.
5 තර්කානුකූලව කාරණා ඉදිරිපත් කරන්න: යේසුස් දෙවි බව විශ්වාස කළ ස්ත්‍රියකගෙන් සාක්ෂිකාරයෙක් මෙසේ ඇසුවා. ‘මේ දෙන්නා එක සමානයි කියල ඔයා පැහැදිලි කරන්න උත්සාහ කළොත් ඔයා උදාහරණයක් හැටියට යොදාගන්නේ පවුලක කා අතර තිබෙන සබඳතාවද?’ ඇය එයට මෙසේ උත්තර දුන්නා. “මම සහෝදරයන් දෙදෙනෙකුව උදාහරණයක් හැටියට යොදාගන්නවා.” සාක්ෂිකරුවා එවිට මෙසේ පැවසුවා. “සමහරවිට නිවුන් සහෝදරයෝ දෙන්නෙකුව වුණත් උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. ඒ වුණත්, දෙවිව පියා වශයෙනුත් තමාව පුත්‍රයා වශයෙනුත් සලකන්න කියා ඉගැන්වීමෙන් යේසුස් දෙන්න හදපු පණිවිඩය මොකක්ද?” මේ ස්ත්‍රිය සාක්ෂිකරුවා ඉදිරිපත් කළ තර්කය, එනම් එක්කෙනෙක් අනික් කෙනාට වඩා වැඩිමහල් බවත් ඔහුට වැඩි බලතල හිමි වන බවත් වටහාගත්තා. (මතෙ. 20:23; යොහ. 14:28; 20:17) ඒ ස්ත්රියව දිනාගැනීම සඳහා එවන් ඒත්තුගන්වනසුලු තර්ක යොදාගැනීමෙන්, ඇගේ මනසට හා හදවතට කතා කරන්න සාක්ෂිකරුවාට හැකි වුණා.
6 අපි මොනතරම් තර්කානුකූලව හා නිවැරදිව කතා කළත් හැම කෙනෙක්ම සත්‍යය පිළිගන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ වුණත්, පාවුල් වගේ අපිත් අපේ බලප්‍රදේශයේ සිටින අවංක හදවත් ඇති අයව සෙවීමට හැකි සෑම උත්සාහයක්ම දරමින් රාජ්‍ය පණිවිඩය පිළිගැනීමට ඔවුන්ට උපකාර කරමු. මේ සඳහා, ඔවුන්ව දිනාගැනීමට අප සතු හැකියාව කලාවක් මෙන් ප්‍රවර්ධනය කරගනිමු.—ක්‍රියා 19:8.
[Footnote]
a මීට අදාළ මුරටැඹ ලිපියට අනුව, “නම්මාගැනීම” යන වදනද භාවිත කළ හැක.