මල් යමෙක් සැලකිලිමත් වන බව පෙන්වයි
කොලොම්බියාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
ප්‍රීතියෙන් ඉපිල යන පුංචි දැරියක් ඇගේ අතින් බට’කප් මල් පොකුරක් එකතු කරලා, ඈ හොයාගත්ත අනර්ඝ දේ අරගෙන අම්මා ළඟට දුවගෙන යයි. තම භාර්යාව ගැන තමා කොච්චර සැලකිලිමත්ද කියලා පෙන්නන්න, ප්‍රේමනීය ස්වාමිපුරුෂයෙක් පදික වේදිකාවේ මල් කඩයකින් රෝස මල් දුසිමක් තෝරගනියි. අගය දක්වන පුතෙක්, අසල තිබෙන මල් කඩයකට දුරකථනයෙන් අමතලා, අලුතින් නෙළපු කපුරු මල් ගෙන්වාගන්නේ ඔහුගේ අම්මව සතුටු කරන්නයි. ගෘහනියක්, වෙළඳ සංකීර්ණයෙන් මිල දී ගන්නා දේවල් අතර විවිධ වර්ණවලින් යුත් කානේෂන් පොකුරක්ද වෙයි. මෙය, අලංකාරව සරසා තිබෙන ඇගේ නිවසේ අලංකාරය තව තවත් වැඩි කරවයි.
මල්වලින් බාල මහලු සියලුදෙනාගේම හදට සොම්නසක් ගෙන දෙනවා. “යමෙක් සැලකිලිමත් වන බවට” වූ හැඟීම ඉදිරිපත් කරන්න ඒවා කදිම මාර්ගයක්. ස්පාඤ්ඤ හිතෝපදේශයක් මෙහෙම කියනවා: “රෝස මලකට අගය නොදක්වන ඕනෑම කෙනෙක්, වෙන කිසිම දේකට අගය දක්වන්නේ නැහැ.” (Quien no agradece una rosa, no agradecerá ninguna cosa.)
මල් විකිණීම් වෙන කවරදාකටත් වඩා වැඩි වෙනවා. ශීඝ්‍ර ගුවන් ප්රවාහණයෙන් යුත් මේ යුගයේ, මඟීන්ගේ සිත් ඇදගන්නාවූ මල්, ඒවා විකුණන කඩවලින්, සුපිරි වෙළඳ සැල්වලින් හා මාර්ග අසල විකුණන කඩවලින් සෑහෙන ඈතක ඉඳන් වගා කරන්න පුළුවන්. ටයිම් සඟරාව මල් කර්මාන්තය ගැන මේ විදිහට ප්‍රකාශ කළා: “මෙය ඉතා වේගයෙන් වර්ධනය වන අතර, ඊටත් වඩා වේගයෙන් වෙනස් වෙනවා; නිෂ්පාදනයෙන් වැඩි හරියක් එන්නේ දක්ෂිණාර්ධගෝලයෙන්—එනම් වැඩි වශයෙන්ම කොලොම්බියාවෙන්; දැන් ඕලන්දයට පස්සේ වැඩියෙන්ම අපනයනය කරන්නේ මේ රටයි.”
ප්ලාස්ටික්වලින් ආවරණය කරනු ලැබූ හරිතාගාර හා කෘත්‍රිම විල්
මෙම ව්‍යාපාර කටයුත්තේ අවුරුදු 25කට වඩා වැඩි පලපුරුද්දක් ඇති කොලොම්බියාව කානේෂන් අපනයනය සඳහා ලෝකයේ පෙරමුණේ සිටින අතර, මල් විකිණීම අතින් ලෝකයෙන්ම එයට හිමි වෙලා තියෙන්නේ දෙවෙනි ස්ථානයයි. අවුරුද්ද පුරාම මල් වගා කිරීමට හොඳම පරිසරය මොකක්ද කියලා තීරණය කරන්න, 1964දී අ.එ.ජ. කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයෙක් පරිගණක අධ්‍යයනයක් කළා. බෝගෝටා පිහිටා තියෙන කඳුකර ද්‍රෝණියේ දේශගුණය සහ උන්නතාංශය ඉතා කදිම බව ඔහු සොයාගත්තා; එය පිහිටා තියෙන්නේ සමකයට මදක් උතුරින් තියෙන ඇන්ඩීස් කඳුකරයේ මීටර් 3,000කට ආසන්න උසකයි.
සාන්ටාෆේ ඩෙ බෝගෝටාවල පුදුමයට පත් කරවන කොළ පැහැති සැවනා තණබිමෙහි, එනම් කොලොම්බියාවේ අපනයනය කරන මල්වගාවෙන් සියයට 92ක් පිහිටලා තිබෙන ප්‍රදේශයේ, කෘත්‍රිම විල් හා ප්ලාස්ටික්වලින් ආවරණය කරන ලද හරිතාගාර හැම තැනකම වාගේ විසිරිලා තියෙනවා. ලී හෝ ලෝහ රාමුවලින් සකස් කර තියෙන මෙම ගොඩනැඟිලි ඇතුළේ, පරෙස්සමින් පාලනය කරනු ලබන වසන්ත සමයේ පරිසරයක, කානේෂන්, කපුරු මල්, රෝස, ක්‍රිසැන්තිමම්, පෙරූ ලිලී මල් මිලියන ගණනක් හා තවත් ගොඩක් වර්ගයේ මල් වගා කරනු ලබන අතර, ඒවා ඉතා ඉක්මනින්ම නෙළලා උතුරු අමෙරිකාවට, යුරෝපයට හා ආසියාවට යවන්න අසුරනවා.
මල් වගා කරන්න හොඳම උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 සිට 20 දක්වායි; එය, සැවනා තණබිමෙහි මුළු අවුරුද්ද පුරා දවල් කාලයේදී ඇති සාමාන්‍ය උෂ්ණත්වයයි. මෙහෙට ගොඩක් වහිනවා; පස සරුයි, ඒ වගේම ශ්‍රමය අඩු මිලකට ලබාගන්න පුළුවන්. රාත්‍රි කාලයේදී, මිදීමට ආසන්න තත්වයකටත්, එහෙම නැත්නම් කලාතුරකින් සෙල්සියස් අංශක -2ක තරම් අධිශීතල තත්වයකටත් උෂ්ණත්වය බහින්න පුළුවන්. පෝච්චිවල තියෙන ගිනි මැලයන්, අධි වොට් ප්‍රමාණයකින් යුත් විදුලි බල්බ හෝ ඉසිනයක් මගින් ශීතලෙන් ආරක්ෂාවක් සපයනවා. විදුලි බල්බවලින්, දවල් කාලයේ ආලෝකය වැඩි වේලාවක් තබාගන්ටත්, මේ තුළින් ඇතැම් පැළෑටි අවදිව තබන්නත්, ඒවායේ වැඩීම ඉක්මන් කරන්නත් උදව් වෙනවා.
කල්තියාම සැලසුම් කර ඇති නිෂ්පාදනය
කොලොම්බියාවේ සේවකයන් 1,20,000කට වැඩි පිරිසක්, මල් කර්මාන්තයේ මොනයම් අංගයකට හරි සම්බන්ධ වෙලයි ඉන්නේ. ඔවුන් අතර සැවනා තණබිම පුරා විසිර ඇති ප්‍රජාවල ජීවත් වෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුත් ඉන්නවා. ෆාකාටාටීවා නගරයේ සභාවක ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් හැටියට සේවය කරන බෙනීටෝ කීන්ටානා තවානක නිෂ්පාදක පරිපාලකයා හැටියට සේවය කරයි. ඔහු මේ විදිහට පැහැදිලි කරනවා: “වෙළඳපොළේ කාලීන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දෙන්න අපිට නිෂ්පාදන වැඩකටයුතු මාස ගණනාවකට කලින් සැලසුම් කරන්න සිද්ධ වෙනවා. කානේෂන් සඳහා මව් ශාක නෙද’ලන්තයෙන් හෝ ඉතාලියෙන්ද, කපුරු මල් ෆ්ලොරිඩාවෙන්ද ආනයනය කරනවා. ස්ත්‍රීන් කුඩා රිකිලි පරෙස්සමින් නෙළලා, ඒවා උණුසුම් හරිතාගාරයක පෝලිමට හිටවලා, ඒවායේ මුල් අදිනකම් වලාකුළක් වැනි මීදුමකින් තෙතබරිත කරනු ලබනවා. කපුරු මල් වැවෙන්න ගත වෙන්නේ, සෙල්සියස් අංශක 20 සිට 35 දක්වා (68° සිට 95°F) උෂ්ණත්වයක් යටතේ දින 12ක්; මෙයට රාත්‍රි කාලයේදී, අමතර පැය දෙකක ආලෝකයක්ද සපයනවා. කානේෂන් මල්වලට සෙල්සියස් අංශක 15 ඉඳලා 25 දක්වා (59° සිට 77°F) උෂ්ණත්වයක් යටතේ දින 23ක කාලයක් ගත වෙනවා; මේකට රාත්‍රි කාලයේදී ආලෝකය සපයන්නේ නැහැ. ඊට පස්සේ, අපි කුඩා පැළ වෙනත් හරිතාගාර පාත්තිවල හිටවනවා; එහිදී මල් හටගන්න තුරු ඒවාට පෝෂ්‍යපදාර්ථ සපයනවා, දුම් ගහනවා ඒ වගේම වතුර වත් කරනවා; කානේෂන්වල මල් හටගන්න මාස හයක් යනවා; කපුරු මල්වලට මාස තුනක් යනවා.”
ඉල්ලුම වැඩි කාලයේ ගොඩක් වැඩ
නෙළන කාලය ළං වෙද්දී, ඒ වැඩ හොඳින්ම ඉටු කරන්නේ ස්ත්‍රීන්; එය වඩාත් හොඳින් කෙරෙන්නේ අත්වැසුම් නැතුව හා හුඟක්ම පිරිසිදුව තියෙන අත්වලින් තමයි. මලේ තත්වය නිශ්චය කරන කාරණා වන, පොහොට්ටු විවෘත වෙලා තියෙන තරම හෝ නටුව කෙළින් පිහිටලාද යන්න තීරණය කරන්න යන්ත්‍රයකට හැකියාවක් නැහැ.
ෆාකාටාටීවාවල වෙසෙන හූඩිට් කෝරෙඩෝ මෙහෙම පැහැදිලි කරනවා: “උවමනා කරන ඉවසිලිවන්තකම හා මෘදු අත් වගේම වේගයයි කුසලතාවයි ස්ත්රීන්ට තියෙනවා.” හූඩිට් තවදුරටත් මෙහෙම කිව්වා: “අපි පාන්දරම හරිතාගාරවලට ඇතුල් වෙන කොට, සැවනා තණබිම හුඟක් අවස්ථාවලදී මීදුමෙන් වැහිලා තියෙනවා; ඒක ගොඩක් සීතලයි; ඒ කියන්නේ මිදෙන තරම් වෙන්න පුළුවන්. වැඩ කරන ගැහැනු ළමයින්ගෙන් හුඟදෙනෙක් කර වටේට සළුවක් පළඳිනවා. දවල් කාලයේදී, ඒක උණුසුම්ව තියෙනවා; සමහර අවස්ථාවලදී සෙල්සියස් අංශක 32ට වඩා වැඩි වෙනවා. ඉල්ලුම වැඩි කාලවලදී, අපිව හදිස්සි කරන කොටත් සාමාන්‍ය වෙලාවට අමතරව වැඩ කරන්න වෙනකොටත් ඒක විශේෂයෙන්ම අමාරු වැඩ කටයුත්තක්.”
වර්ණවත් හා සුවඳවත් පණිවිඩයක්
මල් නෙළීමෙන් පස්සේ, වාතය හා ආලෝකය බහුලව තිබෙන විශේෂ කාමරයකට ඒවා ගෙනියනවා. මෙහිදී, මල්වල ගුණය, නටුවල ඍජුභාවය, ඝනකම සහ දිග අනුව ස්ත්‍රීන් ඒවා තෝරා වර්ග කරනවා. ඊට පස්සේ, එක පොකුරකට මල් 25 බැගින් විනිවිද පෙනෙන ප්ලාස්ටික්වලින් ඔතලා, අසුරන්න සූදානම් තත්වයකට පත් කරනවා. අපනයනය කරන්න තෝරගන්නේ, හොඳම ඒවා විතරයි.
තවානේ නම සඳහන් විශේෂ රැළි ගැසුණු කාඩ්බෝඩ් පෙට්ටිවලට පුරුෂයන් මල් ටික අසුරනවා;—පෙට්ටියකට කානේෂන් පොකුරු 24ක් දානවා. බෙනීටෝගේ සහෝදරයා වන, අසුරන අංශයේ වැඩ කරන ආලේහාන්ඩ්රෝ කීන්ටානා මෙහෙම කියනවා: “අනික් ඔක්කොම භෝග අතරින් මල් ඉක්මනින්ම පර වෙන නිසා, අපිට ඉක්මනින්ම වැඩ කරන්න සිද්ධ වෙනවා. එක වතාවකට පෙට්ටි 112ක තිබෙන උණුසුම් වාතය උරාගෙන, පැය දෙකකට සීතල වායුව බලෙන් ඇතුල් කරමින් මිදෙන උෂ්ණත්වයට වඩා අඩු මට්ටමකට මල්වල උෂ්ණත්වය අඩු කරන පොම්ප දෙකක් අපේ සමාගමේ තියෙනවා. ඊට පස්සේ, පෙට්ටිවල තිබෙන හිල් සීල් කරලා, ගුවන් තොටුපොළට ගෙනියන්න ට්‍රක් රථවලට පටවන තුරු මල් ටික විශාල ශීතකරණවල ගබඩා කර තිබෙනවා.”
බෝගෝටාවල එල් ඩෝරාඩෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී, ඒ මල් අපනයන පරීක්ෂණවලට භාජන වෙනවා; ඊළඟට පැය කිහිපයකට ශීතකරණ ගබඩාවල තබනවා; ඊට පස්සේ පිටරට නියමිත ස්ථානවලට ප්රවාහණය කරන්න ඒවා විශාල ජෙට් යානාවලට පටවනවා. දින කිහිපයක් ඇතුළත, ගෙවල්වල, කාර්යාලවල, රෝගීන් සඳහා වෙන් වූ කාමරවල හා වෙනත් ස්ථානවල, මේ මල්වල පෙති විවෘත වෙනවා; මේ තුළින් යමෙක් සැලකිලිමත් වන බවට වූ වර්ණවත් හා සුවඳවත් පණිවිඩය ඉදිරිපත් කරයි.
ඇත්තටම සැලකිලිමත් වන තැනැත්තා
අපි පොළොවේ කොතැනකට ගියත්, අපේ සතුට සඳහා අපිට මල් දකින්න තියෙනවා. කඳු මත ඉතා උස් තැන්වල, හිම කෙත් අයින්වල, ග්ලැසියරවල, වන රොදවල හා තණ බිම්වල, දියපාරවල් හා ගංගා අයිනේ, මුහුදු වෙරළේ වගේම, උණුසුම් වියළි කාන්තාරවල පවා ඒවා සොයාගැනීමට තියෙනවා. මනුෂ්‍යයා පොළොවේ විසීමට බොහෝ කාලයකට කලින් ඉඳලම පොළොවේ මල් තිබිලා තියෙනවා. උද්භිද විද්‍යාඥයන් ස්ථිර ලෙස කියා සිටින්නේ, ‘මල් දරන පැළෑටි සියලුම සත්ව හා මනුෂ්‍ය ජීවිතවලට පදනම බවයි. ඒවා නැතුව, සතුන්ට හා මනුෂ්‍යයන්ට පවතින්න බැහැ.’
තීක්ෂ්ණ බුද්ධියෙන්, සාලමොන් රජ මෙසේ ප්‍රකාශ කළා: ‘දෙවි සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ.’ (දේශනාකාරයා 3:11) විවිධත්වයෙන් හා අලංකාරයෙන් යුත් මල් නමැති දෙවිගේ ත්‍යාගය මේකට ඇතුළත් වෙනවා. ඉන්, අනාදිමත් කාලයක ඉඳන් බාල මහලු හැමදෙනාගේම හදවත්වලට සොම්නසක් ලැබී තියෙනවා. ඇත්තවශයෙන්ම, දෙවි සැබවින්ම සැලකිල්ල දක්වනවා!
[22වන පිටුවේ කොටුව]
මල් බොහෝ කාලයක් තබාගැනීමට
• මල් බඳුනක තැබීමට කලින්, වතුර යට තබා නටුව ඇලේට කපන්න. නටුවේ අග හරියේ වතුර බින්දු ඇලී තියෙන නිසා, එයින් වාතය ඇතුල්වීම වළක්වන අතර, වාතය ඇතුල්වීමෙන් වතුර හා පෝෂණය උරාගැනීම අවහිර කරනවා.
• කොලොම්බියානු ජාතික උද්‍යාන විද්‍යාඥයෙක් මෙසේ පවසන බව ගේඕමුන්ඩෝ සඟරාව උපුටලා දක්වනවා; එනම් වතුරට ඇස්ප්‍රින් පෙත්තක්, සීනි තේ හැන්දක් හෝ කෝලා ටිකක් එකතු කිරීමෙන් දීර්ඝ කාලයකට මල් අලුත්ව තබාගන්න පුළුවන්. සෑම දවස් දෙකකට හෝ තුනකට සැරයක් කාමර උෂ්ණත්වයෙන් යුත් පිරිසිදු වතුරට එය මාරු කරන්න; පොහොට්ටු වඩාත් ඉක්මනින්ම පිපීමට උණුසුම් වතුර පාවිච්චි කරන්න පුළුවන්.
• ටිකක් මැලවෙලා තියෙන මල් නැවත ප්‍රාණවත් කරන්න, බොහෝ අවස්ථාවලදී ඒවායේ නටු උණු වතුරේ මිනිත්තු දහයකට පමණ ගිල්වලා තියන්න පුළුවන්; ඒත් සමඟම, පෙතිවලට සීතල වතුර ඉහින්න. මල්, උණුසුම පිට කරන ප්‍රභවයන්ගෙන්, තදින් හමන සුළඟින් හා හිරු එළිය කෙළින්ම වැටීමෙන් ඈත් කරලා තියන්න.