පරිච්ඡේද 14
සදාකාල අනාගතයක් සඳහා පවුලක් වශයෙන් ගොඩනැංවීම
1. පවුල් සන්තෝෂයට අත හිත දී, අනාගතය ගැන කල්පනා කිරීම හොඳ දෙයක් වන්නේ මක්නිසා ද?
කාලය ඉදිරියට ඇදී යයි. අතීතය පිළිබඳ ව බොහෝ හොඳ මතකයන් අපට තිබෙන්නට පුළුවන. එහෙත් අපට අතීතයෙහි ජීවත් විය නොහැක. අප අතීතයේ කළ ප්‍රමාද දෝෂයන් ඇතුළු ව, අපට අතීතයෙන් ඉගෙන ගත හැකි නමුත් අපට ජීවත් විය හැක්කේ වර්තමානයේ පමණ ය. තව ද පවුලක් වර්තමානයෙහි හොඳින් ජීවත් වෙතත්, වර්තමානය වනාහි මොහොතක් පමණය යන කාරණයට මුහුණ පෑ යුතු ය; අද දවස ඉක්මණින් ඊයේ දවසට පත් වෙයි. තව ද වර්තමානය ඉක්මණින් අතීතය බවට පත් වෙයි. එබැවින්, අප අනාගතය දෙස බලමින්, ඒ සඳහා සූදානම් වෙමින්, ඒ සඳහා සැලැස්මක් පිළියෙළ කරමින් සිටීම, පවුල් සන්තෝෂයට ඉතා අත්‍යවශ්‍ය ය. අප සඳහාත් අපට කිට්ටුවෙන් සිටින්නා වූ අය සඳහාත් එය කුමක් වනු ඇත් ද යන්න විශාල ප්‍රමාණයකට රඳා පවතින්නේ අප දැන් ගන්නා වූ තීරණ මත ය.
2. (අ) අනාගතය ගැන සිතීමට බොහෝ අයට වුවමනා නැත්තේ මක්නිසා ද? (ආ) සන්තෝෂවත් අනාගතයක් අප ආශා කරන්නේ නම්, අප ඇහුම් කන් දිය යුත්තේ කවරෙකුට ද?
2 තිබෙන්නා වූ අපේක්ෂාවන් මොනවා ද? මනුෂ්‍ය වර්ගයාගෙන් වැඩි දෙනෙකු සඳහා, අනාගතය කෙරෙහි ඔවුන්ට ඇත්තා වූ කල්පනාවන් බොහෝ විට සීමා වී ඇත්තේ කෙටි අවුරුදු කිහිපයකට පමණි. ඔවුන්ට දැකිය හැකි සියල්ල ප්‍රිය නොවන අවසානයක්, එනම් මරණය මගින් පවුල් කවය බිඳී යන බවක් පෙනෙන නිසා, අනාගතය දෙස වැඩි දුර බැලීමට බොහෝ අය අකැමැති වෙති. බොහෝ දෙනෙකුට ඔවුන්ගේ සන්තෝෂවත් නිමේෂයන්, ජීවිතයේ කාන්සා මගින් ඉක්මණින් යටපත් වේ. “ස්වර්ගයෙහිද පොළොවෙහිද ඒ ඒ ගෝත්‍රයට [පවුලට NW] නම් දෙන්නාවූ” තැනැන් වහන්සේට ඇහුම් කන් දීමෙන්, ජීවිතයට මීට වඩා බොහෝ අර්ථයක් තිබිය හැක.—එපීස 3:14, 15.
3. (අ) පළමු මනුෂ්‍යයන් ඉදිරිපිට දෙවියන් වහන්සේ තැබුවේ කුමන අපේක්ෂාවන් ද? (ආ) කාරණා වෙනස් අතට හැරුණේ මක්නිසා ද?
3 පළමු මනුෂ්‍ය යුවළ මවනු ලැබූ විට, ඔවුන් සහ ඔවුන්ගේ අනාගත දරුවන් කරදර සහිත වූ අවුරුදු කිහිපයක් පමණක් ජීවත් වී, ඊට පසු මිය යාම, දෙවියන් වහන්සේගේ අරමුණ නොවී ය. උන් වහන්සේ ඔවුන්ට පාරාදීස නිවාසයක් දුන් අතර, අවසාන නොවන්නා වූ ජීවිතයක බලාපොරොත්තුව ඔවුන් ඉදිරියෙහි තැබූ සේක. (උත්පත්ති 2:7-9, 15-17) ඔවුන්ගේ ජීවිත රඳා පැවතුණා වූ තැනැන් වහන්සේ වන, දෙවියන් වහන්සේගේ නීතිය වුවමනාවෙන් ම කඩ කිරීම මගින් ඔවුහු තමන්ටත් තම පැවත එන්නන් සඳහාත් එම බලාපොරොත්තුව නැති කර ගත්හ. මේ ආකාරයට බයිබලය එය විස්තර කරයි: “එක් මනුෂ්‍යයෙකු [ආදම්] කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.”—රෝම 5:12.
4. මනුෂ්‍ය වර්ගයා පිළිබඳ ව ස්වකීය මුල් අරමුණ ඉටුවන පිණිස යෙහෝවඃ දෙවියන් වහන්සේ සකස් කර තිබෙන්නේ කුමන විධිවිධානයක් ද?
4 කෙසේ වුවද, දෙවියන් වහන්සේ මනුෂ්‍ය පවුල මුදවා ගැනීමට ප්‍රේමනීය ලෙස සැපයුමක් සකස් කළ සේක. ආදම්ගේ පැවත එන්නන් සියලු දෙනා උදෙසා ම, උන් වහන්සේගේ ම පුත්‍රයාණන්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතය දුන් සේක. (1 තිමෝති 2:5, 6) අප සඳහා ආදම් නැති කර ගත්තා වූ දෙය යේසුස් වහන්සේ මෙසේ ආපසු මිල දී ගත් සේක, නැතහොත් මුදවා ගත් සේක, තව ද මුල් මනුෂ්‍ය යුවළ ඉදිරියෙහි දෙවියන් වහන්සේ තැබුවා වූ ජීවිතය සඳහා එම ප්‍රස්තාව ම ලබා ගැනීමට මෙම සැපයුම කෙරෙහි ඇදහිල්ල දක්වනු ඇති අය සඳහා මාර්ගය විවෘත විය. අද දින, ජීවිතයෙහි මුල් භාගයේ දී බරපතළ අසනීපයකට හෝ අනතුරකට භාජනය නොවන්නේ නම්, යමෙකුට අවුරුදු 70ක් හෝ 80ක් ජීවත් විය හැක, තව ද ස්වල්ප දෙනෙක් ඊට වඩා ටික කලක් ජීවත් වෙති. “නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.”—රෝම 6:23.
5-7. (අ) දැන් අප දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නේ නම්, අනාගතයේ දී අපට අපේක්ෂා කළ හැක්කේ කුමක් ද? (ආ) ඔබගේ පවුලට උපකාර කිරීම සම්බන්ධයෙන් කුමන ප්‍රශ්නයක් ඔබට පැන නැගිය හැකි ද?
5 ඔබගේ පවුල සඳහා මින් කුමක් අදහස් කළ හැකි ද? දෙවියන් වහන්සේගේ ආඥාවන්ට ඇහුම් කන් දෙන්නා වූ සහ කීකරු වන්නා වූ අයට, ඉන් සදාකාල අනාගතයක් අදහස් කළ හැක. (යොහන් 3:36) වර්තමාන පීඩාකාරි දේවල පිළිවෙළ උන් වහන්සේ ධර්මිෂ්ඨ වූ ආණ්ඩුවක් මගින් මනුෂ්‍ය වර්ගයාගේ සියලු ම කාරණා සම්පාදනය කරන බවත් ස්වකීය නොවරදින්නා වූ වචනයෙහි, දෙවියන් වහන්සේ පොරොන්දු වන සේක. (දානියෙල් 2:44, 45ආ) මෙය දක්වමින්, උන් වහන්සේගේ වචනය අපට පවසන්නේ “ස්වර්ගයෙහි දේවල්ද පොළොවෙහි දේවල්ද යන සියල්ල ක්‍රිස්තුස්වහන්සේ තුළ ඒකරාශිකරන්ට” උන් වහන්සේ අරමුණු කර තිබෙන බව ය. (එපීස 1:9) එසේ ය, ජාති ආරවුල්, දේශපාලන භේද, අනුකම්පා රහිත අපරාධ සහ යුද්ධයේ දරුණුකම්වලින් තොර ව, සර්වලෝක එකමුතුකම එවිට තිබෙනු ඇත, තව ද පොළොව පුරා ම මනුෂ්‍ය පවුල එකමුතු වනු ඇත. “තවද ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ” සුරක්ෂිතකම තුළ පවුල් වශයෙන් වාසය කරනු ලබත්. (ගීතාවලිය 37:29, 34; මීකා 4:3, 4) මෙසේ වනු ඇත්තේ එදාට ජීවත් වන්නා වූ සියල්ලන් ම “ප්‍රිය දරුවන් මෙන් දෙවියන් වහන්සේ ව අනුකරණය කරන්නන්” වන නිසාත් ඔවුන් “ප්‍රේමයෙහි හැසිරෙමින් සිටින” නිසාත් ය.—එපීස 5:1, 2, NW.
6 දෙවියන් වහන්සේගේ රාජ්‍යය පාලනයේ මඟ පෙන්වීම යටතේ, සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා ආහාර බහුල ව සපයන්නා වූ උද්‍යාන නිවාසයක් ලෙස මැවුම්කරුවාණන් අරමුණු කළා වූ පාරාදීස තත්ත්වයකට පොළොව ගෙන ඒමේ ප්‍රීතිමත් ව්‍යාපෘතිය තුළ මනුෂ්‍ය පවුල එවිට එකමුතු ලෙස වැඩ කරනු ලබනවා ඇත. පොළොවේ අතිශය විවිධත්වයෙන් යුත් පක්ෂීන්, මත්ස්‍යයන් සහ සත්ත්ව ජීවීන්, මනුෂ්‍යයන්ගේ කරුණාවන්ත පාලනය යටතට පැමිණෙන අතර, ඔවුන්ගේ සතුට සඳහා සේවය කරනු ඇත, මන්ද මෙය දෙවියන් වහන්සේගේ ප්‍රකාශ කරන ලද අරමුණ ය. (උත්පත්ති 2:9; 1:26-28) රෝග, වේදනා, මහලු වයසේ දුර්වල කරන්නා වූ බලපෑම් හෝ මනුෂ්‍ය පවුලේ ජීවිතය භුක්ති විඳීමට බාධා කරවන මරණයේ බියත් තවත් නොතිබෙනු ඇත. එවිට ජීවිතය ඉදිරිපත් කරන්නා වූ විශිෂ්ට ප්‍රස්තාවන්හි සහභාගි වීමට “සිහිකිරීමේ සොහොන් ගෙවල්හි” සිටින අය පවා ආපසු පැමිණෙනු ඇත.—යොහන් 5:28, 29, NW; එළිදරව් 21:1-5.
7 මෙම අපේක්ෂාවන්ගේ ඉටු වීම ඔබගේ පවුලට අත් කර ගැනීමට උපකාර කිරීම සඳහා ඔබට කළ හැක්කේ කුමක් ද?
අපට කිරීමට අවශ්‍ය ව ඇත්තේ කුමක් ද?
8. දෙවියන් වහන්සේගේ අනුමැතිය ලබා ගැනීමට, අපෙන් ඕනෑ කර ඇත්තේ කුමක් ද?
8 “හොඳ ජීවිතයක්” ලෙස අප සලකන්නා වූ අන්දමකට ජීවත් වීම මගින් දෙවියන් වහන්සේගේ අලුත් දේවල පිළිවෙළෙහි ජීවිතය ලබා ගන්නා වූ අය අතර අපත් සිටිනු ඇතැයි කියා, අපි කිසිවෙකු වැරදි ලෙස නිගමනය නොකළ යුත්තෙමු. සුදුසුකම් මොනවා ද කියා තීරණය කිරීම අපට අයිති නැත; දෙවියන් වහන්සේ නිසි ලෙස එය කරන සේක. එක් දිනක් යේසුස් වහන්සේ යුදයෙහි උගන්වමින් සිටි විට, “සදාකාල ජීවනය උරුම කර ගන්න පිණිස මා විසින් කුමක් කටයුතුදැයි” කියා මනුෂ්‍යයෙක් ඇසුවේ ය. පිළිතුර වූයේ: “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් [යෙහෝවඃ වහන්සේටත් NW] නුඹට මෙන් නුඹේ අසල්වාසියාටත් ප්‍රේම කරව” යනුවෙන් ය. (ලූක් 10:25-28) දෙවියන් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරන බව නිකම් පැවසීම හෝ බයිබලය සාකච්ඡා කෙරෙන්නා වූ රැස්වීම්වලට කලින් කලට යාම හෝ යම් පුද්ගලයන් සඳහා සමහර විට කරුණාවන්ත දේවල් කිරීමට වඩා, පැහැදිලි ලෙස ම, බොහෝ දේ ඇතුළත් වන්නේ ය. ඒ වෙනුවට, අපට ඇත්තා වූ ඇදහිල්ල අපගේ කල්පනාවලට සහ ආශාවන්ටත්, දින පතා ක්‍රියාවන්ටත් දවස මුළුල්ලේ ම ගැඹුරු ලෙස බලපෑ යුතු ය.
9. ජීවිතයේ පොදු කාරණා පිළිබඳ ව අපේ සැලකිල්ලෙහි සමබර වීමට අපට උපකාර කළ හැකි ශුද්ධ ලියවිලි ප්‍රතිපත්ති මොනවා ද?
9 දෙවියන් වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය මනසෙහි තබා ගැනීම සහ එය ඉතා අගය කොට සැලකීම, ප්‍රඥාව සහිත ව ක්‍රියා කිරීමට අපට උපකාර කරනු ඇත. තව ද උන් වහන්සේගේ අනුමැතිය සහ උපකාරය එය සහතික කරයි. (හිතෝපදේශ 4:10) ජීවිතයේ සියලු ම කාරණා උන් වහන්සේටත් ස්වකීය අරමුණුවලටත් සම්බන්ධ වන පරිදි සැලකීම මගින්, අපේ ජීවිත අප පාවිච්චි කරන ආකාරයෙහි හොඳ සමබරතාවය තබා ගැනීමට අපට පුළුවන් වනු ඇත. අපගේ ශාරීරික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා අපි වැඩ කළ යුත්තෙමු. එහෙත්, ද්‍රව්‍යමය දේවල් කෙරෙහි කනස්සලු වීමෙන්වත් සහ ඕනෑකමින් ඒවා පසුපස යාමෙන්වත් අපේ ජීවිත සුළු වශයෙන් හෝ දිගූ කළ නොහැකි බව දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අපට මතක් කරන සේක; දෙවියන් වහන්සේගේ රාජ්‍යය සහ උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පළමුකොට සෙවීමෙන්, ඒවා අවසාන නොවන ලෙස ම දීර්ඝ කරනු ඇත. (මතෙව් 6:25-33; 1 තිමෝති 6:7-12; හෙබ්‍රෙව් 13:5) අපේ පවුල් ජීවිතය අප මුළුමනින් ම භුක්තිවිඳීම, දෙවියන් වහන්සේගේ අරමුණ වන සේක. එහෙත් පවුල් කවයෙන් පිටත සිටින්නා වූ අය සඳහා අවංක ප්‍රේමය දැක් වීමට අප අපොහොසත් වන තරමට ම පවුලේ කාරණා තුළ නියැලී සිටීම, ආත්ම-පරාජයක් වනු ඇත, ජීවිතය කෙරෙහි අපගේ පවුලට පටු ආකල්පයක් දෙනු ලබන අතර, දෙවියන් වහන්සේගේ ආශීර්වාදය අපට නැති වෙයි. දෙවියන් වහන්සේ සඳහා ඇති ප්‍රේමයට ඉඩක් නොමැති ව පසුපසට යාමට කවදාවත් අවකාශ නොදී, පවුලේ සෙල්ලම් සහ විනෝදය ඒවායේ නිසි තැනෙහි තබන විට, ඉන් උපරිම ආස්වාදයක් ගෙනෙනු නියත ය. (1 කොරින්ති 7:29-31; 2 තිමෝති 3:4, 5) දෙවියන් වහන්සේගේ වචනයේ තාත්වික ප්‍රතිපත්තිවලට එකඟ ව, පවුලක් වශයෙන් හෝ පුද්ගලයන් ලෙස, සියලු දේ කරනවා නම්, නියම සමර්ථකමේ හැඟීමක් ඇතුව, අපගේ ජීවිත ගැඹුරු ලෙස සෑහීමකට පත්වනු ඇත. තව ද සදාකාලික අනාගතයක් සඳහා අපි ස්ථාවර අත්තිවාරමක් දමන්නෙමු. එබැවින්, “ඔබ කරන කොයි දෙයක් වුවත්, . . . ස්වාමීන් වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] උදෙසා කරන දෙයක් මෙන් මුළු සිතින් කරන්න. ස්වාමීන් වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] පොරොන්දු වූ [උරුමයේ NW] විපාකය ඔබට දෙන බව සිහි කරන්න.”—කොලොස්සි 3:18-24, න. අ.
පවුලක් වශයෙන් ගොඩනැගීම
10. නිවසෙහි නිති පතා බයිබල් සාකච්ඡාව කොපමණ වැදගත් වනු ඇත් ද?
10 පවුලක සාමාජිකයන් එක ම නිෂ්ටාවන් වෙත නොකඩවා වැඩ කිරීමට නම්, දෙවියන් වහන්සේගේ වචනය නිවසෙහි සාකච්ඡා කිරීම ඉතා වැදගත් ය. සැබවින් ම අත්‍යවශ්‍ය ය. දකින්නා වූ සහ කරන්නා වූ දේවල් මැවුම්කරුවාණන්ගේ අරමුණුවලට සම්බන්ධ කිරීමට යමෙකු සඳහා බොහෝ ප්‍රස්තාවන් සෑම දවසක් ම ඉදිරිපත් කරයි. (ද්විතීය කථාව 6:4-9) සමහර විට බයිබලය පැහැදිලි කරන්නා වූ ප්රකාශනයන්ගේ උපකාරය ඇතුව, බයිබලය කියවීමෙහි සහ සාකච්ඡා කිරීමෙහි සියලු දෙනාට ම සහභාගි වීම සඳහා නිති පතා වේලාවන් වෙන් කර තැබීම හොඳ දෙයකි. මෙසේ කිරීම මගින් පවුල මත එක්සත් කරවන බලපෑමක් ඇති කරයි. එවිට පැන නැගිය හැකි ගැටලුවලට සාර්ථක ව මුහුණ දීමට එකිනෙකාට උපකාර කිරීමට, පවුලේ සාමාජිකයන්ට දෙවියන් වහන්සේගේ වචනය පාවිච්චි කළ හැක. පවුලේ බයිබල් සාකච්ඡාව සඳහා ඇති එවැනි කාල වේලාවන් වෙනත් දේවලට තිබෙන උනන්දුව මගින් පහසු ලෙස ම පැහැර ගැනීමට ඉඩ නොදීමෙන්, දෙමව්පියන් හොඳ ආදර්ශයක් තබන විට, දෙවියන් වහන්සේගේ වචනය සඳහා ගැඹුරු ගෞරවය සහ අගය කිරීමේ අති වැදගත්කම දරුවන් මත කාවද්දවනු ලැබේ. “මනුෂ්‍යයා යෙහෝවඃ වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු ප්‍රකාශයකින් ජීවත් වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේ ය,” කියා උන් වහන්සේගේ පුත්‍රයාණන් පැවසූ සේක—මතෙව් 4:4, NW.
11. ආත්මික දියුණුව පිළිබඳ ව, පවුල තුළ කුමන නැඹුරුවාවක් මඟ හැරිය යුතු ද?
11 ශරීරයක් තුළ, “කිසි භේදයක් නොව,” “අවයවයන් එකිනෙක ගැන ඒකාකාර” සැලකිල්ලක් තිබිය යුතු ය. (1 කොරින්ති 12:24) පවුල් ඒකකය තුළත් එය සැබෑ විය යුතුයි. තමාගේ විවාහ කලත්‍රයා සඳහා අවංක සැලකිල්ලක් දැක් වීමට අපොහොසත් වන පරිදි, දැනගැන්මෙහි සහ අවබෝධයෙහි තමාගේ ම ආත්මික දියුණුව කෙරෙහි එක් කලත්‍රයෙකු එය තුළ එපමණ ම නියැලි නොසිටිය යුතු ය. උදාහරණයක් වශයෙන්, තමාගේ භාර්යාවගේ ආත්මික අවශ්‍යතාවයන්ට වුවමනා තරම් අවධානය ස්වාමිපුරුෂයා නොදෙන්නේ නම්, කාලය ගතවන විට, ඔහු අගය කරන්නා වූ නිෂ්ටාවන් ඈ තව දුරටත් අගය නොකරන්නට පුළුවන. දෙවියන් වහන්සේගේ වචනයේ ප්‍රතිපත්ති අදාළ වන ආකාරය සහ ජීවිතයෙහි උපරිම සන්තෝෂය ගෙන දිය හැක්කේ කෙසේ ද කියා දැකීමට දරුවන්ට උපකාර කරමින්, තම දරුවන්ගේ ආත්මික වර්ධනය ගැන වුවමනා තරම් පුද්ගලික උනන්දුවක් දෙමව්පියන් දක්වන්නේ නැත්නම්, ඔවුන් අවට ඇත්තා වූ ලෝකයේ ද්‍රව්‍යවාදී ආත්මය මගින් තම දරුවන්ගේ හෘද සහ මනස් ඉවතට ඇද ගන්නා වූ බවක් දෙමව්පියන්ට පෙනෙන්නට පුළුවන. ඔබගේ මුළු පවුලේ ම සදාකාල යහපත සඳහා, දෙවියන් වහන්සේගේ වචනයෙහි දැනුම ලබා ගැනීම, ඔබගේ ජීවිතයේ නිති පතා, අති වැදගත් කොටසක් ලෙස තබා ගන්න.
12. අප අතපසු නොකළ යුත්තේ කවරෙකු සමඟ ආශ්‍රය කිරීම ද?
12 සැබවින් ම, ‘ප්‍රේමය නිවසෙහි ආරම්භ වන්නේ’ නම්, එය එතනින් අවසාන නොවිය යුතු ය. දෙවියන් වහන්සේගේ සැබෑ සේවකයන් වර්තමාන දේවල පිළිවෙළ තුළ දී පවා, සහෝදරයන් සහ සහෝදරියන් සමන්විත ලෝක ව්‍යාප්ත පවුලක් වන බවට ස්වකීය වචනය කලින් පැවසුවේ ය. “අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට,” එනම් “ලෝකයෙහි සිටින [අපගේ] සහෝදරයන් [සමස්ත සහෝදර ඇසුර NW] කෙරෙහි” යහපත්කම් කළ යුතුයි කියා උන් වහන්සේ අපට පවසන සේක. (ගලාති 6:10; 1 පේතෘස් 5:9) පවුලක් වශයෙන්, එම විශාල පවුලේ අයත් සමඟ එකට එක් රැස්වීම ප්‍රීතියක් විය යුතු අතර, වෙනත් උනන්දු වෙනුවෙන් එය පහසු ලෙස නැති කර නොගත යුතු ය.—හෙබ්‍රෙව් 10:23-25; ලූක් 21:34-36.
13. ක්‍රිස්තියානි සභාවෙන් පිටත සිටින්නා වූ අය කෙරෙහි අපට ඇති වගකීම කුමක් ද?
13 එහෙත් ‘දෙවියන්වහන්සේගේ ගෘහය වූ’ උන් වහන්සේගේ සභාව තුළ සිටින්නා වූ අයට පමණක් අපගේ ප්‍රේමය සීමා නොවිය යුතු ය. (1 තිමෝති 3:15) දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පැවසුවාක් මෙන්, අපට ප්‍රේම කරන්නන්ට ම එනම් අපගේ සහෝදරයන්ට පමණක්, අප ප්‍රේම කරනවා නම්, ‘අප අන් අයට වඩා කරන දෙයෙහි විශේෂය කුමක් ද?’ අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේ මෙන් වීමට නම්, පළමු පියවර තබමින්, මනුෂ්‍යයන් සමඟ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය බෙදා ගැනීමට නිතර ම සොයමින්, සියලු ම අයට කරුණාවන්තකම සහ උපකාරවත්කම දක්වමින්, සියල්ලන් කෙරෙහි අපි හෘද පූර්ණ සැලකිල්ල දැක්වීමට පෙරමුණ ගත යුත්තෙමු. පවුලක් වශයෙන් මේ ආකාරයට අප දිව්‍ය ප්‍රේමය ප්‍රකාශ කරන විට, අපගේ ජීවිතයට නියම අර්ථයක් සහ අරමුණක් ලැබේ. දෙවියන් වහන්සේ ප්‍රේමය දක්වන ආකාරයට, එහි පුළුල් ම ආකාරයට ප්‍රේමය දැක්වීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න, අපි සියල්ලන් ම, එනම්, දෙමව්පියන් සහ දරුවන් එක සේ, අත් දකින්නෙමු. (මතෙව් 5:43-48; 24:14) එවැනි හෘද පූර්ණ දීමකින් පමණක් පැමිණෙන්නා වූ සම්පූර්ණ සන්තෝෂයක අපටත් හවුලේ භුක්ති විඳිය හැක.—ක්‍රියා 20:35.
14. සන්තෝෂවත් පවුල් ජීවිතයකට හේතු වන්නේ කුමන උපදේශයක් අදාළ කිරීම ද?
14 එවැනි ප්‍රේමයක් විදහාපාන්නා වූ පවුල් සඳහා ඉදිරියෙන් ඇත්තේ කොපමණ විශිෂ්ට අපේක්ෂාවන් ද! තම පවුල් ජීවිතය සන්තෝෂවත් කර ගැනීමට මාර්ගය, දෙවියන් වහන්සේගේ වචනයේ උපදේශය අදාළ කර ගැනීම බව ඔවුන් ඉගෙන ගෙන තිබේ. සියලු මනුෂ්‍යයන්ට බලපාන්නා වූ ජීවිතයේ ගැටලු සහ පීඩන ඇතත්, එසේ කිරීමෙන් බොහෝ කදිම ප්‍රතිඵල දැන් ම එවැනි පවුල් අත් දකිති. එහෙත් ඔවුහු වර්තමානය ඉක්මවා බලති. තව ද මරණය මගින් සියල්ලක් ම අවසාන කිරීමට පෙර, ජීවිතයේ කෙටි අවුරුදු කිහිපය ගැන පමණක් ඔවුහු කල්පනා නොකරති. දෙවියන් වහන්සේගේ පොරොන්දුවල විශ්වාස දායකකම කෙරෙහි නිසැකකම ඇතුව, සදාකාල අනාගතයක් සඳහා සන්තෝෂවත් ලෙස පවුලේ සෑම සාමාජිකයෙකු ම ගොඩනැගීමක යෙදෙනු ඇත.
15. මේ පොතෙහි දක්වා ඇති ශුද්ධ ලියවිලි මඟ පෙන්වන්නා වූ ප්රතිපත්තිවල ප්‍රයෝජන පිළිබඳ ව ඔබට ඔබගෙන් ම ඇසිය හැකි ප්‍රශ්න මොනවා ද?
15 පොළොව මැවීමේ දී දෙවියන් වහනසේගේ අරමුණ වනාහි එය ජනාවාස කර වීමට බව මෙම පොත බයිබලයෙන් පෙන්නුම් කර තිබේ. මෙය ඉටු කිරීමට උන් වහන්සේ පවුල පිහිටෙ වූ සේක. යෙහෝවඃ දෙවියන් වහන්සේ පියවරුන්, මව්වරුන් සහ දරුවන් සඳහාත් මඟ පෙන්වන ප්‍රතිපත්ති දී තිබේ. තව ද මේවා සලකා බලා තිබේ. ඔබගේ පවුලෙහි මෙම ප්රතිපත්තිවලින් සමහරක් අදාළ කර ගැනීමට ඔබට හැකි වී තිබේ ද? ඔබගේ පවුල් ජීවිතය වඩාත් සන්තෝෂවත් කිරීමට ඒවා ඔබට උපකාර වී තිබේ ද? එසේ ය, කියා අපි බලාපොරොත්තු වන්නෙමු. එහෙත් ඔබටත් ඔබගේ පවුලටත් අනාගතය ඉදිරිපත් කරනු ඇත්තේ කුමක් ද?
16-18. මෙම පොළොව සඳහා යෙහෝවඃ දෙවියන් වහන්සේ අරමුණු කර තිබෙන විශිෂ්ට තත්ත්වයන් කවරේ ද?
16 පොළොව බලා ගැනීමට ද, එහි කෙත්වල සාරවත් අස්වැන්නක් නිපදවා ගැනීමට ද එහි කාන්තාරවල මල් හට ගැන්වීමට සැලැස්වීමෙහි උපකාර කිරීමට ද ඔබ කැමති ද? කටු සහ ගොකටු නැති වී ඒ වෙනුවට පළතුරු වතු සහ තේජවත් වනාන්තර දැකීමට ඔබ කැමති ද? තුවක්කු, කස සහ වානේ පොලු ඇතුව නොව, එහෙත් ප්‍රේමය සහ අන්‍යෝන්‍ය විශ්වාසය කරණ කොට ගෙන, සත්ත්වයන් කෙරෙහි පාලනය හසුරුවීමට ඔබත් ඔබගේ පවුලේ අයත් කැමති ද?
17 බෝම්බ සාදන්නන් හෝ යුද්ධ ඇති කරන්නන් තවත් නොසිටින්නා වූ කඩුවලින් නගුල් දැති ද, හෙල්ලවලින් අතුපාහින කතුරු ද තලා ගන්නා වූ, කාලය සඳහා ඔබගේ හෘදය බලවත් සේ ආශා කරන්නේ නම්, එවිට ඔබ යෙහෝවඃ වහන්සේගේ අලුත් පිළිවෙළේ දේවල් කෙරෙහි ප්‍රීතියෙන් ප්‍රමුදිත වෙනවා ඇත. පීඩාකාරී දේශපාලන ආධිපත්‍යය, වාණිජමය ගිජුකම සහ ආගමික කුහකකම පහ වී යනවා ඇත. සෑම පවුලක් ම තම තමාගේ මිදිවැල යට ද අත්තික්කා ගස යට ද සමාදානයෙන් වාසය කරනවා ඇත. නැවත නැගිටුවනු ලැබූ දරුවන්ගේ සතුටුමත් නාද සහ බොහෝ පක්ෂීන්ගේ ප්‍රබෝධවත් ගීවලින් පොළොව රැව් පිළිරැව් දෙනවා ඇත. තව ද කාර්මික දූෂණයෙන් ආශ්වාස කිරීම අපහසු කරනවා වෙනුවට, මල්වල සුවඳින් වාතය ප්‍රාණවත් වනු ඇත.—මීකා 4:1-4.
18 කොරා මුවෙකු මෙන් පැන යනවා දැකීමත්, ගොළුවාගේ දිව ගී කියනවා ඇසීමත්, අන්ධයන්ගේ ඇස් පැහැදෙනවා බලා සිටීමත් බිහිරන්ගේ කන් ඇරෙන බව දැනගැනීමත්, සුසුම්ලෑම සහ හැඬීම් වෙනුවට සිනහ මුසු මුහුණින් සිටීම ද, කඳුළු සහ වැලපීම වෙනුවට සිනාසෙමින් සිටීම ද, වේදනාව සහ මරණය වෙනුවට සෞඛ්‍ය සහ සදාකාල ජීවනය ගැන ද සාක්ෂි දැරීමටත් ඔබගේ හෘදයාංගම බලාපොරොත්තුව වන්නේ නම්, එවැනි තත්ත්වයන් සදාකාලයට ම පවතින යෙහෝවඃ වහන්සේගේ අලුත් පිළිවෙළෙහි සදාකාලයට ම ජීවත් වීමට අවශ්‍ය කරන්නා වූ පියවර ගැනීමට ඔබටත් ඔබගේ පවුලේ අයටත් උපකාර කිරීමට ඔබගේ මුළු උත්සාහය යොදන්න.—එළිදරව් 21:1-4.
19. දෙවියන් වහන්සේගේ අලුත් පිළිවෙළේ ආශීර්වාද භුක්ති විඳින්නා වූ අය අතර සිටීමට ඔබටත් ඔබගේ පවුලේ අයටත් හැකි වනු ඇත්තේ කෙසේ ද?
19 එදින පොළොව පූර්ණ කරන්නා වූ සන්තෝෂවත් සමූහයන් අතර ඔබගේ පවුලත් සිටිනු ඇත් ද? එය තීරණය කිරීම භාර වී ඇත්තේ ඔබට ය. පවුල් ජීවිතය සඳහා යෙහෝවඃ වහන්සේගේ උපදෙස් දැන් ම අනුගමනය කරන්න. එම අලුත් පිළිවෙළේ ජීවිත ක්‍රමයට ඔබත් ගැළපෙන බව දැන් ම ඔප්පු කිරීමට පවුලක් වශයෙන් වැඩ කරන්න. දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරන්න. ඔබගේ ජීවිතය තුළ එය අදාළ කර ගන්න. ඉදිරියට ඇත්තා වූ බලාපොරොත්තුව ගැන අනික් අයට කියන්න. එසේ කිරීමෙන්, ඔබ පවුලක් වශයෙන් දෙවියන් වහන්සේ සමඟ “හොඳ නාමයක්” ඇති කර ගන්නවා ඇත. “බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන්රිදීවලට වඩා කරුණවද [අනුග්‍රහය ද NW] අගනේය [තෝරා ගත යුතුයි NW].” එවැනි නාමයක් යෙහෝවඃ වහන්සේ අමතක නොකරන සේක; “ධර්මිෂ්ඨ තැනැත්තා සිහිකිරීම ආශීර්වාදයක් පිණිස වන්නේ ය.” (හිතෝපදේශ 22:1, NW, තීරු සටහන; හිතෝ 10:7, NW) යෙහෝවඃ වහන්සේගේ ලබන්නට නොවටිනා කරුණාව කරණ කොට ගෙන, ඔබටත් ඔබගේ පවුලටත් උපරිම සන්තෝෂයේ සදාකාල අනාගතයක ආශීර්වාද ලැබිය හැක.
[189වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]