32 පාඩම
අර්ථය අවධාරණය කිරීම සහ කට හඬ පාලනය
1, 2. අර්ථය අවධාරණය කථාවකට ඉටු කරන්නේ කුමක් ද?
1 කථාවක් අර්ථවත් කිරීමට සහ අලංකාර කිරීමට අර්ථය අවධාරණය සහ කට හඬ පාලනය එක් ව ක්‍රියා කරයි. මෙම ගුණාංග නැති වූ විට, සිතුවිලි විකෘති වන අතර උනන්දුව හීන වෙයි. සාමාන්‍යයෙන් මේ දෙකෙන් පහසුවෙන් ඉගෙන ගත හැකි වන්නේ අර්ථය අවධාරණය කිරීම නිසා, අපි ප්‍රථමයෙන් එයට අවධානය යොමු කරමු.
2 අර්ථය අවධාරණයෙන් ඉටු කිරීමට යන්නේ කුමක් දැයි සිහියේ තබා ගන්න. අර්ථය නිවැරදි ලෙස ප්‍රකාශ වන අන්දමට වචන සහ සිතුවිලි අවධාරණය කිරීමත් ශ්‍රාවකයන්ට ඒවායේ සාපේක්ෂක වැදගත්කම පෙන්වා දීමත් ය. සමහර විට බර කොට හෝ සැහැල්ලු කොට කීමෙන් පමණක් ම, අර්ථය අවධාරණය කළ හැක, නමුත් මීට වඩා සියුම් ප්රභේදයන් අවශ්‍ය වන අවස්ථා ද ඇත.
3-7. කෙනෙකුට හොඳ අර්ථ අවධාරණය ලබා ගත හැක්කේ කෙසේ දැයි කියන්න.
3 වගන්තිවල සිතුවිලි ප්‍රකාශ කරන වචන අවධාරණය කිරීම. මූලික වශයෙන් අර්ථය කාවැද්දීම යනු කුමන වචන අවධාරණය කළ යුතු ද යන කාරණයයි. මෙයට සම්බන්ධ වන්නේ සිතුවිලි ප්‍රකාශ කරන වචන හඳුනා ගෙන ඒවා සුදුසු ලෙස අවධාරණය කිරීමෙන් හෝ බර කොට කීමෙන් අවට තිබෙන වචනවලින් ඒවා කැපී පෙනෙන්නට සැලැස්වීමයි. සිතුවිල්ල ප්‍රකාශ කරන වචන වෙනුවට වෙනත් වචන අවධාරණය කිරීමෙන් අර්ථය අපැහැදිලි හෝ විකෘති වනු ඇත.
4 සාමාන්‍යයෙන්, බොහෝ පුද්ගලයෝ එදිනෙදා කථාවේ දී අර්ථය පැහැදිලි වන විධියට කථා කරති. නිපාත පද අවධාරණය කිරීම වැනි සුවිශේෂ පුරුද්දක් ඔබට නැත්නම්, මේ කාරණය විශේෂ ගැටලුවක් නොවේ. අවධාරණය පිළිබඳ එවැනි කැපී පෙනෙන දුර්වලකම් සාමාන්‍යයෙන් එවැනි පුරුද්දක විශේෂ ප්රතිඵලයකි. ඔබේ ගැටලුව එය නම්, එය නැති කර ගැනීමට කඩිසර ලෙස වැඩ කරන්න. සාමාන්‍යයෙන් මෙවැනි පුරුදු කථාවකින් හෝ දෙකකින් නැති කළ නොහැක. එනිසා ඔබේ අර්ථය විකෘති වන තරමට ම ඔබේ වැරදි අවධාරණය කැපී නොපෙනෙන්නේ නම්, ඔබේ උපදේශකයා ඔබ ව නොවළක්වනු ඇත. එනමුත් ඉතා ප්‍රබල සහ සඵල කථාවක් කිරීම සඳහා, සුදුසු ලෙස අවධාරණය කිරීම සම්පූර්ණයෙන් ඉගෙන ගන්නා තෙක් එම ගුණාංගය පුහුණු වන්න.
5 සාමාන්‍යයෙන් හිටිවන කථාවක් පිළියෙළ කරද්දී අර්ථය කාවැද්දීමට දක්වන සැලකිල්ලට වඩා ප්‍රසිද්ධ කියවීම සඳහා සූදානම් කිරීමේ දී ඒ ගැන කල්පනා කළ යුතු ය. කථාවක ශුද්ධ ලියවිලි කියවන විට දී ද සභාවේ මුරටැඹ පාඩමේ ඡේද කියවන විට දී ද මෙය සැබෑ ය. කියවන විට දී අර්ථය කාවැද්දීම ගැන වැඩියෙන් අවධානය යොමු කිරීමට හේතුව අප කියවන කරුණු වෙනත් කෙනෙක් විසින් ලියනු ලැබීම ය. ඒ නිසා ස්වාභාවික අන්දමින් කියවීමට හැකි වන තෙක්, එහි අදහස විග්රහ කරමින් ප්‍රකාශ නැවත නැවත කීමෙන් එය ප්‍රවේසමෙන් අධ්‍යයනය කළ යුතු ය.
6 අර්ථය අවධාරණය කරනු ලබන්නේ කෙසේ ද? ක්‍රම කිහිපයක් ඇත, බොහෝ විට මේවා සංයෝජනය කිරීමෙන් භාවිතා කරනු ලැබේ: ශබ්දය වැඩි කිරීම, හැඟීම වඩා තියුණු කිරීම, තානය අඩු කිරීම, තාරතාවය වැඩි කිරීම, නොඉක්මන් සැලකිලිමත් ප්‍රකාශය, වේගය වැඩි කිරීම, කියමනකට කලින් හෝ පසු ව හෝ (අවස්ථා දෙකෙහි ම හෝ) විරාමය ඇති කිරීම, අභිනය හා මුහුණේ ඉරියව් මේවායින් සමහරකි.
7 ප්‍රථමයෙන්, ඔබ ප්‍රධාන කොට සැලකිලිමත් විය යුත්තේ ප්රමුඛ වචන කැපී පෙනෙන අන්දමට සුදුසු ප්‍රමාණයෙන් අවධාරණය කිරීමයි. ඒ නිසා ඔබ කරුණු සූදානම් කරන විට, කියවන්නට යන ප්‍රධාන වචනවලට යටින් ඉරි අඳින්න. ඔබ හිටිවන ලෙස කථා කරන්නට යන්නේ නම්, සිතුවිලි මනා සේ පැහැදිලි කර ගන්න. ඔබේ සටහන්වල සඳහන් ප්‍රධාන වචන භාවිතා කරමින් ඒවා අවධාරණය කරන්න.
8, 9. ප්‍රධාන අදහස් අවධාරණය කිරීම වැදගත් වන්නේ මන්ද?
8 කථාවක ප්‍රධාන අදහස් අවධාරණය කිරීම. මෙය වනාහි අර්ථ අවධාරණය සම්බන්ධ ව බොහෝ විට දක්නට ලැබෙන දුර්වලකමකි. එවිට කථාවක උච්චාවස්ථා නොමැති වෙයි. අනෙක් සියලු දෙයට වඩා කිසිවක් කැපී නොපෙනේ. කථාව අවසානයේ දී කැපී පෙනෙන කිසිවක් මතක තබා ගැනීමට බොහෝ විට නොහැකි වනු ඇත. ප්‍රධාන කරුණු කැපී පෙනෙන අන්දමට සුදුසු ලෙස සූදානම් කරනු ලැබුවත්, ඉදිරිපත් කිරීමේ දී ඒවා උචිත ලෙස අවධාරණය කිරීමට අසමත්වීමෙන් එය ව්‍යාකූල වන තරමට ඒවා දුර්වල විය හැක.
9 මෙම ගැටලුව විසඳීමට නම්, ප්‍රථමයෙන් ඔබ ඔබේ කරුණු සුපරීක්ෂාකාරී ලෙස විග්රහ කළ යුතු ය. කථාවේ වැදගත් ම කරුණ කුමක් ද? ඊළඟට වැදගත් ම කරුණ කුමක් ද? කථාවේ සාරාංශය වගන්තියකින් හෝ දෙකකින් ප්‍රකාශ කරන ලෙස ඔබට කියනු ලැබුවහොත් ඔබ කියන්නේ කුමක් ද? එය ප්‍රධාන කරුණු හඳුනා ගැනීමේ හොඳ ම ක්‍රමවලින් එකකි. මේවා දැනගැනීමෙන් පසු ඔබේ සටහන්වල හෝ අත් පිටපතේ ලකුණු කරගන්න. දැන් ඔබට මේ කරුණු උච්චාවස්ථාවකට පත් වන විධියට කථාව වර්ධනය කළ හැක. මේවා ඔබේ කථාවේ උච්චාවස්ථා ය, තව ද මේවා හොඳින් සටහන් කර ගෙන අවධාරණයේ ප්‍රබල ප්‍රමාණයන්ගෙන් යුක්ත ව ඉදිරිපත් කරනු ලබන්නේ නම්, ප්‍රධාන අදහස් මතක තබා ගනු ලැබේ. කථා කිරීමේ දී ඔබේ අරමුණ ද එයයි.
**********
10-12. කට හඬ පාලනය යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි පැහැදිලි කරන්න.
10 ඔබ කියන දේ වටහා ගැනීමට සරල අර්ථ අවධාරණය සභාවට උපකාරී වෙයි, නමුත් කට හඬ පාලනය, ඉදිරිපත් කරන අවධාරණයේ විවිධත්වය ඔබට සවන් දීම ප්‍රිය මනාප කරයි. ක්ෂේත්‍ර සේවයේ දී ද, සභාවට කථා ඉදිරිපත් කිරීමට ඔබට වරප්‍රසාදයක් ලැබූ විට දී ද ඔබ කට හඬ පාලනය උපයෝගි කරන්නෙහි ද?
11 කට හඬ පාලනය යනු කථිකයා හැටියට ඔබේ ප්රගතිශීලී සිතුවිලි සහ චිත්ත වේගයන් වෙන ආකාරයකට පෙන්වීමටත් උනන්දුව රඳවා ගැනීමටත් විටින් විට තාරතාවය, [pitch] වේගය, [pace] සහ විපුලතාවය [power] වෙනස් කිරීමයි. ඔබ ඒවා සම්පූර්ණයෙන් ඉටු කර ගැනීමට නම් යම් සුවිශේෂ කථාවක කරුණුවලින් ඉඩ සැලසෙන පරිදි ඔබේ කට හඬ පාලනයට සම්පූර්ණ වර්ණ පරාසය ඇතුළත් විය යුතු ය. හඬ පාලනයේ ඉහළ පරාසයෙහි අඩුවන ප්‍රමාණයෙන් උද්දීපනය, උද්යෝගය සහ දැඩි උනන්දුව ඔබට ප්‍රකාශ කළ හැක. මධ්‍යම පරාසයෙන් සාමාන්‍ය උනන්දුව ප්‍රකාශ කළ හැකි අතර, බරපතළකම සහ ගම්භීරත්වය ප්‍රකාශ කිරීමට පහළ පරාසය ඉතා හොඳ ය.
12 කිසිඳු අවස්ථාවක දී ඔබ අන්තවාදී ප්‍රකාශ මගින් නාට්‍ය විලාසයක් පෙන්වීමට වෑයම් නොකළ යුතු ය. අපේ කථාව වර්ණවත් විය යුතු අතර, සම්මත පූජකයන්ගේ භක්තිවන්ත ගම්භීරත්වය හෝ කූඩාරම්-රැස්වීම පවත්වන ධර්ම ප්‍රචාරකයන්ගේ මායා රෝගී බිහිසුණු ස්වභාවය නොදැරිය යුතු ය. එවැනි ක්‍රිස්තියානි නොවන ප්‍රදර්ශනවලින් වැළකීමට රාජ්‍යයේ ශුභාරංචියට දක්වන සුදුසු අභිමානය සහ ගෞරවය හේතු වෙයි.
13, 14. විපුලතාවයේ විවිධත්වයෙන් අදහස් වන්නේ කුමක් ද?
13 විපුලතාවයේ විවිධත්වය. සමහර විට ඔබේ කට හඬේ විපුලතාවය වෙනස් කිරීම කට හඬ පාලනය ලබා ගැනීමේ සරල ක්‍රමය විය හැක. මෙය ඔබේ කථාවේ උච්චාවස්ථා ගොඩ නැගීමේ සහ ප්‍රධාන කරුණු අවධාරණය කිරීමේ එක් ක්රමයකි. කෙසේ වුවත්, ඔබේ කට හඬේ ශබ්දය වැඩි කිරීමෙන් පමණක් ප්‍රධාන කරුණු ඉස්මතු කළ නොහැක. සමහර අවස්ථාවල දී ඒවා කැපී පෙනුණත්, ඒවා ඉදිරිපත් කිරීමට යොදන අමතර බලය ඔබේ අරමුණ පරාජය කළ හැක. සමහර විට ඔබේ කරුණු සඳහා අවශ්‍ය වන්නේ උණුසුම සහ හැඟීම් බර වීම මිස ප්‍රාණවත් කට හඬක් නොවේ. මෙවැනි අවස්ථාවක දී ඔබේ කට හඬ අඩු කොට වේගවත් භාවය වැඩි කරන්න. කාන්සාව හෝ භය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ද මෙය සැබෑ ය.
14 කට හඬ පාලනය සඳහා විපුලතාවයේ විවිධත්වය අත්‍යවශ්‍ය වන නමුත්, සමහරුන්ට නෑසෙන තරමට ම පහත් හඬින් කථා නොකිරීමට ප්‍රවේසම් විය යුතු ය. එමෙන් ම අමිහිරිකම ඇති වන තරමට ශබ්දය වැඩි නොකළ යුතු ය.
15-17. වේගයේ විවිධත්වය කථාවක් උසස් කරන්නේ කෙසේ ද?
15 වේගයේ විවිධත්වය. වේදිකාවේ දී තමන්ගේ වේගය වෙනස් කරන ආධුනික කථිකයන් සිටින්නේ ස්වල්ප දෙනෙකි. අප අපේ දෛනික කථා බහේ දී අප සිතන විගස හෝ අපට අවශ්‍ය වූ විගස වචන ඉබේ ම ගලා එන නිසා, අපි එසේ කරමු. එහෙත් වේදිකාවට යන ආධුනික කථිකයා මෙසේ කිරීමට තමාට ම ඉඩ නොදෙයි. ඔහු තමාගේ වචන සහ වාක්‍ය ඛණ්ඩ ප්‍රමාණයට වඩා සුපරීක්ෂාකාරී ලෙස සූදානම් කරන නිසා, ඔහුගේ වාග් ප්‍රවාහය එක ම වේගයෙන් ගලා එයි. කටු සටහනක ආධාරයෙන් කථා කිරීම මෙම දුර්වලකම නිවැරදි කිරීමට සහාය වෙයි.
16 ඔබේ කථාව මධ්‍යස්ථ වේගයකින් පැවැත්විය යුතු ය. සුළු කරුණු, විස්තර කිරීම්, බොහෝ උපහැරණ යනාදිය වේගයකින් කිව හැකි ය, බැරෑරුම් තර්ක, උච්චාවස්ථා සහ ප්‍රධාන කරුණු සාමාන්‍යයෙන් නොඉක්මන් වේගයකින් ඉදිරිපත් කරනු ලැබේ. ඇතැම් අවස්ථාවල දී, විශේෂයෙන් ප්‍රබල අවධාරණය සඳහා නොඉක්මන් කල්පනාකාරී අවධාරණය අවශ්‍ය ය. විරාමයක් තුළින් සම්පූර්ණයෙන් ම ඔබට නැවතීමට ද පුළුවන, මෙය වේගයේ සම්පූර්ණ මාරුවකි.
17 අවවාද වදන් ස්වල්පයක්. කිසි විටෙකත් ඔබගේ වාග් ව්‍යවහාරයට හානි වන වේගයකින් කථා නොකරන්න. පෞද්ගලික කියවීම් පුහුණු වාරවල දී උපයෝගි කළ හැකි ඉතා හොඳ අභ්‍යාසයක් නම්, ඡේදයක් තෝරා ගෙන ඔබට එය නොපැකිල ව කියවිය හැකි උපරිම වේගයෙන් කියවන්න. ඉන් පසු පැකිලීමක් හෝ උච්චාරණයට අවහිර වීමක් හෝ නැති ව ක්‍රමයෙන් වේගය වැඩි කරමින් එම ඡේදය නැවත නැවත කියවන්න. ඉක්බිති ව වචන කප්පාදු නොකොට ස්-ව-ර දි-ක් ගස්-ස-මි-න් හැකි තරම් සෙමින් කියවන්න. අවසානයේ දී ඔබේ කට හඬ ඔබට අවශ්‍ය තරම් නම්ය වන තුරු මාරුවෙන් මාරුවට හා විටින් විට වේගයෙන් සහ සෙමින් කියවන්න. දැන් ඔබ කථා කරන විට ඔබ කියන දෙයෙහි අර්ථයට එකඟ ව ඔබේ කථන වේගය ඉබේ ම වෙනස් වනු ඇත.
18-20. කෙනෙකුට තාරතාවේ විවිධත්වය අත්කර ගත හැක්කේ කෙසේ දැයි පැහැදිලි කරන්න.
18 තාරතාවේ විවිධත්වය. කිසියම් ප්‍රමාණයක කට හඬ පාලනයක් ඇති කිරීමේ දුෂ්කර ම ක්‍රමය තාරතාවේ විවිධත්වය විය හැක. ඇත්ත වශයෙන් ම, තාරතාවය මදක් වැඩි කරනවාත් සමඟ බොහෝදුරට විපුලතාවය ද මදක් වැඩි කිරීමෙන් අපි නිතර ම වාගේ වචන අවධාරණය කරමු. අප අවශ්‍ය වචනයට යම් අනුබලයක් දෙනවා හා සමාන ය.
19 එහෙත් කට හඬ පාලනයේ මේ අංශයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට නම්, මීට වඩා තාරතාව වෙනස් කිරීමක් අවශ්‍ය වේ. උත්පත්ති 18:3-8 සහ 19:6-9 දක්වා කියවීමට වෑයම් කරන්න. මේ වගන්ති කියවීමට අවශ්‍ය තාරතාවය සහ වේගය ගැන සැලකිලිමත් වන්න. කනගාටුවට හෝ කාන්සාවට වඩා කලබලය සහ උද්යෝගය ඉහළ තාරතාවයකින් ප්‍රකාශ වේ. මෙම චිත්ත වේගයන් ඔබේ කරුණුවල අඩංගු වන විට, ඒවා නිසි ලෙස ප්‍රකාශ කරන්න.
20 කට හඬේ පරාසය ප්‍රමාණවත් නොවීම කථනයේ මෙම අංගය දුර්වල වීමට ප්‍රධාන හේතුවලින් එකකි. ඔබේ ගැටලුව එය නම්, එය නැති කර ගැනීමට වැඩ කරන්න. මෙම පාඩමේ කලින් යෝජනා කරන ලද අභ්‍යාසයට සමාන අභ්‍යාසයක් කරන්න. එහෙත් මේ අවස්ථාවේ දී වේගය වෙනස් කරනවා වෙනුවට, තාරතාවය උස් පහත් කිරීමට පුහුණු වන්න.
21-24. කට හඬ පාලනය සිතුවිල්ල හෝ චිත්ත වේගය සමඟ ගැළපිය යුත්තේ මන්ද?
21 සිතුවිල්ල හෝ චිත්ත වේගයට සුදුසු කට හඬ පාලනය. හුදෙක් විවිධත්වය ලබා ගැනීම සඳහා ම කට හඬ වෙනස් කළ නොහැකි බව අප මෙම ගුණාංගය පිළිබඳ ව මෙතෙක් කළ සාකච්ඡාවෙන් පැහැදිලි වෙයි. ඔබේ ප්‍රකාශ ඔබ කියන දේවල මනෝ භාවය සමඟ ගැළපිය යුතු ය. එසේ නම්, කට හඬ පාලනය ආරම්භ වන්නේ කොතැනින් ද? පැහැදලි ව ම එය ආරම්භ වන්නේ ඉදිරිපත් කිරීමට ඔබ සූදානම් කර තිබෙන කරුණුවලින් ය. ඔබේ කථාව තර්කවලින් පමණක් හෝ අනුශාසනාවලින් පමණක් හෝ යුක්ත නම්, ඔබේ ඉදිරිපත් කිරීමට තිබෙනුයේ ඉතා අල්ප විවිධත්වයකි. ඒ නිසා කටු සටහන සූදානම් කිරීමෙන් පසු, එය විග්රහ කර බලා වර්ණවත් සහ අර්ථවත් කථාවකට අවශ්‍ය සියලු ම අංග ඇතුළත් ව තිබෙන බවට වග බලා ගන්න.
22 එහෙත් සමහර විට කථාවක මැද දී වේගයේ වෙනසක් අවශ්‍ය බව ඔබට හැඟෙන්නට පුළුවන. ඔබේ කථාව මන්දගාමී භාවයකින් යුතු බවක් ඔබට හැඟෙයි. ඔබට කුමක් කළ හැකි ද? මෙහි දී ද හිටිවන කථාව ප්‍රයෝජනවත් ය. ඔබ කථාව කර ගෙන යන අතර ඔබේ කරුණුවල ස්වභාවය වෙනස් කළ හැක. ඒ කෙසේ ද? එක් ක්‍රමයක් නම්, කථාව නවත්වා බයිබලයෙන් පාඨයක් කියවීමට පටන් ගැනීමයි. එසේ නැත්නම් ඔබේ ප්‍රකාශය අවධාරණය කිරීම සඳහා විරාමයකින් යුක්ත ප්‍රශ්නයක් බවට පරිවර්තනය කිරීමයි. සමහර විට ඔබට උපහැරණයක් ඇතුළත් කළ හැක. ඔබට එය ඔබේ කටු සටහනේ සඳහන් තර්කයට සකස් කිරීමක් කර ගත හැක.
23 සැබවින් ම මේ ශිල්ප පළපුරුදු කථිකයන් සඳහා ය, එහෙත් ඔබේ පැවරුම සඳහා කලින් සූදානම් වෙද්දී, මෙම අදහස් ඔබට යොදා ගත හැක.
24 කට හඬ පාලනය කථාවක රස කාරකය වන බව කියනු ලැබේ. හරි වර්ගය හරි ප්‍රමාණයෙන් යෙදූ විට ඔබේ කරුණුවල සම්පූර්ණ රසය ඉස්මතු වන අතර, එය ශ්‍රාවකයන්ට ප්‍රීතියක් ද ලබා දෙනු ඇත.