පාරාදීස නිවසට මඟ
පාරාදීසයක් සඳහා මනුෂ්‍යයාගේ ආශාව හා එය යළි නිර්මාණය කරන්න ලොකු පොඩි සැමගේ උත්සාහයන් ගැන සලකා බලද්දී, මේ වන විට පොළොව සැබෑ පාරාදීසයක් බවට පත් වී තිබෙයි කියා කෙනෙක් සිතාවි. නමුත් එසේ සිදු වෙලා නෑ.
ඒ වෙනුවට, මනුෂ්‍යවර්ගයා මුල් තැන දීලා තියෙන්නේ ගිජුකමටයි; එය බොහෝවිට පරිසර හානියකට හා එහි ජීවීන්ගේ විකෘති වීමකට මඟ පාදා තිබෙනවා. ද්‍රව්‍යමය ධනය ජයගනියි කියන විශ්වාසය හේතුවෙන්, මේ පොළොව කවදා හෝ ඒදන්මය පාරාදීසයකට පරිවර්තනය වෙයි කියන බලාපොරොත්තුව බොහෝදෙනාගෙන් ගිලිහිලා. ඒ වෙනුවට, පාරාදීසයක් සඳහා තමන්ගේ එකම බලාපොරොත්තුව හැටියට ඔවුන් බලා ඉන්නේ මේ ජීවිතයෙන් පසුව ස්වර්ගික ජීවිතයක් දෙසයි. ප්‍රථමයෙන්ම, ඒදන් සඳහා අපේ මනුෂ්‍ය ආශාව සදහටම කලකිරුණු එකක් වනු ඇති බවත්, දෙවනුව, දෙවි මේ පෘථිවිය මනුෂ්‍යයාගේ මෝඩකමට හා ගිජුකමට අතහැර තිබෙන බවත් එම අදහසෙන් අඟවනවා. ඒක ඇත්තද? ඇත්තෙන්ම අනාගතයෙහි තිබෙන්නේ මොනවද? තවද එම අනාගතය තිබෙනු ඇත්තේ කොහේද?
පාරාදීසය—ස්වර්ගයේද නැත්නම් පොළොවේද?
අවුරුදු 2,000කට ආසන්න කාලයකට පෙර, තමා අසල ඇණ ගසා සිටි පසුතැවිලි වන සොරෙකුට කතා කරද්දී, යේසුස් ක්‍රිස්තුස් මෙහෙම කිව්වා: “ඔබ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහිය.” (ලූක් 23:43, NW) සොරා තමා එක්ක ස්වර්ගයට යනු ඇතැයි කියා යේසු අදහස් කළාද? නෑ.
අපරාධකාරයා තුළ එවැනි අදහසක්වත් නොතිබෙන්න ඇති. ඇයි තිබුණේ නැත්තේ? ඔහුගේ කාලයේ පැවති, ගීතාවලිය 37:29හි “ධර්මිෂ්ඨයෝ [පොළොව] උරුමකර ගන්නෝය” නම් වූ මුල් කොටස වැනි හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල කොටස්වලට ඔහු සමහරවිට හුරුව සිටියා විය හැකි නිසයි. [ඇල අකුරු අපේය]. යේසු මෙහෙම පවසමින් එම සත්‍යයම ඉගැන්නුවා: “මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය.” (මතෙව් 5:5, ඇල අකුරු අපේය) මේ පදය ස්වාමීන්ගේ යාච්ඤාව කියා පොදුවේ හඳුන්වන දෙයට සමානයි: “ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.”—මතෙව් 6:9, 10.
දෙවි මනුෂ්‍ය පවුල සඳහා නිවස හැටියට මැව්වේ ස්වර්ගය නොව පොළොව බව බයිබලය උගන්වනවා. ඔහු ‘පොළොව මැව්වේ හිස් වෙන්න නෙවෙයි’ නමුත් ‘වාසය පිණිසයි’ කියා ඔහුගේ වචනය පවසනවා. (යෙසායා 45:18) කොයි තරම් කාලයකටද? “පොළොව සදාකල්ම නොසෙලවෙන ලෙස [ඔහු] එකේ අත්තිවාරම් [දැමුවේය].” (ගීතාවලිය 104:5) එසේය, “පොළොව සෑම කල්ම පවතින්නේය.”—දේශනාකාරයා 1:4.
දෙවිට සේවය කරන බහුතරයක් සඳහා මේ පොළොව සදහටම නිවසක් කර දීම දෙවිගේ අරමුණයි. දේවවචනය වන බයිබලය මේ ගැන දක්වන අදහස් සැලකිල්ලට ගන්න. ගීතාවලිය 37:11 මෙහෙම පුරෝකථනය කරනවා: “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” කොයි තරම් කාලයකටද? ගීතාවලිය 37:29 මෙහෙම පවසනවා: “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” ඒ අවස්ථාවේදී මේ ශුද්ධ ලියවිලි පදය සැබෑ වේවි: “ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කර[යි]”; දේවකැමැත්තට එකඟ වන ආශාව එයයි.—ගීතාවලිය 145:16.
දෙවිගේ කැමැත්ත කරන්න ආශාවක් නැති අය ගැන මොනවද කියන්න පුළුවන්? හිතෝපදේශ 2:21, 22 මෙහෙම පවසනවා: “අවංක අයවල් දේශයෙහි වාසයකරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය. නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.”
පාරාදීසය යළිත් පිහිටුවා
වැඩි කල් නොගොස්, මේ දුෂ්ට ලෝකයට එරෙහිව දෙවිගේ විනිශ්චයන් ක්‍රියාත්මක වෙන්න සලස්සාවි. (මතෙව් 24:3-14; 2 තිමෝති 3:1-5, 13) නමුත් දෙවි, “මහත් සමූහයක්” වන ජනතාවව පැමිණෙන විනාශයෙන් බේරාවි; ඔහු විසින් සාදනු ලබන අලුත් පොළොව තුළට ඔවුන්ව බේරාගනීවි.—එළිදරව් 7:9-17.
එහෙමනම්, මනුෂ්‍යවර්ගයා සඳහා පාරාදීස නිවසක් බවට මුළු පොළොවම පරිවර්තනය කිරීමේ ප්‍රීතිමත් වැඩකටයුත්ත සඳහා තම මනුෂ්‍ය යටත්වැසියන්ට දෙවි මඟ පෙන්වාවි. බයිබලය මෙහෙම පොරොන්දු වෙනවා: “වනාන්තරයද වියළි දේශයද ප්‍රීතිවන්නේය; කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දී මෙන් මල් දරන්නේය. . . . මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳඑන්නේය.”—යෙසායා 35:1, 6.
පුළුල් කරන ලද එම පාරාදීසයේ තවදුරටත් කුසගින්න, දිළිඳුකම, මුඩුක්කු තිබෙන්නේ හෝ අවතැන් වූ ජනයා සිටින්නේ හෝ අපරාධ පැතිර ගිය ප්‍රදේශ තිබෙන්නේ නෑ. “පොළො[ව] . . . බොහෝ ශෂ්‍ය වන්නේය.” (ගීතාවලිය 72:16) “කෙතේ ගස්වල ඵල හටගන්නේය, දේශය ඒකේ අස්වැන්න දෙන්නේය.” (එසකියෙල් 34:27) “ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත.” (යෙසායා 65:21, 22) “ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත.”—මීකා 4:4.
සමහරු ස්වර්ගයට යන්න හේතුව
භූමික පාරාදීසයක් සඳහා තමන්ට දැඩි ආශාවක් තිබෙන බව සමහරවිට වැඩිදෙනෙක් පිළිගනීවි. දෙවි, ස්වර්ගය සඳහා දැඩි ආශාවක් ඔවුන් තුළ පැලපදියම් නොකළ නිසා එය ස්වභාවිකයි; ස්වර්ගික ජීවනය මොන වගේද කියලා හිතාගන්නවත් ඔවුන්ට බැහැ. උදාහරණයක් හැටියට, පැට් පල්ලියේ භක්තිවන්ත සාමාජිකාවක් වුණත්, එංගලන්ත සභා පල්ලියේ ඇගේ දේවගැතිවරයා එක්ක කළ කතා බහකදී මෙහෙම කිව්වා: “ස්වර්ගයට යන එක ගැන මට කිසි අදහසක් කවදාවත් තිබුණේ නෑ. මට යන්න ඕනෙත් නෑ; අනිත් එක මං එහෙ ගිහිල්ලා මොනවා කරන්නද?”—ගීතාවලිය 115:16, සසඳන්න.
ස්වර්ගයට යන්නේ මනුෂ්‍යයන් 1,44,000ක සීමිත සංඛ්‍යාවක් කියලා බයිබලයේ උගන්වන එක ඇත්තයි. (එළිදරව් 14:1, 4) එය මේ හේතුවත් පැහැදිලි කරනවා: “ඔබ ඔවුන් අපගේ දෙවිට රාජ්‍යයක්ද පූජකයන්ද කළේය; තවද ඔවුන් රජවරුන් ලෙස පොළොව කෙරෙහි රජකම් කිරීමට නියමිතය.” (එළිදරව් 5:9, 10, NW ) ඔවුන් හා ඔවුන්ගේ රජු වන යේසුස් ක්‍රිස්තුස් ඇතුළත්වයි මේ “රාජ්‍යය” සෑදෙන්නේ; එය ක්‍රිස්තියානීන් යාච්ඤාවෙන් ඉල්ලන පොළොවේ නව ස්වර්ගික ආණ්ඩුවයි. මේ ආණ්ඩුව පොළොවේ හා මනුෂ්‍යවර්ගයාගේ මුළු පුනරුත්ථාපනයම අධීක්ෂණය කරයි.—දානියෙල් 2:44, 45; 2 පේතෘස් 3:13.
කොහොමවුණත්, ස්වර්ගයේ ජීවත්වීමේ ආශාව මනුෂ්‍යයා තුළ ස්වභාවයෙන්ම පවතින්නක් නොවන නිසා, දෙවිගේ ආත්මයේ අද්විතීය ක්‍රියාකාරිත්වයක්, 1,44,000දෙනාට ‘සාක්ෂි දෙන්නේ’ එමගින් ඔවුන් මේ විශේෂ ‘කැඳවීම’ අවබෝධ කරගැනීම සඳහායි. (රෝම 8:16, 17; පිලිප්පි 3:14) ඒත්, පාරාදීස පොළොවක් ඔවුන්ගේ සදාකාල නිවස වෙන්න යන නිසා, පොදුවේ මනුෂ්‍යවර්ගයා සඳහා ශුද්ධාත්මයේ එවැනි ක්‍රියාකාරිත්වයක් අවශ්‍ය නැති බව නිසැකයි.
ආත්මික පාරාදීසය මාර්ගය පිළියෙළ කරයි
පාරාදීස පොළොවේ සදාජීවනය සඳහා කෙනෙක් සුදුසුකම් ලබන්නේ කොහොමද? “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය, එනම් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත්, ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් විසින් දැනුම ලබාගැනීමය” කියා යේසු පැවසුවේය. (යොහන් 17:3, NW ) දෙවි ගැන දැනුමක් එක්ක සාමකාමී මිනිස් සබඳතා සම්බන්ධ කරමින් යෙසායා 11:9 මෙහෙම කියනවා: “මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා, NW ] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.”—යෙසායා 48:18, සසඳන්න.
මේ දැනුම, නිකම්ම දැනුම් සම්භාරයක් ගැනීම විතරක්ම නොවන බව අමුතුවෙන් කිව යුතු නෑ. එය කෙනෙකුගේ පෞද්ගලිකත්වයෙහි පෙලඹීමක් ඇති කරන අතර, “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම” වැනි දේවගුණාංග පෝෂණය කරනවා. (ගලාති 5:22, 23) යෙහෝවාගේ සාක්ෂිකාරයන් මේ ගුණාංග වර්ධනය කිරීමට වෙර දරන බැවින්, දැන් පවා, ඔවුන් සාරවත් ආත්මික පාරාදීසයකින් ආශීර්වාද ලබාගෙන තිබෙනවා.—යෙසායා 65:13, 14.
අභක්තිකකමට හා දූෂණයට වැඩි වැඩියෙන් ගිලාබහින ලෝකයට වඩා ඔවුන්ගේ ආත්මික තත්වය කොයිතරම් වෙනස්ද! කොහොමනමුත්, වැඩිකල් නොගොස්, දෙවි විසින් මේ දුෂ්ට ලෝකය විනාශ කර දමාවි. මේ අතරතුර, යෙහෝවාගේ සාක්ෂිකරුවන්, ඔවුන් භුක්ති විඳින ආත්මික පාරාදීසයට ඇවිත් සෝදිසි කර බලන්න කියලා ඔබට ආරාධනා කරනවා. අදෘශ්‍යමාන ස්වර්ගික රජු වන යේසු, දැනටමත් අනාගතයේදී එම නව ලෝකයේ සිටින්න යන වාසීන්ව භූමික පාරාදීසයට හා සදාජීවනයට යන පටු මාර්ගය ඔස්සේ සන්සුන්ව මඟ පෙන්වන ආකාරය ඔබම බලාගන්න.—මතෙව් 7:13, 14; එළිදරව් 7:17; 21:3, 4.
[8, 9වන පිටුවේ පින්තූරය]
මේ ලෝකයේ අවසානයේදී බේරෙන්නන්, පොළොව පාරාදීසයක් බවට පරිවර්තනය කිරීමෙහි ප්‍රීතියෙන් සහභාගි වේවි