4 පාඩම
කියවා මතක තබා ගත හැකි අයුරු
1, 2. අප කියවන දේ මතක තබා ගැනීම අපට වැදගත් වන්නේ මන්ද?
1 හුදෙක් විනෝද ක්‍රියාවක් හැටියට පමණක් කියවන අයට, තමන් කියවන දේ මතක තබා ගැනීම එතරම් වැදගත් නැත. එහෙත්, වෘත්තියක් සඳහා පාඩම් කරන කෙනෙකුට, තමාගේ පාඩම් පොත්වල කියවන දේ මතක තබා ගැනීම අති වැදගත් ය. විභාගයෙන් සමත්වීම සහ තෝරා ගත් රැකියාවට ඇතුළත්වීම එය මත රඳා පවතී. එහෙත්, තමාගේ කියවීම සාමාන්‍ය හෝ ගැඹුරු වුවත්, ක්‍රිස්තියානි සේවකයෙකුට එය මතක තබා ගැනීමට මීට වඩා වැඩි අවශ්‍යතාවයක් ඇත. ඔහුගේ අරමුණ වන්නේ යෙහෝවඃ වහන්සේට වඩා සමීපවීමත්, තමාගේ සේවය උන් වහන්සේට ප්‍රශංසාවක් වන පරිදි දියුණු කිරීමත් ය.—ද්වි. 17:19.
2 බයිබලය සහ බයිබලය වටහා ගැනීමට අව්‍යාජ ලෙස සහාය වන්නා වූ ප්‍රකාශන ක්රිස්තියානිවරයෙකුගේ ප්‍රධාන කියවීම් ද්‍රව්‍ය වේ. සදාකාල ජීවනයට මඟ පෙන්වන්නේ බයිබලයේ අඩංගු දැනුම බව ඔහු දනී. කාර්ය සාධක සේවකයෙක් වීමට ඔහු ව සූදානම් කරන්නේ මෙම කියවීම ය, එමෙන් ම, දිව්‍යාණ්ඩු සේවා පාසලේ දී අප ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වන්නේ ද මෙම කියවීම ගැන ය.
3, 4. අප කියවන දේ සම්බන්ධයෙන් තේරීමක් කළ යුත්තේ මන්ද?
3 කියවීම මගින් අපගේ මනසට තොරතුරු ලබා ගැනීම, අපගේ ආමාශය තුළට ආහාර ගැනීමේ ක්‍රියාවට සමාන කළ හැක. මේ අවස්ථා දෙකේ දී ම අප තෝරා ගැනීමක් කළ යුතු ය. අනුභව කරන්නා තමාගේ බඩගින්න සංසිඳවා ගන්නා විට දී වුවද, ජීරණය කළ නොහැකි හෝ ශරීරයට කිසිඳු ප්‍රයෝජනයක් නැති හෝ ඊටත් වඩා භයානක ලෙස ඔහුට වහ විය හැකි හෝ දෙයක් ආමාශයට ගැනීම මෝඩකමකි. හොඳ ම ප්‍රතිඵල සඳහා ද දිගු කාලීන ප්‍රයෝජන සඳහා ද, අපේ ශරීරය විසින් ආහාර පහසුවෙන් ජීරණය කොට අවශෝෂණය කළ යුතු ය.
4 එබැවින්, අපේ කියවීම සම්බන්ධයෙන් ද තත්ත්වය එසේ ය. අප කියවන දේ සරල හෝ ගැඹුරු වුවත්, අප මනසට ඇතුල් කරන කරුණු පහසුවෙන් ජීරණය කළ යුතු අතර, අපේ මනසට කල්පවතින ප්‍රයෝජන ගෙන දෙන ඒවා ද විය යුතු ය. ඒ නිසා ආත්මික අජීරණයට හේතු වන්නා වූ අසත්‍ය, අදේව, අනාචාර දෙයින් අපේ මනස පෝෂණය කිරීම අනුවණ බව පැහැදිලි ය, එමනිසා එය ආත්මික අජීරණයකට ද හේතු විය හැක. (පිලි. 4:8) ඇරත්, සුලු වටිනාකමක් ඇති දේ කියවීමෙන් කාලය නාස්ති කරන්නේ මන්ද? අපි ආහාර තෝරා බේරා අනුභව කරන්නා සේ ම කියවන දේ සම්බන්ධයෙන් ද එසේ කළ යුත්තෙමු.
5, 6. පුද්ගලික කියවීම සඳහා විශේෂයෙන් කාලය වෙන් කිරීමට අපට අවශ්‍ය වන්නේ මන්ද, තව ද එවැනි කියවීම් කළ හැක්කේ කුමන අවස්ථාවල දී ද?
5 පුද්ගලික කියවීම සඳහා කාල සටහනක්. කියවීම සඳහා හරි ද්‍රව්‍ය තෝරා ගැනීමෙන් පසු ඔබ ඊළඟ පියවර ගත යුතුයි. මේ වනාහි ඔබගේ සුවිශේෂ ජීවන රටාවට ගැළපෙන විධියේ කාල සටහනක් සකස් කර ගැනීම ය. කියවීම සඳහා නියමිත දින හෝ සවස් කාලය හෝ වෙන් කිරීමට ඔබ අසමත් වුවහොත්, ඔබේ ප්රයත්නය අක්‍රමවත් මෙන් ම අසාර්ථක එකක් වනු ඇත.—ක්‍රියා 17:11.
6 කල්පනාකාරී කියවීම සඳහා ප්‍රමාණවත් කාලය මෙන් ම පරිශීලනය කරනු ලබන දෙය ගැන මෙනෙහි කිරීමට තුඩු දෙන විධියේ පරිසරයක් ද අවශ්‍ය ය. එහෙත්, කියවන සෑම වාරයක් ම මෙවැනි විස්තීර්ණ පාඩම් කාල පරිච්ඡේදයක් වීම අවශ්‍ය නැත. කියවීම සඳහා නිති පතා ඔබට විනාඩි දහයක් හෝ පහළොවක් වෙන් කළ හැකි නම්, ඔබට පියවිය හැකි ප්‍රමාණය ගැන ඔබ විස්මයට පත්වනු ඇත. සමහර පුද්ගලයන් මෙම කියවීම කරන්නේ අලුයම හෝ රෑ නින්දට යාමට පෙර ය. වෙනත් අය කියවන්නේ ලෞකික සේවා ස්ථානයට හෝ පාසලට හෝ මහජන ප්‍රවාහන මාධ්‍යය මගින් ගමන් කරන විට දී හෝ දිවා ආහාර විවේක කාලයේ දී ය. සෑම දවසක ම එක ආහාර වේලකින් පසු ව හෝ රාත්‍රී නින්දට යාමට විනාඩි පහක් හෝ දහයක් පවුලක් වශයෙන්, එකට කියවීම ඇතැම් නිවෙස්වල සිරිත ය. නිත්යතාවයෙන් යුක්ත ව සැමදා ම කියවීම යහපත් ප්‍රතිඵල නිපදවයි.
7. බයිබලය කියවීමේ දී අපගේ නිෂ්ටාව විය යුත්තේ කුමක් ද?
7 බයිබලය කියවීමට අවශ්‍ය කාලය ද ඔබගේ පෞද්ගලික කාල සටහනට ඇතුළත් විය යුතු ය. මුල් පිටුවේ සිට අවසාන පිටුව දක්වා බයිබලය කියවීම මහත් සේ වටිනා ක්‍රියාවකි. දින පතා හෝ සති පතා නිශ්චිත පරිච්ඡේද ගණනක් හෝ පිටු ගණනක් කියවීමෙන් මෙය ඉටු කළ හැකි ය. කෙසේ වුවත්, කියවීමේ දී, ඔබේ නිෂ්ටාව විය යුත්තේ, තෝරා ගත් දෙය කියවා නිම කිරීම නොව, මතක තබා ගැනීමේ අදහසින් එහි සමස්ත අදහස තමා වටහා ගැනීම ය. එහි පැවසෙන දෙය මෙනෙහි කිරීමට කාලය මිඩංගු කරන්න. බයිබලය කියවන විට ලබා ගත හැකි හොඳ ම ආත්මික ආහාරය ඔබ වළඳන බවට විශ්වාසය තැබිය හැක.
8, 9. අපේ කියවීම් වැඩසටහනට ප්‍රයෝජනවත් ලෙස ඇතුළත් කළ හැක්කේ වෙන කුමන ද්‍රව්‍ය ද?
8 මුරටැඹ පාඩමේ දී සහ වෙනත් සභා රැස්වීම්වල දී සාකච්ඡා කරනු ලබන කරුණු, සූදානම් වීමක් වශයෙන් කියවීමට කාලය අවශ්‍ය ය. රැස්වීම්වල දී පිළිතුරු දීමට මනසේ තබා ගැනීම හොඳ දෙයකි, නමුත් පිළිතුරු සෙවීම ඔබේ ප්‍රධාන අරමුණ කර නොගන්න. ඒ වෙනුවට ඔබ කියවන දේ වටහා ගැනීමටත්, එය ඔබේ ම ජීවිතය කෙරෙහි බලපාන ආකාරය ගැන සලකා බැලීමටත් වෑයම් කරන්න.
9 මීට අමතර ව, සභාවේ සති පතා සාකච්ඡා කරනු ලබන ලිපි හැරුණු විට, වෙනත් මුරටැඹ ලිපි ද තිබේ. පිබිදෙව්! සඟරාව ද ප්‍රයෝජනවත් තොරතුරු විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරයි. එමෙන් ම ඔබේ භාෂාවෙන් පිට වී ඇති සමිතියේ පැරණි ප්‍රකාශන ඔබ කියවා තිබේ ද? මේ දේවල් කියවීම සඳහා ඔබ ගත කරන කාලය අනුව ඔබට ආශීර්වාද ලැබෙනු ඇත. කෙනෙකුගේ ආත්මික වර්ධන වේගය විශාල වශයෙන් තීරණය වන්නේ කියවීමේ චර්යාවේ නිත්‍යතාවය සහ ගුණාත්මක භාවය මගින් ය.
10-17. අප කියවන දෙයින් වැඩි ප්‍රමාණයක් මතක තබා ගැනීමට උපකාර වන්නේ කුමන විධියේ පුරුදු ද?
10 මතකයට ආධාර. අප කියවන දෙයින් පූර්ණ ප්‍රයෝජනය ලැබීමට නම්, අප එය මතක තබා ගැනීම අවශ්‍ය ය. තමන්ගේ මතක ශක්තිය දුර්වල නිසා තමන් කියවන දේ අමතක වන බව බොහෝ විට මිනිස්සු කියති. එහෙත් බොහෝ අවස්ථාවල දී මෙය නුපුහුණු හෝ අක්‍රිය මතකයක ප්‍රතිඵලයක් විය හැක. අප කියවන දෙයින් උපරිම යහපත ලබා ගැනීමට වෑයම් කිරීම ප්‍රඥාවේ මඟයි. කියවන කරුණු ඉක්මනට අමතක වන්නේ නම්, එයින් ලැබිය හැකි යහපතෙන් බොහොමයක් අහිමි වනු ඇත. මතක තබා ගැනීම සඳහා කියවන්නේ කෙසේ දැයි අප ඉගෙන ගැනීම අවශ්‍ය ය. පළපුරුදු කියවන්නන් සඳහා හොඳින් ක්‍රියාත්මක වූ යෝජනා ගණනාවක් ඇත. ඒවා ඔබටත් උපකාර විය හැක.
11 ඔබ කියවන විට, පුද්ගලික වචන වෙනුවට වාක්‍ය ඛණ්ඩයක් හෝ වාග් සමූහයක් කියවීමට වෑයම් කරන්න. ඔබේ කියවීම වේගවත් කිරීමටත්, වචන සමඟ පොර බදිනවා වෙනුවට අදහස් ග්‍රහණය කර ගැනීමටත් මෙය ඔබට උපකාර කරනු ඇත. සාමාන්‍ය කියවීමක දී නම්, වචන උච්චාරණය කිරීමට හෝ තොල් සෙලවීමට හෝ අවශ්‍ය නැත, ප්‍රධාන කරුණක් සිතට කාවැද්දවීමට මිස, කියවන දේ නැවත කියවීම සිරිතක් කර නොගන්න. ගැඹුරු පැටලිලි සහිත කරුණු පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට නම්, ඔබේ කියවීමේ වේගය අඩු කළ යුතු ය. ඔබට ශබ්ද නගා හෝ හීන් හඬින් කියවීමට පවා අවශ්‍ය විය හැක. (ගීතා. 1:2) නිදසුනක් වශයෙන්, ගීතාවලිය සහ හිතෝපදේශ ලියන ලද්දේ වේගවත් කියවීම සඳහා නොව, භාවනාව සඳහා ය.—ගීතා. 77:11, 12.
12 ඔබ කියවන විට පැන්සලක් අතැති ව ප්‍රධාන වචන යටින් ඉරි ඇඳීම සහ ඔබ නැවත කියවීමට අවශ්‍ය විශේෂ කරුණු සටහන් කර ගැනීම ද උදව්වකි. ඉරි ඇඳීම කළ යුත්තේ මසුරු ලෙස ය, එය ප්‍රමාණය ඉක්මවා කළහොත් ප්‍රධාන අදහස් වෙන් කර ගැනීමේ අරමුණ පරාජය වෙයි. විශේෂයෙන් වටිනා පැහැදිලි කිරීමක් හෝ ගෙයින් ගෙට සේවයේ මුණ ගැසෙන පොදු විරුද්ධකමක් හෝ බිඳ හෙළිය හැකි තර්කයක් ඔබට සම්බ වූ විට අදාළ පිටුව සහ ඡේදය, පොතේ අවසානයේ සටහන් කර තැබීම උදව්වක් වනු ඇත. එවිට අවශ්‍ය වූ විට එය ඉක්මනින් සොයා ගත හැක. එහෙත්, පොතක් ඔබට ම පුද්ගලික ලෙස අයිති නොවේ නම්, කිසි විටෙක එහි ලකුණු නොකරන්න.
13 ඇත්ත වශයෙන් ම, ඔබට කැපී පෙනෙන කරුණු මතක තබා ගැනීමට අවශ්‍ය නම්, විරාමය, මෙනෙහි කිරීම, මාතෘකාව පිළිබඳ ව ඔබ දැනටමත් දන්නා කරුණු සමඟ තොරතුරු සන්සන්දනය කිරීම ආදියෙන් තොර ව ලිපියක් හෝ පොතක් කියවීමෙන් පලක් නැත. ඉදිරිපත් කර ඇති නිගමනයන් සනාථ කිරීමට දී ඇති හේතු සටහන් කර ගනිමින් විග්රහ පූර්වක ව කියවීමට ඉගෙන ගන්න. එමෙන් ම, ඔබේ ජීවිතයට අදාළ වන සහ දෛනික ජීවිතයට මඟ පෙන්වන ප්‍රතිපත්ති සටහන් කර ගැනීමට වග බලා ගන්න. ඒවා ඔබට අදාළ කර ගත හැක්කේ කෙසේ දැයි මදක් නැවතී සලකා බලන්න.
14 සමිතියේ වෙළුම් පොත්වලින් එකක් ගැඹුරු ලෙස කියවන විට, මාතෘකාව සහ පටුනේ තර්කානුකූල අනුපිළිවෙළ ප්‍රථමයෙන් සලකා බැලීම, බොහෝ විට සමස්ත තේමාව ඔබේ මනසට කාවැද්ද වීමට උපකාරී වනු ඇත. ඔබ සඟරාවක ලිපියක් හෝ පොතක පරිච්ඡේදයක් කියවීමට සූදානම් වන විට, ප්‍රථමයෙන් විවිධ අනුමාතෘකා දෙස බලන්න. තේමාව වර්ධනය කොට ඇති අනුපිළිවෙළ මේවා පෙන්වයි. මාතෘකා වාක්‍යය සටහන් කර ගැනීමට සුපරීක්ෂාකාරී වන්න, මේවා සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ ඡේදයේ මුල දී ය. ඡේදයේ අඩංගු වී ඇත්තේ කුමක් දැයි මේවා බොහෝ විට කියයි. ඔබ කියවන විෂය පිළිබඳ සමස්ත දෘෂ්ටියක් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න.
15 මතකයට උපකාරයක් වශයෙන්, ඔබ කියවන දෑ පිළිබඳ මනෝරූප මවා ගැනීම තවත් යෝජනාවකි. ඔබේ මනසින් චරිතයන් සහ පසුබිම දකින්න, ශබ්දවලට සහ කට හඬට ඇහුම් කන් දෙන්න, ගඳ සුවඳ ආඝ්‍රාණය කරන්න, කෑම බීම රස බලන්න, තත්ත්වයක සතුට හෝ දුක බෙදා ගන්න. විස්තර කරනු ලබන ජවනිකාවට ප්‍රවිෂ්ට වීමට වෑයම් කරන්න. බයිබල් වාර්තාව පැහැදිලි ලෙස මනසේ මවා දැක්වීමට, සෑම ඉන්ද්‍රියක් ම උපයෝගි කර ගත හැක. මේ ආකාරයට බයිබල් ඉතිහාසයේ කොටස් පහසුවෙන් මනසට කාවැද්ද විය හැක.
16 ඔබ පරිච්ඡේදයක් කියවා අවසන් කළ විට එය අන්තිම වරටත් කෙටියෙන් මනසින් පුනරීක්ෂණය කරන්න. ඉන් පසු ඔබගේ මනෝ සටහන ලිඛිත කරුණු සමඟ නැවත සන්සන්දනය කරන්න.
17 ඔබ කිය වූ කරුණු, හැකි නම් වෙනත් කෙනෙක් සමඟ සාකච්ඡා කරන්න, මෙසේ කළ යුත්තේ ඒවා තවමත් ඔබේ මනසේ අලුත් පිට තිබිය දී ය. ඔබ මේවා ප්‍රකාශ කිරීම ඔබේ මතකය ප්‍රබල කරන අතර අදාළ විෂය පිළිබඳ ඔබේ දැනුම් සම්භාරයට අලුතෙන් යමක් එකතු කිරීමට අනික් තැනැත්තාට පුළුවන් විය හැක. ක්ෂේත්‍ර සේවයේ භාවිතා කළ හැකි ප්‍රායෝගික කරුණු ඔබට සම්බ වුවහොත් හැකි තරම් ඉක්මනින් ඒවා දේශනා සේවයෙහි උපයෝගි කරන්න. මෙය ද එම කරුණු මතකයේ ධාරණය කර ගැනීමට උපකාර වෙයි.
18-20. හොඳින් කියවීමට ඉගෙන ගැනීම එතරම් වැදගත් වන්නේ මන්ද?
18 කාර්ය සාධක කියවීමේ වටිනාකම. කියවීම අපගේ ජීවිත කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරයි. අප කරන වැඩ, වර්ධනය කරන කුසලතා, අපේ ජීවිතය භුක්ති විඳීම, අපගේ ආත්මික වර්ධනය යන සියල්ලක් ම අපේ කියවීමේ හැකියාවට සම්බන්ධ ය. මෙම හැකියාව නැත්නම්, ඉගෙන ගැනීමේ සහ අද්දැකීම් ලැබීමේ රසවත්කම අපට බෙහෙවින් අහිමි වනු ඇත. ගෙදර දී ක්‍රියාත්මක වන ක්රමානුකූල කියවීම් වැඩසටහනක් මගින් දරුවන් තුළ මෙම හැකියාව දියුණු කිරීමට දෙමව්පියන්ට හැකි වනු ඇත. ශබ්ද නගා කියවන ලෙස ඔවුන්ට විටින් විට ආරාධනා කළ හැක, නිදසුනක් වශයෙන්, දින පතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම නමැති පොත් පිංචයෙන් දවස සඳහා නියමිත පදය හා විස්තර මේ සඳහා උපයෝගි කළ හැක. ඔබ ව්‍යක්ත ලෙස කියවන්නෙක් නොවේ නම්, දින පතා විනාඩි පහළොවක හෝ තිහක පමණ කාලය පුහුණු වීම සඳහා ගත කිරීම හොඳ ය. මාස ස්වල්පයකින් ඔබට සතුටු දායක ප්‍රතිඵල අද්දැකිය හැක.
19 හොඳ කියවීම් සිරිත්, කියවීම සහ පර්යේෂණ සඳහා නිශ්චිත කාල සටහනක් මෙන් ම මෙහි කෙටියෙන් දක්වා ඇති විවිධ යෝජනා භාවිතා කිරීම ඔබේ සේවා හැකියාව විශාල ලෙස දියුණු කරනු ඇත. ඔබට දෙවියන් වහන්සේගේ වටිනා වචනවලින් වැඩි හරියක් මතක තබා ගත හැකි වේ, එවිට ඒවා ඔබේ ජීවිතයටත් සේවයටත් යොදා ගත හැක. මෙහි ඉදිරිපත් කොට ඇති කරුණු අනුව ක්‍රියා කිරීමෙන් වයෝ වෘද්ධ පුද්ගලයන්ට පවා තමන්ගේ මතක ශක්තිය දියුණු කර ගත හැක. ප්‍රයෝජන ලැබීමට තමා මහලු වැඩි යයි කිසිවෙක් නොසිතිය යුතු ය.
20 දෙවියන් වහන්සේ විසින් ස්වකීය උදාර අරමුණු පොතක ලියා තැබීමේ හේතුව වූයේ උන් වහන්සේගේ ආශ්චර්යවත් ක්‍රියා මනුෂ්‍ය පුත්‍රයන්ට දැනගැනීමට සලස්වා, දිගු කලක් ඔවුන් විසින් මතක තබා ගන්නා පිණිස ය. (ගීතා. 78:5-7) මේ සම්බන්ධයෙන්, උන් වහන්සේගේ ත්‍යාගශීලීවන්තකම සඳහා අගය කිරීම පෙන්විය හැකි හොඳ ම ක්‍රමය නම්, අප එම ජීවන-දායක වචන අනලස ව කියවා මතක තබා ගැනීමෙනි.