ළමාවිය නපුරු සිහිනයක් වන විට
ස්පාඤ්ඤයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
එක්දහස් නවසිය අනූගණන්වල සාමාන්‍යයෙන් අද වැනි දවසක, ලක්ෂ 2ක් පමණ ළමුන් ගරිල්ලා යුද්ධවල සටන් වදිනු ඇත. මිලියන 100ක් පමණ පාසැල් විය පසු කරන ළමුන් පාසැල් නොයනු ඇත. එමෙන්ම මිලියන 150ක් කුසගින්නෙන් නින්දට යනු ඇත. ළමුන් මිලියන 30ක් වීදිවල නිදනු ඇති අතර, ළමුන් මිලියන 40ක් මියයනු ඇත.
ඉහත සඳහන් සංඛ්‍යා තැතිගැන්මක් ඇති කරයි නම්, එම සංඛ්‍යා පිටුපසෙහි ඇති මුහුණු ඔබගේ හද දෙදරන්නට සලස්වයි. මෙම දරුණු සංඛ්‍යා ලේඛනවල අර්ථය වටහාගැනීමට අපට උපකාර කිරීම පිණිස, ළමයින් පස් දෙනෙකුගේ බලාපොරොත්තු සුන් තත්ත්වයන්හි කෙටි කථාන්තර පහත දැක්වේ.
ළමා හමුදා භටයෙක්. මොහොමඩ්ට වයස අවුරුදු 13ක් පමණි, එසේ වුවත් ඔහු දැනටමත් නිරිත දිග ආසියාවේ පළ පුරුදු සොල්දාදුවෙක්, එමෙන්ම යුද්ධ හතක සටන් කිරීමේ අද්දැකීමද ඔහුට තිබේ. අවුරුදු දහයේදී, සටන් කිරීමට යෑමට පෙර ඔහු එළුවන් රකින්නෙක්ව සිටියේය. දැන් මොහොමඩ්, බර අඩු AK-47 ප්‍රහාරක රයිෆලයක් අතැතිව සිටින අතර, එය භාවිතා කිරීමටද ඔහු ප්‍රමාද වන්නේ නැත. එක් සුළු සටනකදී ඔහු ඉතා සුළු දුරක සිට සතුරු භටයින් දෙදෙනෙකුව ඝාතනය කළේය. මිනීමැරීම සම්බන්ධයෙන් ඔහුට දැනුණේ කෙසේද කියා ඔහුගෙන් විමසනු ලැබූ විට, ඔහු පිළිතුරු දුන්නේ මෙලෙසටයි: “ඔවුන්ව මරා දැමීම ගැන මම සතුටු වුණා.” ළමුන් දේවල් කිරීමට “බිය නොවන හෙයින්” ඔවුන් වඩාත් හොඳ සොල්දාදුවන් වන බව ඔහුගේ නිලධාරියා පැහැදිලි කරයි.
ළමා වැඩකරුවෙක්. වයස අවුරුදු හතරක් ඇති වූඩ්කැබි, කැරිබියානු දූපතක බ්ලොක්-ගඩොල් නිවසක වාසය කරයි. ඔහුගේ සාමාන්‍ය ගෙදරදොර කටයුතු: එනම් ආහාර පිසීම, වතුර ගෙන ඒම සහ ඔහුගේ ස්වාමියාගේ නිවස පවිත්‍ර කිරීම ආදිය කිරීම සඳහා ඔහු පාන්දර 6ට නැගිටියි. ඔහුට වැටුපක් නොලැබෙන අතර ඇතැම්විට ඔහු කවදාවත් පාසැලට නොයන්නටත් පුළුවන. තම දෙමව්පියන් ළඟ නොසිටීමේ පාළුව තමාට දැනෙන බව වූඩ්කැබි පවසන නමුත්, ඔවුන් කොතැනක සිටීද කියා ඔහු නොදනී. ඔහුගේ දවස නිම වෙන්නේ රාත්‍රි 9:30ටයි, එමෙන්ම ඔහු භාග්‍යවන්ත නම්, කුසගින්නෙන් නින්දට නොයනු ඇත.
කුසගින්නෙන් සිටින ළමයෙක්. කොමොසාවා නමැති අප්‍රිකානු ගම්මානයේ, වයස අවුරුදු 11ක් වන දැරියක් සෑම වෙහෙසකාරී දිනයක්ම ගත කරන්නේ වල්පැළෑටි සොයමිනි. අනියන් වීඩ් යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන වල්පැළෑටියක අල—මෙය බොහෝ දුරට වියළි පසෙහි වැඩෙන එකම දෙයයි—ඇගෙත් ඇගේ පවුලේ අයගෙත් දිවි රැක ගැනීමට උපකාරවත් වෙයි. එම අල එක්කො තම්බා, එසේ නැතහොත් පොඩි කොට පසුව බැද ගනු ලැබේ. නියඟය සහ සිවිල් යුද්ධය මාරාන්තිකව සංයෝග වීම මගින් මෙම ගම්වැසියන්ව හාමතේ අද්දරටම පමුණුවා තිබේ.
වීදිවල වෙසෙන ළමයෙක්. විශාල දකුණු අමෙරිකානු නගරයක වීදිවල වෙසෙන දහස් සංඛ්‍යාත ළමයින්ගෙන් එඩිසන් එක්කෙනෙක් පමණි. සපත්තු ඔප දැමීමෙන් ඔහු මුදල් ස්වල්පයක් උපයා ගන්නා අතර, බස් නැවතුම් පොළ ළඟ, පදික වේදිකාව මත සීතල රාත්රිවල එකිනෙකාට කිට්ටුවෙන් තදවී නිදන වෙනත් ළමයින් සමඟ ඔහුද නිදාගනියි. සපත්තු ඔප දමන කොලුවෙකු වශයෙන් ඔහු උපයා ගන්නා මුදල වැඩි කිරීම සඳහා ඇතැම්විට ඔහු සුළු අපරාධවල නියැලෙයි. පොලීස් භටයන් දෙවරක් ඔහුට තලා තිබෙන අතර, සිර අඩස්සියේ තුන් මාසයක් ඔහු ගත කර තිබෙනවා. තමා විසින් දැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සහ මැලියම්වල සැර ඉරීම “බොහෝ දුරට” නතර කර තිබෙන බව එඩිසන් ස්ථිර ලෙස කියා සිටියි. ඔහු යාන්ත්‍රික ශිල්පියෙකු වීම, යම් ශිල්පයක් ඉගෙන ගැනීම ගැන සිහින මවයි.
ළමයෙකුගේ මරණය. එය මැදපෙරදිග ඩූගන් කන්ද මත සීතල, තෙත් සහිත උදයකි. රෙද්දකින් වෙළන ලද ළදරුවෙක් භූමදානය පිණිස නොගැඹුරු වලක තබනු ලැබේ. එම ළදරුවා මියගියේ පාචන රෝගය නිසාය—මෙය වනාහි ළදරු මරණ සඳහා පොදු හේතුකාරකයකි. ඔහුගේ මව සරණාගත ස්ත්‍රියක් වන අතර, ආරක්ෂාව සොයමින් ඔවුන් ගමන් කළ වෙහෙසකාරී ගමනේදී ඇගේ කිරි නැවතුණි. වෙන කළ හැකි දෙයක් නොමැති හෙයින් ඇගේ දරුවාට සීනි සහ ජලය මිශ්‍රණයක් ඈ පෙව්වාය, නමුත් ජලය දූෂිතව තිබූ හෙයින් ළදරුවා මියගියේය. එම දිනයේම වළලනු ලැබූ ළමුන් 25,000ක් මෙන්, ඔහුටත් තමාගේ මුල් උපන් දිනය කරා ළංවීමට නොහැකි විය.
දහස්වාර ගණනාවකින් ගුණ කළ හැකි මෙම ඛේදජනක සිදුවීම්, ලොවේ සිටින ළමුන් බොහොමයකගේ ජීවිත තත්ත්වය ගැන පැහැදිලි කරයි. ප්‍රේමනීය පවුලකින් ලැබෙන රැකවරණය ඇතිව ඉගෙන ගැනීමටත් මේරූභාවය කරා වර්ධනය වීමටත් තිබෙන ළමා විය, මෙම දරුවන්, වැඩි දෙනෙකු සඳහා නැවත කිසිදා නොපිබිදෙන නපුරු සිහිනයක් බවට පත් වී තිබේ.
ද ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ්’ස් චිල්ඩ්රන් නමැති වාර්තාවේ සංස්කාරක පීටර් ඇඩම්සන්, 1990දී මෙලෙස ප්‍රකාශ කළේය: “මේ පරිමාණයෙන් මියයෑම සහ පීඩා විඳීම තවදුරටත් අවශ්‍ය නැත; එමනිසා ඒවා තවදුරටත් පිළිගත නොහැකිය. පිළියම් යෙදීමට ඇති හැකියාව සමඟ සදාචාරය එක වේගයකින් ගමන් කළ යුතුය.” g94 5/8
[3 පිටුවෙහි හිමිකම් වගන්තිය]
Photo: Godo-Foto