බයිබලයෙන් පිළිතුරක්
ගැලවුම්කරු
ලෙඩ රෝග, දුක් වේදනා හා මරණයෙන් පීඩා විඳින මිනිසුන්ව ගලවාගන්න ගැලවුම්කාරයෙක් මේ ලෝකෙට ඇවිත් ඔහුගේ දිවි පුදනවා කියලා බයිබලයේ කියලා තිබුණා. ඒ ගැලවුම්කරු යේසුස් ක්‍රිස්තුස්ද?
ගැලවුම්කරුව මිනිස්සු හඳුනාගන්නේ කොහොමද?
බයිබලයේ තියෙන අනාවැකිවලට අනුව ගැලවුම්කරුට කාර්යයන් 2ක් ඉටු කරන්න තිබුණා.a ඔහු 1වෙනි එක ඉටු කරලා කාලයකට පස්සෙයි 2වෙනි කාර්යය ඉටු කරන්නේ. මුල් කාර්යය ඉටු කරන්න ඔහු ආවේ මනුෂ්‍යයෙක් විදිහටයි. බයිබල් ලේඛකයන් ඔහු ගැනත් ඔහුගේ සේවය ගැනත් අනාවැකි කියලා තිබුණ නිසා ඔහුව පහසුවෙන් හඳුනගන්න පුළුවන් වුණා. බයිබලයේ තියෙන අනාවැකිවල මූලික අරමුණ වුණේ ගැලවුම්කරු හෙවත් ‘යේසුස් ගැන සාක්ෂි දැරීමයි.’—එළිදරව් 19:10.
පාරාදීස පොළොවේ යේසුස් මොන තරම් දේවල් කරයිද කියලා ඔහු පොළොවේ හිටිය කාලයේදී කරපු ආශ්චර්යයන්වලින් පැහැදිලි වෙනවා
බයිබලයේ කියන්නේ මෙහෙමයි.
ගැලවුම්කරු ගැන කියූ අනාවැකි කීපයක්,
දාවිත් රජගේ පෙලපතින් පැවතෙනවා.—යෙසායා 9:7; ලූක් 3:23-31.b
ඉපදෙන්නේ බෙත්ලෙහෙම් නගරයේ.—මීකා 5:2; ලූක් 2:4-7.
“ශුභාරංචිය” ගැන අනිත් අයට කියනවා.—යෙසායා 61:1; ලූක් 4:43.
මිනිස්සුන්ගේ අපහාසයට ලක් වෙනවා.—යෙසායා 53:3; මතෙව් 26:67, 68.
රිදී කාසි 30කට පාවා දෙනවා.—සෙකරියා 11:12, 13; මතෙව් 26:14, 15.
අසාධාරණ තීන්දුවක් දුන්නත් නිහඬව ඉන්නවා.—යෙසායා 53:6, 7; මතෙව් 27:12-14.
පූජා කරන ‘බැටළුවෙක්’ වගේ. ජීවිත පූජාවෙන් පව්වලට සමාව ලබා දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්න මිනිස්සුන්ට පුළුවන්.—යෙසායා 53:7; යොහන් 1:29, 34, 36.
මරණයට පත් කළත් ඔහුගේ ඇටකටු කඩන්නේ නැහැ.—ගීතාවලිය 34:20; යොහන් 19:33, 36.
මිය ගියාට පස්සේ ධනවතුන් සමඟ තැන්පත් කරනවා.—යෙසායා 53:9; මතෙව් 27:57-60.
දවස් තුනකින් නැවත නැඟිටුවනවා.—මතෙව් 16:21; 28:5-7.
ඒ අනාවැකිත් තවත් බොහෝ අනාවැකිත් යේසුස්ගේ ජීවිතය තුළ ඉටු වුණා. ඔහු පොළොවේ ඉද්දී ලෙඩුන්ව සුව කළා. මැරුණු අයව නැඟිට්ටෙව්වා. ඒ නිසා ඔහු ගැලවුම්කරු බව ඔප්පු වුණා විතරක් නෙමෙයි අනාගතයේදී ඉටු කරනවා කියලා බයිබලයේ දීලා තියෙන පොරොන්දු අපිට විශ්වාස කරන්න පුළුවන් කියලත් පෙන්නුවා. (ලූක් 7:21-23; එළිදරව් 21:3, 4) යේසුස්ව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වට පස්සේ ඔහු දෙවෙනි කාර්යය ඉටු කරන්න අවස්ථාව එන තුරු දෙවියන්ගේ “දකුණු පැත්තේ” හිටියා.—ගීතාවලිය 110:1-6.
“ඔහු කොතරම් ලකුණු සිදු කරනවාද! ඔහු ක්‍රිස්තුස්ම විය යුතුයි.”—යොහන් 7:31.
ගැලවුම්කරු තමන්ගේ කාර්යය සම්පූර්ණ කරන්නේ කොහොමද?
යේසුස්ගේ කාලයේ හිටපු යුදෙව්වන් හිතුවේ යේසුස් ඔවුන්ව රෝම පාලනයෙන් ගලවාගෙන ඊශ්‍රායෙලයේ පාලකයා බවට පත් වෙයි කියලයි. (ක්‍රියා 1:6) ඒත් රජෙක් විදිහට යේසුස් පාලනය කරන්නේ ස්වර්ගයේ ඉඳන් කියලා ඔහුගේ අනුගාමිකයන් තේරුම්ගත්තේ පස්සෙ කාලෙකයි.—මතෙව් 28:18.
බයිබලයේ කියන්නේ මෙහෙමයි.
දෙවෙනි කාර්යය ඉටු කරද්දී ගැලවුම්කරු කරන දේවල්.
දේවරාජ්‍යයේ රජු ලෙස ලෝකය පාලනය කරනවා.—දානියෙල් 7:13, 14; එළිදරව් 11:15.
ඔහුව විශ්වාස කරන අයට ආශීර්වාද කරනවා.—උත්පත්ති 22:17, 18; ගීතාවලිය 72:7, 8.
ඔහුට එරෙහි වෙන පාලකයන්ව, ජාතීන්ව විනාශ කරනවා.—යෙසායා 52:15; එළිදරව් 19:19, 20.
ධර්මිෂ්ඨ අයගෙන් සෑදුණු “මහත් සමූහයකට” පාරාදීස පොළොවක ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙනවා.—එළිදරව් 7:9, 10, 13-17.
යෙහෝවා දෙවියන් එක්ක එකතු වෙලා මිය ගිය අයව පාරාදීසයේ ජීවත් වෙන්න නැවත නැඟිටුවනවා.—ලූක් 23:43; යොහන් 5:21, 28, 29.
ඔහුගේ යටත් වැසියන්ට සැබෑ සාමයෙන් ජීවත් වෙන විදිහ ගැන කියා දෙනවා.—යෙසායා 11:1, 2, 9, 10.
ඔහුගේ ජීවිත පූජාවෙන් මිනිසුන්ට උරුම වූ පාපය ඉවත් වෙන නිසා ලෙඩ දුක, මරණය නැති වෙනවා.—යොහන් 1:29; රෝම 5:12.
අවසානයේදී සාතන්ව විනාශ කරලා සියලුදෙනාටම යෙහෝවා දෙවියන්ගේ පාලනය යටතේ ජීවත් වෙන්න අවස්ථාව උදා කරනවා.—1 කොරින්ති 15:25-28; 1 යොහන් 3:8.
ගැලවුම්කරු හැටියට යේසුස් ඔහුගේ පළවෙනි කාර්යය ඉටු කළා. දෙවෙනි එකත් අනිවාර්යයෙන්ම ඉටු කරයි. “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි” කියලා යේසුස් කියපු නිසා කෙනෙක්ට කරන්න පුළුවන් හොඳම දේ ඔහුව දැන හඳුනගන්න එකයි.—යොහන් 14:6.
“ඔහුගේ පාලන සමයේදී ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය. සඳ පවතින තෙක් බොහෝ සමාදානය තිබෙන්නේය. . . පොළොවේ සියලු සීමා දක්වා ඔහුගේ පාලනය විහිදී යන්නේය.” —ගීතාවලිය 72:7, 8.
a ගැලවුම්කරුට හෙබ්‍රෙව් බසින් “මෙසියස්” කියලත් ග්‍රීක බසින් “ක්‍රිස්තුස්” කියලත් කියනවා.—යොහන් 1:41.
b පළවෙනි බයිබල් පදයෙන් අනාවැකියත් දෙවෙනි එකෙන් එය ඉටු වුණු විදිහත් පෙන්නනවා.