බයිබලයේ දෘෂ්ටිකෝණය
කෝප වීම සෑම විටම වැරදිද?
“කෝපය කෙටි කාලීන උමතුවකි.” පුරාණ රෝමානු කවිවරයෙකු වූ හොරස් සියලුම චිත්ත වේගයන්වල වඩාත්ම බලවත් එකක් සම්බන්ධයෙන්වූ පොදු මතයක් ගැන ප්‍රකාශ කළේ එලෙසටයි. කෝපය වනාහි තාවකාලික උමතුවක ආකාරයක් බව සෑම කෙනෙක්ම පිළිනොගන්නා නමුත්, එය ඉතා නරක යයි බොහෝ දෙනෙක් සලකති. පොදු යුගයේ හයවන ශතවර්ෂය තරම් මුල් කාලයක, කතෝලික පැවිද්දන් විසින් “මරණීය පාප හත” අඩංගු සුප්‍රසිද්ධ ලැයිස්තුව සකස් කරනු ලැබීය. කෝපය එම ලැයිස්තුවට ඇතුල්වීම පුදුමයක් නොවෙයි.
ඔවුන්ට මෙලෙස හැඟුණේ මන්ද කියා තේරුම් ගැනීම පහසු දෙයකි. බයිබලය ඇත්තෙන්ම මෙසේ පවසයි: “තරහෙන් වැලකී උදහස අත්හරුව.” (ගීතාවලිය 37:8) තවද ප්‍රේරිත පාවුල් එපීසයේ සභාවට මෙසේ දිරිගැන්වූයේය: “සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.”—එපීස 4:31.
කෙසේවෙතත්, ඔබ මෙසේ කල්පනා කළ හැකිය, ‘කෝපය සම්බන්ධයෙන් බයිබලයේ දෘෂ්ටිකෝණයට අඩංගු වන්නේ එපමණක්ද? ඇරත් අප ජීවත්වන මෙම “අන්තිම දවස්” “කටයුතු කිරීමට දුෂ්කර අන්තරා සහිත කාලවල්” ද වන බව පාවුල් අනාවැකි කීවේ නැද්ද? (2 තිමෝති 3:1-5) මනුෂ්‍යයන් ‘කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව, ජන්ම ස්නේහය නැත්තෝව,’ සිටින මෙවන් කාලයන්හිදී—කවදාවත් යන්තමින්වත් කෝප නොවීමට දෙවියන්වහන්සේ සැබවින්ම අපගෙන් බලාපොරොත්තු වෙනවාද?
සමබර දෘෂ්ටියක්
බයිබලය මෙම විෂය සලකන ආකාරය එතරම් සරල නොවෙයි. නිදසුනක් වශයෙන් එපීස 4:26හි පාවුල්ගේ වදන් සැලකිල්ලට ගන්න: “කෝපවුණත් පව් නොකරල්ලා.” කෝපය වනාහි නිරායාසයෙන්ම “මරණීය පාපයක්,” එනම් සදාතනීය දඬුවම ලබන්ට වටින එකක් වූවා නම් මෙම පදය මහත් ප්‍රහේලිකාවක් වනු ඇත.
පාවුල් උපුටා දැක්වූයේ ගීතාවලිය 4:4නි, එහි මෙලෙස කියැවේ: “භයින් සිටිව්, පව් නොකරව්.” වයින්ස් එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් බිබ්ලිකල් වර්ඩ්ස්හි සඳහන්, “භයින් සිටිව්” යන්නට පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වදන වන රා·ඝාස්,ʹ අදහස් කරන්නේ “බලවත් චිත්ත වේගයෙන් කම්පනය වීමය.” එහෙත් කුමන බලවත් චිත්ත වේගයෙන්ද? එය කෝපය වීද? ගීතාවලිය 4:4 සෙප්ටුවාජින්ට් පරිවර්තනයේ රා·ඝාස්ʹ ග්‍රීක් භාෂාවෙන් ගෙනහැර දක්වා තිබුණේ “කෝපාවිෂ්ට වීමට සැලැස්වීම” යනුවෙනි, එමෙන්ම පැහැදිලිවම මෙහිදී පාවුල් අදහස් කළෙත් එයමය.
බයිබලය කෝපයට ඉඩ හරිනු ඇත්තේ මන්ද? මන්දයත් සියලු ආකාර කෝපය නරක නොවන නිසාය. බයිබල් අර්ථ කථිකාචාර්යවරයෙක් සඳහන් කළ “මිනිසෙකුගේ කෝපය කවදාවත් සාධාරණ හෝ ඉඩ ලැබිය හැකි එකක් හෝ නොවේ” යන අදහස ශුද්ධ ලියවිලිමය එකක් නොවෙයි. බයිබල් විශාරද ආර්.සී.එච්. ලෙන්ස්කි එපීස 4:26 පිළිබඳව නිවැරදි ලෙස මෙසේ අදහස් ප්‍රකාශ කළේය: “සෑම අවස්ථාවකදීම සියලු ආකාර කෝපය තහනම් කර නිශ්චල සන්සුන්භාවය බලෙන් ඉල්ලා සිටින්නාවූ ආචාර ධර්මය ස්ටොයිකවාදී එකකි, එය ක්‍රිස්තියානි ධර්මයට අනුකූල නැත.” විශාරද විලියම් බාක්ලේ සමානාකාරයෙන් අදහස් ප්‍රකාශ කළේ මෙලෙසටයි: “ක්‍රිස්තියානි ජීවිතයේ කෝපය තිබිය යුතුය, නමුත් එය හරි ආකාරයක කෝපය විය යුතුය.” එහෙත් “හරි ආකාරයක කෝපය” යනු කුමක්ද?
ධර්මිෂ්ඨ කෝපය
කෝපය වනාහි යෙහෝවඃවහන්සේගේ බලපවත්වන ගුණාංගවලින් එකක් නොවන නමුත්, ශුද්ධ ලියවිලිවල උන්වහන්සේව නැවත නැවත විස්තර කර තිබෙන්නේ කෝපය හැඟෙන හෝ එය ප්‍රකාශ කරන කෙනෙකු හැටියටයි. කෙසේවෙතත්, හේතූන් දෙකක් උඩ උන්වහන්සේගේ උදහස හැම විටම ධර්මිෂ්ඨ එකක් වෙයි. එක් හේතුවක් නම්, නිසි පදනමක් නොමැතිව උන්වහන්සේට කිසි විටක කෝපය ඇති වන්නේ නැත. තවද දෙවෙනි හේතුව වන්නේ, උන්වහන්සේ ස්වකීය කෝපය ප්‍රකාශ කරන්නේ සාධාරණ මෙන්ම ධර්මිෂ්ඨ ආකාරයකිනි, උන්වහන්සේට එය කිසිවිටක පාලනයෙන් තොර වන්නේ නැත.—නික්මයාම 34:6; ගීතාවලිය 85:3.
හිතාමතා කරනු ලබන අධර්මිෂ්ඨකම ගැන යෙහෝවඃවහන්සේ බලවත් උදහසට පත්වන සේක. නිදසුනක් වශයෙන්, ඉශ්‍රායෙලිතයන් අසරණ ස්ත්‍රීන් සහ දරුවන්ව පීඩාවට යටත් කළොත්, උන්වහන්සේ ‘නොවරදවාම’ එබඳු අයගේ ‘හඬ අසන’ බව ඔවුන්ට වදාළ සේක. උන්වහන්සේ මෙසේ අනතුරු ඇඟවූසේක: “එවිට මගේ උදහස ඇවිළෙනවා ඇත.” (නික්මයාම 22:22-24; සසඳන්න හිතෝපදේශ 21:13.) ස්වකීය පියාණන්ට තිබුණාක් මෙන්ම දරුවන් උදෙසා යේසුස්වහන්සේගේ හෘදයේද විශේෂිත මුදු මොළොක් ස්ථානයක් තිබුණි. ඇතැම් දරුවන් උන්වහන්සේ වෙතට පැමිණීමෙන් වැළැක්වීමට හොඳ අභිප්රායක් තිබූ උන්වහන්සේගේ ගෝලයන් වරක් වෑයම් කළ අවස්ථාවකදී, යේසුස්වහන්සේ “ඉතා කෝපවී” උන්වහන්සේගේ දෑතින් දරුවන් වඩා ගත් සේක. (මාර්ක් 10:14-16) “කෝපය” සඳහා වූ ග්‍රීක් වදන “කායික වේදනාවට හෝ නුරුස්නාගතියට” මුලින් යොමු දැක්වූ බව සැලකිය යුතු කරුණකි. ඇත්තවශයෙන්ම බලවත් හැඟීම්ය!
එලෙසම වෙළෙඳුන් හා මුදල් මාරු කරන්නන් විසින් සිය පියාණන්ගේ නමස්කාර ගෘහය “සොරුන්ගේ ගුහාවක්” බවට හරවා තිබූ බව යේසුස්වහන්සේ දුටු විට ධර්මිෂ්ඨ දැඩි කෝපය උන්වහන්සේගේ හෘදය තුළ ඇවිස්සෙන්නට විය. උන්වහන්සේ ඔවුන්ගේ මේස පෙරළා ඔවුන්ව එතැනින් පිටතට එළවා දැමූ සේක! (මතෙව් 21:12, 13; යොහන් 2:15) උපකාරය අවශ්‍ය වූ අසනීප වූවන්ට සැලකීම වෙනුවට ඵරිසිවරුන් හා ලියන්නන් සුළු දේ විශාල කොට පෙන්වන ඔවුන්ගේ සබත් නීති සඳහා වැඩි සැලකිල්ලක් දැක්වූ කල, යේසුස්වහන්සේ “ඔවුන්ගේ සිත් දැඩිකම අවබෝධ කරගෙන අතිශයින් දුක්වී, තමන්වහන්සේ වටකර තිබූ මුහුණු දෙස උදහසින් බැලූ සේක.”—මාර්ක් 3:5, ෆිලිප්ස්.
එලෙසම, මෝසෙස්ගේ ව්‍යවස්ථාව අඩංගු ගල්ලෑලි බිමට හෙළා දැමූ විට පුරාණයේ ඇදහිලිවන්ත මෝසෙස්ද අපක්ෂපාත ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව ධර්මිෂ්ඨ දැඩි කෝපයෙන් පිරී සිටියේය. (නික්මයාම 32:19) තවද විවාහය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ඉශ්රායෙල්වරුන් අකීකරු වීම සම්බන්ධයෙන් ධර්මිෂ්ඨ ලියන්නා වූ එස්රා කොපමණ කෝප වූවාද කිවහොත් ඔහු සිය වස්ත්‍ර ඉරා ඔහුගේ හිසකෙස්වලින් ස්වල්පයක් පවා උගුලා දැම්මේය!—එස්රා 9:3.
“යහපතට ප්‍රේම” කරන සියල්ලෝම “නපුරට ද්වේෂ” කිරීමට උත්සාහ කරති. (ආමොස් 5:15) එමනිසා, හිතාමතා, පසුතැවිල්ලකින් තොරව කරනු ලබන කුරිරු, කුහක, වංක, අපක්ෂපාත හෝ අසාධාරණ ක්‍රියාවන් අදදින ක්රිස්තියානිවරුන් දකින විට ඔවුන්ගේ හෘදයන් තුළ ධර්මිෂ්ඨ කෝපය ඇවිස්සෙන බව ඔවුන්ට හැඟීමට ඉඩ තිබේ.
කෝපය නිසි ලෙස හසුරුවීම
බයිබලය නිතරම පාහේ කෝපය ගින්නකට සමාන කිරීම හුදෙක් අහඹු සිදුවීමක් නොවෙයි. ගින්නකට මෙන්, එයට නිසි ස්ථානයක් තිබේ. එහෙත් එයට ඉතා භයානක ලෙස විනාශකාරී වීමටද හැකිය. යෙහෝවඃවහන්සේ සහ යේසුස්වහන්සේ මෙන් නොව, මනුෂ්‍යයන්ට නිතරම පාහේ නිසි පදනමක් නොමැතිව කෝපය හැඟිය හැකිය, නැතහොත් අධර්මිෂ්ඨ ක්‍රමයකින් ඔවුන්ගේ කෝපය ප්‍රකාශ කිරීමට හැකිය.—බලන්න උත්පත්ති 4:4-8; 49:5-7; යෝනා 4:1, 4, 9.
අනෙක් අතට, හුදෙක් තමාගේ කෝපය මැඩපවත්වාගෙන, එය නැති බව බොරුවට ඇඟවීමද ධර්මිෂ්ඨ දෙයක් නොවිය හැකිය. පාවුල් මෙලෙස උපදෙස් දුන් බව මතකයට නංවා ගන්න: “ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරිල්ලා.” (එපීස 4:26) ‘තමාගේම හෘදයේ දේවල් විමසීම,’ මේරූ විශ්වාස කළ හැකි පුද්ගලයෙකු සමඟ ඔබගේ හැඟීම් සාකච්ඡා කිරීම නැතහොත් සන්සුන් ආකාරයකින් වැරදිකරුවෙකු සමඟ මුහුණට මුහුණලා කථා කිරීම පවා කෝපය ප්‍රකාශ කිරීමට ශුද්ධ ලියවිලිමය ක්‍රම වේ.—ගීතාවලිය 4:4; හිතෝපදේශ 15:22; මතෙව් 5:23, 24; යාකොබ් 5:14.
එබැවින් කෝප වීම හැම විටම ඒකාන්තයෙන්ම වැරදි නොවෙයි. යෙහෝවඃවහන්සේ සහ යේසුස්වහන්සේ යන දෙදෙනාම කෝපයට පත් වී ඇත—ඇරත් නැවතත් එසේ පත්වනු ඇත! (එළිදරව් 19:15) අප විසින් උන්වහන්සේලාව අනුකරණය කිරීමට නම්, කෝප නොවීම වැරදි දෙයක් වන තත්ත්වයන්ට පවා මුහුණ දීමට අපට සිදුවිය හැකිය! එයට යතුර වනුයේ බයිබල් උපදෙස් අනුගමනය කරමින්, අපගේ හැඟීම්වලට ස්ථිර පදනමක් තිබේද යන්න සහතික කිරීමත්, අප එම හැඟීම් ධර්මිෂ්ඨ, ක්‍රිස්තියානි ආකාරයකින් ප්‍රකාශ කරනවාද යන්න තහවුරු කරගැනීමත්ය. g94 4/8
[18 පිටුවෙහි ඇති පින්තූරය]
කායින් සහ ආබෙල්