යෞවන අය අසති . . .
මුදල් ඉපයීමේ ඇති වරද කුමක්ද?
“ඇත්තෙන්ම මුදල් කියන්නේ ලෝකයේ තියෙන වැදගත්ම දෙයයි.” එසේ ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය නාට්‍ය ලේඛක ජෝජ් බ’නාඩ් ෂෝයි. ඔබ ඔහුත් සමඟ එකඟ වෙනවාද? සමහරවිට ඔබට මෙසේ පවසන 17 හැවිරිදි ටාන්යාට මෙන් හැඟෙනවා ඇති: “මට ධනවත් වෙන්න ඕනෙ නැහැ, හොඳ සුරක්ෂිතභාවයක් දැනුණොත් හොඳටම ඇති.” යෞවන ඒව්යයන්ටත් හැඟෙන්නේ මුදල් ලෝකයේ තිබෙන වැදගත්ම දෙය හැටියට නොව, නමුත් යම් ඉලක්ක සාක්ෂාත් කරගන්න උදව් වන හොඳ මෙවලමක් හැටියටයි. “ඇඳුම් හා ගමන් බිමන් කියන මගේ අවශ්‍යතාවලට මුදල් අවශ්‍යයි” කියා ඔහු කියයි.
බයිබලයත් ඒ හා සමාන කරුණක් තහවුරු කරන බව ඔබ දන්නවාද? දේශනාකාරයා 7:12හි, “මුදල ආරක්ෂාවක්” යයි පවසයි. දුගීකම විස්තර කර තියෙන්නේ “මිනිස් සතුටේ පරම සතුරෙකු” හැටියටයි. එමෙන්ම අවශ්‍ය තරම් මුදල් තිබීම මගින් බොහෝදුරට දුගීකම ගෙනෙන ගැටලුවලින් ඔබව ආරක්ෂා කළ හැක—අඩුම තරමින් යම් තාක් දුරකට. අනපේක්ෂිත විපත්වලින් සිදු වන හානිය අවම කරන්නද මුදල්වලට පුළුවන්. “‘කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන බව’ බයිබලය කියනවා” කියා යෞවන ෆිලිස් පවසයි. “අපි දන්නේ නැහැ අමාරුකම් මොන වෙලාවෙ එයිද කියල, ඒ හින්දා සල්ලි ඉතුරු කරගෙන තියාගන්න ඕනෙ.” (දේශනාකාරයා 9:11) වර්තමානයේදී ඔබට මුදල් කියන දෙය වැදගත් මෙන් දිස් විය හැකි අතරතුරේදී, ඔබේ අනාගතයේදී ඊටත් වඩා වැදගත් කාර්යයක් එයින් ඉටු වෙන්න පුළුවන්.
“ද්‍රව්‍යවාදය නමැති මහා රැල්ල”
යම් තාක් දුරකට මුදල් තිබීම ගැන සැලකිලිමත් වීම සාමාන්‍ය මෙන්ම හොඳ විය හැකි අතරතුරේදී, සමහර යෞවනයන්ට මුදල් නැතුවම බැරි දෙයක් බවට පත් වී තියෙනවා. යෞවනයන් 1,60,000කට වඩා වැඩි ප්‍රමාණයකින් “ඔබට ජීවිතයේ වැඩියෙන්ම ඕන කරන්නේ මොකක්ද?” යයි ඇසූ විට, සියයට 22ක් කිව්වේ “ධනවත් වෙන්න” කියායි.
මුදල් සඳහා තිබෙන දොළ දුක නොඅනුමානවම නියූස්වීක් සඟරාවේ පවසන “ද්‍රව්‍යවාදය නමැති මහා රැල්ල” මගින් පෝෂණය වෙනවා. “මම ගොඩක් ද්‍රව්‍යවාදී කෙනෙක්, ඒ වගේම ලේබල් ගැනත් ගොඩක් හිතන කෙනෙක්; මම ඇත්තෙන්ම විශ්වාස කරනවා ගෙවන ගාන හැටියට තමයි ගන්න දේ තීරණය වෙන්නේ කියල. ඒ නිසා මම ගෙවන දේවල්වලට ගොඩක් සල්ලි යට කරනවා” යයි 18 හැවිරිදි මාටින් පවසනවා. ‘ගොඩක් සල්ලි යට’ කරන එකම යෞවනයා මාටින් පමණක්ම නෙවෙයි. යූ.එස්.නියූස් ඇන්ඩ් ව’ල්ඩ් රිපෝට් (එ. ජ. පුවත් හා ලෝක වාර්තාව) මෙසේ වාර්තා කරනවා: “පසුගිය වසරේ, [අමෙරිකා එක්සත් ජනපදයේ] අවුරුදු 12 සිට 19 දක්වා වයස් වූවන් මෙතෙක් කළ විශාලතම සාප්පු සවාරියේ ගියා; එහිදී ඔවුන් ඩොලර් බිලියන 109ක් වියදම් කළ අතර, එය 1990 සිට සියයට 38ක වැඩිවීමක්.”
ඒ වුණත්, මේ අලුත් ඇඳුම්, සංයුක්ත තැටි හා පරිගණක උපකරණ සඳහා යෞවනයන්ට මුදල් ලැබෙන්නේ කොහෙන්ද? එ. ජ. පුවත් හා ලෝක වාර්තාවට අනුව: “16 සිට 19 දක්වා වයසැති සියල්ලන්ගෙන් අඩකට අර්ධ කාලීන රැකියා තියෙනවා.” මෙය සමබරව තබාගතහොත් පාසැල් වේලාවෙන් පසු රැකියාවකට, යෞවනයෙකුට වගකීමකින් යුත් බව කුමක්ද යන්න උගන්වන්න පුළුවන්. කෙසේවුවත්, සමහර යෞවනයන් මේ සම්බන්ධයෙන් ඇත්තෙන්ම අන්තයටම යනවා. නියූස්වීක් මෙසේ නිරීක්ෂණය කරයි: “මනෝ විද්‍යාඥයන් හා ගුරුවරුන් [වැඩට යන] ශිෂ්‍යයන්ට ඇති පීඩනය දකිනවා. ඔවුන්ට ගෙදර වැඩ සඳහා ඇත්තේ ටික වෙලාවක් වන අතර, ඔළුව උස්සගෙන ඉන්න වෙර දරන ශිෂ්‍යයන් නිතරම දකින ගුරුවරුන් බොහෝවිට කනගාටුදායක ලෙස, මට්ටම් අඩු කිරීමෙන් ඊට ප්‍රතිචාරය දක්වනවා.”
ඒ වුණත්, තමන්ගේ ආදායම් මාර්ග අතහරින්න කැමති වන්නේ යෞවනයන් අල්පමාත්රයකි. “ඉස්කෝලෙ වැදගත්, හැබැයි ඒ විදිහටම සල්ලිත් වැදගත්. ගෙදර වැඩවලින් සල්ලි ලැබෙන්නේ නැහැ” යයි යෞවන වනෙසා පවසයි. මුදල් ඉපැයීම ඔබට කොයි තරම් වැදගත්ද? මුදල් බොහොමයක් ඉපැයීම ඔබේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කයද?
“ධනවත් වීමට අදිටන් කරන”
බයිබලය කටයුතු කරන්නේ මෙම ප්‍රශ්නත් සමඟමයි. ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා: “නුමුත් ධනවත්වන්ට ආශා ඇත්තෝ [ධනවත් වීමට අදිටන් කරන අය NW] පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය. මක්නිසාද වස්තු තෘෂ්ණාව [මුදලට ප්‍රේම කිරීම NW] සියලු ආකාර නපුරේ මුලක්ය [වේදනාකාරි දේවල මුලක්ය NW]. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.”—1 තිමෝති 6:9, 10.
පාවුල් ඇත්තෙන්ම දැනගෙන හිටියා ඔහු කතා කරමින් සිටියේ කුමක් ගැනද කියා. ඔහු ක්‍රිස්තියානියෙකු වෙන්න පෙර, බයිබලය “මුදලට ආශා ඇත්තෝ” හැටියට හඳුන්වන, “ඵරිසිවරු” ලෙසට දැන සිටි ආගමික නායකයන් අතුරින් කෙනෙක් වුණා. (ලූක් 16:14) ඒ වුණත්, ප්‍රේරිතවරයා මුදල් ඉපයීමම හෙළා දැක්කේ නැහැ. ඒ වෙනුවට, ඔහු අනතුරු ඇඟෙව්වේ “ධනවත් වීමට අදිටන්” කරන අයට එහෙම නැත්නම්, වෙනත් පරිවර්තනයක් දක්වන ආකාරයට, “පොහොසත් වීමට තමන්ගේ හෘද යොමු කරවන” මිනිසුන්ටයි. (ෆිලිප්ස්) නමුත් එසේ කිරීමේ ඇති හානිය කුමක්ද?
පාවුල් පැහැදිලි කළ ආකාරයට, එවැන්නෝ “පරීක්ෂාවකද මලපතකද . . . වැටෙන්නෝය.” හිතෝපදේශ 28:20 මෙසේ පවසද්දී සමාන කරුණක් ගෙනහැර දක්වනවා: “වස්තු උපදවාගන්ට ඉක්මන්වෙන්නා දඬුවම් නොලැබ [නිර්දෝෂව, NW] නොසිටියි.” ඔවුන්ට ප්‍රමාණවත් තරම් නැතැයි සිතමින්, සමහර යෞවනයන් සොරකම් කරන්න තෝරාගෙන තියෙනවා.
යෞවනයන් වැඩිදෙනෙක් සොරකම් කරන්න නොසිතන බව ඇත්තක්. නමුත් සමහරුන් ඊට සමාන අවදානම් හැසිරීමක නිරත වෙන්න පුළුවන්. ක්‍රිස්ටියැනිටි ටුඩේ (ක්රිස්තියානීත්වය අද) මෙසේ වාර්තා කරයි: “සමහර ප්‍රවීණයන් පවසන පරිදි අධිකතර සූදුව, වේගයෙන්ම වර්ධනය වන නව යොවුන් වියැති ඇබ්බැහි වීමයි.” එක් එ.ජ. ප්‍රදේශයක, “නව යොවුන් වියැත්තන්ගෙන් සියයට 90ක් පමණ ඔවුන්ගේ උසස් පාසැලේ ජ්‍යෙෂ්ඨ වර්ෂය වන විට, නීති විරෝධී ලෙස ලොතරැයි ටිකට්පත් මිල දී ගෙන තිබුණා.” සමහර යෞවනයන් ඊටත් වඩා අන්ත පියවරවල් තෝරාගන්නවා. “හොඳ රස්සාවක් හොයාගන්න එක අමාරු දෙයක්; ඉතින් මට හම්බ වෙන සල්ලිවලින් වැඩි හරියක් ලැබෙන්නේ දේවල් වෙළහෙළඳාම් කරලා. . . . [ඉස්සර] විටින් විට මම [මත්ද්‍රව්‍ය] විකුණනවා” යයි 16 හැවිරිදි මතෙව් පවසයි.
‘විනාශයට ගිල්වීම’
මුදල් තිබීම, යමෙකුට නිදහසේ හැඟීමක් ලබා දෙන්න පුළුවන් බව ඇත්තයි. නමුත් පාවුල් පැහැදිලි කරන ආකාරයට, අන්තිමේදී, මුදල් ලුහුබැඳීම යමෙකුව “අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවල[ට]” වහලෙක් කළ හැකි අතර, එමගින් “මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්ව[යි].” ඔව්, වරක් මුදලට ප්‍රේමය එහි දත් ඔබ තුළට පසාරු කළ විට, තණ්හාවට, මාරාන්තික ඊර්ෂ්‍යාවට හා වෙනත් වේදනාකාරි ආශාවන්ට ඔබව යටපත් කරන්න පුළුවන්. (කොලොස්සි 3:5 සසඳන්න.) වෙනත් යෞවනයන්ට ඇති වාහන හා ඇඳුම් ගැන සමහර යෞවනයන් කොපමණ ඊර්ෂ්‍යා වෙනවාද කිව්වොත් “ඔවුන්ව සම්පූර්ණයෙන්ම යට කර දමන තත්වයකට පත් වෙන බව” ටීන් (නව යොවුන්) සඟරාවේ එක් ලිපියක් නිරීක්ෂණය කළා. ලිපිය මෙසේ එකතු කරයි: සමහර අවස්ථාවලදී මෙම ඊර්ෂ්‍යාව “තමාවම පිළිකුල් කරගැනීමක් බවට හැරෙන අතර,” “[ඔහුට හෝ] ඇයට නැති දේ ගැන මිස වෙනත් දෙයක් කල්පනා කරන්න යොවුන් වියැත්තාට නොහැක.”
එසේනම්, පොහොසත් වීම සඳහා ඇති ආශාව යමෙකුව ‘පරීක්ෂාවකද වැටෙන්න’ සලස්වනවා පමණක් නොව, නමුත් එය යමෙකුව ‘නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්න’ සලස්වන්නත් පුළුවන්. බයිබල් විචාරක ඇල්බට් බාන්ස් මෙසේ නිරීක්ෂණය කරයි: “පෙනෙන්ට ඇති දසුන මුහුදුබත් වීමක්. එහිදී නැවත් එහි තිබෙන සියල්ලත්, එකට ගිලා බසී. විනාශය සම්පූර්ණ එකක්. සන්තෝෂයේ, සුචරිතයේ, කීර්තියේ හා ප්‍රාණයේ සම්පූර්ණ විනාශයක්.”—1 තිමෝති 1:19 සසඳන්න.
එසේනම්, සියල්ල අබිබවන “මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර වේදනාකාරි දේවල මුලක්” [NW] බව පාවුල් උචිත ලෙස පවසනවා. එහි ප්‍රතිඵලයක් හැටියට, බොහෝදෙනෙක් “ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.” උදාහරණයකට, අපි රෝරී යයි හඳුන්වන යෞවනයෙකුව ගන්න. ඔහුට වයස 12දී ඔහු සූදුවේ නිරත වුණා. “කිසිම දෙයක් කරන්නේ නැතුව මුදල් ලබාගන්න පුළුවන් මාර්ගයක් වුණා ඒක” යයි ඔහු සිහියට නඟයි. වැඩි කල් යන්න මත්තෙන්, ඔහු ඩොලර් සිය ගණනක් ණයව සිටි අතර, මිතුරන්, පවුල හා ගෙදර වැඩ අතපසු කරමින් සිටියා. “මම නවත්තන්න උත්සාහ කළා” යයි ඔහු පිළිගනියි, නමුත් ඔහු දිගින් දිගටම අසමත් වුණා. ඔහු වයස 19දී උපකාරය පතන තුරු, ඔහු දිගටම ‘වේදනාවලින් තමුන්ටම ඇනගත්තා’. චේසිං මැමන් (ධනය ලුහුබඳිමින්) නමැති තම පොතේ, මුදල් ලුහුබැඳීම “කම්පිත කරවන අද්දැකීමක්” හැටියට නම් කරන විට, ලේඛක ඩග්ලස් කෙනඩි එය අතිශයෝක්තියක් ලෙස දක්වමින් හිටියා නොවේ.
සමබරතාවක් සෙවීම
සාලමොන්ගේ උපදේශය ශතවර්ෂ ගණනාවකට ඉහතදී මෙන්ම දැනටත් එක සේ බලපානවා: “පොහොසත් වෙන්ට නොවෙහෙසෙන්න; ඒ අදහස අත්අරින්න. නැතිවීයන දේට නුඹේ ඇස් යොමු කරන්නෙහිද? වස්තුව පියාපත් සාදාගෙන රාජාලියෙකු මෙන් අහස දෙසට ඉගිලී යන්නේමය.” (හිතෝපදේශ 23:4, 5) ද්‍රව්‍යමය සැපසම්පත් තාවකාලිකය; එහෙයින් ධනය ලුහුබැඳීම ඔබේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය කරගැනීම මෝඩකමක්. “මට අවශ්‍ය නැහැ සම්පූර්ණයෙන්ම ද්‍රව්‍යවාදී වන දේවල්වලට පටලැවෙන්න. මම හොඳ හැටියෙන් දන්නවා සල්ලි හම්බ කරන එකේ විතරක් නියැලුණොත් මගේ ආත්මිකත්වය තමයි මට නැති වෙන්නේ කියලා,” ක්‍රිස්තියානි යෞවනියක් වන මොරීන් පවසනවා.
මුදල් අවශ්‍යතාවක් බව සැබෑවක්. එමෙන්ම ප්‍රමාණවත් ආදායම් මාර්ගයක් තිබීමෙන්, ඔබගේ අවශ්‍යතාවන්ට මෙන්ම කලින් කලට අන්‍යයන්ටත් ද්‍රව්‍යමය ආකාරයකින් සහය වෙන්න ඔබට හැකි කරවන්න යනවා. (එපීස 4:28) මුදල් අවංකව උපයාගන්න හැකි වන පරිදි උත්සාහවන්තව වැඩ කරන්න ඉගෙනගන්න. එමෙන්ම ඔබගේ මුදල් ඥානවන්තව ඉතිරි කරන්නත්, වෙන් කරන්නත්, වියදම් කරන්නත් ඉගෙනගන්න. නමුත් කවදාකවත් මුදල් ඔබේ ජීවිතයේ වැදගත්ම දෙය කර නොගන්න. “මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නො[දෙන්න]” කියා යාච්ඤා කළ හිතෝපදේශ 30:9හි ලේඛකයා ඉදිරිපත් කළ සමබර අදහස ඇති කරගන්න උත්සාහ කරන්න. ආත්මික කාරණා මුල් තැනට තැබීමෙන්, ඉස්තරම්ම ධනසම්පත් අත් කරගන්න ඔබට හැකි වෙනු ඇත. හිතෝපදේශ 10:22 කියන ආකාරයට, “[යෙහෝවාගේ] ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, [ඔහු] ඊට දුක එකතු නොකර[න්නේය].”
[13වන පිටුවේ පින්තූරය]
බොහෝ යෞවනයන්ට මුදල් ඕනෑ වන්නේ, ඔවුන්ගේ තුල්‍යයන් හා සමාන වන්නයි