යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ කුමක්ද?
“මේ ලබ්ධිය ගැන සියලු තැන්හි විරුද්ධව කථාකරන බව අපි දනිමුව. එබැවින් නුඹ සිතන්නේ මොකද කියා නුඹෙන් අසන්ට කැමැත්තෙමු.” (ක්‍රියා 28:22) මෙම වදන් පැවසූ පළමු ශතවර්ෂයේ රෝමයෙහි විසූ ප්‍රජා නායකයෝ මහඟු ආදර්ශයක් තැබූහ. බාහිර විවේචකයන්ගෙන් අසනවා වෙනුවට, ඔවුන්ට ඊට අදාළ අයගෙන්ම කරුණු විමසීමට අවශ්‍ය විය.
එයාකාරයෙන්ම, අදදිනත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව කතා කරනු ලබන අතර, ඔවුන් සම්බන්ධ සත්‍යය අගතිසහගත අදහස් දරන අයගෙන් දැනගැනීමට උත්සාහ දැරුවහොත් ඔබ වැරදි අදහස්වලට නිරාවරණය විය හැක. මේ නිසා, අපගේ මූලික විශ්වාසයන් සමහරක් අපි ඔබට පැහැදිලි කිරීමට කැමැත්තෙමු.
බයිබලය, යේසුස් ක්‍රිස්තුස් හා දෙවි
“දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල . . . ප්‍රයෝජනවත්” බව අපි විශ්වාස කරන්නෙමු. (2 තිමෝති 3:16) අප සැබවින්ම ක්‍රිස්තියානීන් නොවන බවට සමහරුන් පවසා සිටියත්, එය සත්‍යයක් නොවේ. “අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය” කියා යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව ප්‍රේරිත පේතෘස් දැරූ සාක්ෂිය අපි මුළු හදින්ම පිළිගන්නෙමු.—ක්‍රියා 4:12.
කෙසේවෙතත්, “මම දෙවිගේ පුත්‍රයෙමි” කියාද, “පියා මා එව්වා” කියාද යේසුස් පැවසූ බැවින්, යේසුස්ට වඩා දෙවි උතුම් බව යෙහෝවාගේ සාක්ෂිකරුවෝ විශ්වාස කරති. (යොහන් 10:36; 6:57) “පියා මට වඩා උතුම්ය” කියා යේසුස්ම පිළිගත්තේය. (යොහන් 14:28; 8:28) ඒ නිසා, ත්‍රිත්ව මූලධර්මයේ උගන්වන ආකාරයට යේසුස් පියාට සමාන බව අපි විශ්වාස නොකරන්නෙමු. ඒ වෙනුවට, දෙවි විසින් ඔහුව මවනු ලැබූ බවත්, ඔහු දෙවිට යටත් බවත් අපි විශ්වාස කරන්නෙමු.—කොලොස්සි 1:15; 1 කොරින්ති 11:3.
සිංහල බසින් දෙවිගේ නාමය යෙහෝවා වේ. බයිබලය මෙසේ පවසයි. ‘යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාය.’ (ගීතාවලිය 83:17) මෙම ප්‍රකාශයට එකඟව, යේසුස් දෙවිගේ නාමය සියල්ලන්ට දැනගන්ට සලස්වමින් සිය අනුගාමිකයන්ට මෙසේ යාච්ඤා කිරීමට ඉගැන්වුවේය. “ස්වර්ගයෙහි [සිටින] අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා.” එමෙන්ම ඔහු දෙවිට යාච්ඤා කරමින් “ඔබ . . . මට දුන් මනුෂ්‍යයන්ට ඔබගේ නාමය ප්‍රකාශකෙළෙමි” කියා පැවසුවේය.—මතෙව් 6:9; යොහන් 17:6.
යේසුස් හා සමානව තමන්ද දෙවිගේ නාමය හා අරමුණු අන්‍යයන්ට ප්‍රකාශ කළ යුතු බව යෙහෝවාගේ සාක්ෂිකරුවෝ විශ්වාස කරති. “විශ්වාස සාක්ෂිකාරයාවූ” යේසුස්ව අනුකරණය කරන නිසා, අපි යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යන නාමය වැලඳගෙන ඇත්තෙමු. (එළිදරව් 1:5; 3:14) දෙවිව නියෝජනය කරන්නාවූ ජනයාට යෙසායා 43:10හි යෝග්‍ය අයුරින් මෙසේ පවසයි. ‘නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි යෙහෝවා කියන්නේය.’
දෙවිගේ රාජ්‍යය
“ඔබගේ රාජ්‍යය ඒවා” කියා යාච්ඤා කිරීමට යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්වූ අතර, ඔහු එම රාජ්‍යය තම ඉගැන්වීම්වල ප්‍රධාන තේමාව කරගත්තේය. (මතෙව් 6:10; ලූක් 4:43) එම රාජ්‍යය, ස්වර්ගයේ පිහිටුවන ලද සැබෑ ආණ්ඩුවක් බවත්, එය පොළොව පාලනය කරනු ඇති බවත්, යේසුස් ක්‍රිස්තුස් එහි පත් කරන ලද අදෘශ්‍යමාන රජු බවත්, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ විශ්වාස කරති. ‘ආණ්ඩුවද ඔහුගේ කර පිට තිබෙන්නේය’ කියා බයිබලය පවසයි. “[ඔහුගේ] ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය.”—යෙසායා 9:6, 7.
කෙසේවෙතත්, දෙවිගේ ආණ්ඩුවේ පාලන කටයුතු මෙහෙයවන්නේ යේසුස් ක්‍රිස්තුස් පමණක් නොවේ. ඔහු සමඟ ස්වර්ගයෙහි බොහෝ හවුල් පාලකයන් සිටිනු ඇත. “අපි ඉවසමු නම් [ඔහු] සමග රජකම්කරන්නෙමු” යනුවෙන් ප්‍රේරිත පාවුල් ලීවේය. (2 තිමෝති 2:12) මෙසේ, ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයෙහි පාලනය කිරීමට ලැබෙන ප්‍රස්තාව, නැවත නැඟිටුවනු ලබන්නාවූ මනුෂ්‍යයන් “එක්ලක්ෂ සතළිස් සාර දහසට, එනම් පොළොවෙන් මිලේටගනු ලැබුවාවූ අයින්ට” සීමා වන බව බයිබලය පෙන්වා දෙයි.—එළිදරව් 14:1, 3.
ඇත්තවශයෙන්ම, ඕනෑම ආණ්ඩුවකට යටත් වැසියන් සිටිය යුතුය. මෙම ස්වර්ගීය පාලකයන්ට අමතරව, තවත් බිලියන සංඛ්‍යාවක් සදාකාලික ජීවනය ලබනු ඇති බවට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ විශ්වාස කරති. යථා කාලයේදී පොළොව අලංකාර පාරාදීසයක් බවට පරිවර්තනය කිරීමෙන් පසු, ක්‍රිස්තුස්ගේ හා ඔහුගේ හවුල් පාලකයන්ගේ පාලනයට කැමැත්තෙන්ම යටත් වන අයගෙන් එය පිරී යනු ඇත. මේ හේතුවෙන් පොළොව කිසිදා විනාශ නොවන බවත්, ‘ධර්මිෂ්ඨයෝ දේශය උරුම කරගෙන, එහි සදාකල් වාසය කරන්නෝය’ යන බයිබල් පොරොන්දුව ඉටු වන බවත් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ කිසිම සැකයකින් තොරව පිළිගනිති.—ගීතාවලිය 37:29; 104:5.
එහෙත් දෙවිගේ රාජ්‍යය පැමිණෙනු ඇත්තේ කෙසේද? සියලුම මනුෂ්‍යවර්ගයා හිස මුදුනින්ම දෙවිගේ රාජ්‍යය පිළිගනු ඇද්ද? මීට පටහැනිව, බයිබලය පෙන්වා දෙන්නේ රාජ්‍යය පිහිටුවද්දී පොළොවෙහි කටයුතුවලට දෙවිට ඍජුවම මැදහත් වෙන්න සිදු වන බවයි. ‘ස්වර්ගයේ දෙවි කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවන්නේය. . . . ඒක [ආණ්ඩුව, NW] ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය. එයද සදාකාලේටම පවතින්නේය.’—දානියෙල් 2:44, 45, අකුරු ඇල කළේ අපය.
දෙවිගේ රාජ්‍යය පැමිණෙනු ඇත්තේ කවදාද? දැන් බයිබල් අනාවැකි ඉටු වෙමින් පවතින නිසා, එය ඉතා ඉක්මනින්ම පැමිණෙනු ඇතැයි යෙහෝවාගේ සාක්ෂිකරුවෝ විශ්වාස කරති. මෙම දුෂ්ට ක්රමයේ “අන්තිම දවස්වල” ලක්ෂණ පුරෝකථනය කරන්නාවූ අනාවැකි සමහරක් සලකා බැලීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු. ඒවා මතෙව් 24:3-14; ලූක් 21:7-13, 25-31; සහ 2 තිමෝති 3:1-5හි වාර්තා කර තිබේ.
අප ‘අපගේ මුළු හෘදයෙන්, ආත්මයෙන්, බුද්ධියෙන් හා ශක්තියෙන් අපගේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කරන නිසාත්, අපට මෙන් අපගේ අසල්වැසියාට ප්‍රේම කරන නිසාත්,’ අප අතර රට, ජාතිය හා සමාජ පසුබිම අනුව බෙදීමක් නැත. (මාර්ක් 12:30, 31) සෑම රටකම වසන්නාවූ අපගේ ක්‍රිස්තියානි සහෝදරයන් අතර පිළිබිඹු වන ප්‍රේමය සම්බන්ධයෙන් අපි ප්‍රසිද්ධියක් ලබා ඇත්තෙමු. (යොහන් 13:35; 1 යොහන් 3:10-12) අපි ජාතීන්ගේ දේශපාලනික කටයුතුවලදී මධ්‍යස්ථව සිටින්නෙමු. අප වෑයම් දරන්නේ යේසුස්ගේ මුල් ගෝලයන් හා සමාන වීමටයි. ඔවුන් ගැන යේසුස් මෙසේ පැවසුවේය. “මා ලෝකයෙන් නොවන්නාක් මෙන්ම ඔව්හුද ලෝකයෙන් නොවෙති.” (යොහන් 17:16) ලෝකයෙන් වෙන්ව සිටීමෙන් අදහස් කරන්නේ බොරුකීම, සොරකම් කිරීම, වේශ්‍යාකම් කිරීම, පරදාර සේවනය, සමලිංගික සේවනය, රුධිරය අනිසි ලෙස භාවිත කිරීම, රූප වන්දනාව හා බයිබලයේ හෙළා දකින වෙනත් එවන් දේවල්ද ඇතුළුව, අදදින බොහෝ සෙයින් සුලභව පවතින දුරාචාර හැසිරීම්වලින්ද වැළකී සිටීම බව අපි පිළිගන්නෙමු.—1 කොරින්ති 6:9-11; එපීස 5:3-5; ක්‍රියා 15:28, 29.
අනාගතය සඳහා ඇති බලාපොරොත්තුව
අපට ඇති සියල්ල මේ ලෝකයේ අපගේ වර්තමාන ජීවිතයට පමණක් සීමා නොවන බව යෙහෝවාගේ සාක්ෂිකරුවෝ විශ්වාස කරති. යෙහෝවා ක්‍රිස්තුස්ව මෙම පොළොවට එව්වේ මිදීමේ මිලයක් ලෙස ඔහුගේ ජීවිතය දීමට බව අපි විශ්වාස කරන්නෙමු. එතුළින් මනුෂ්‍යවර්ගයාට දෙවිගේ අනුමැතිය දිනාගැනීමටත්, නව පිළිවෙළක් තුළ සදාකාලික ජීවිතයක් භුක්ති විඳීමටත් ප්‍රස්තාව උදා වේ. යේසුස්ගේ ප්‍රේරිතයෙක් පැවසුවේ අපව ඔහුගේ “ලේ කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු” ලැබූ බවයි. (රෝම 5:9; මතෙව් 20:28) අනාගත ජීවිතය භුක්ති විඳීමට හැකිකම ලබා දෙන්නාවූ මෙම මිදීමේ මිලය සැපයීම වෙනුවෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දෙවිටත්, ඔහුගේ පුත්‍රයාටත් අතිශයින් කෘතඥ වෙති.
දෙවිගේ රාජ්‍යය යටතෙහි මළවුන්ව නැවත නැඟිටුවන බවට ඇති බලාපොරොත්තුව නිසා අනාගත ජීවිතයක් කෙරෙහි සම්පූර්ණ විශ්වාසයක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තිබේ. බයිබලය උගන්වන පරිදි, පුද්ගලයෙකු මියගිය විට ඔහු සැබවින්ම පැවැත්මෙන් තොර වන බවත්, “එදාම ඔහුගේ කල්පනා නැති” වන බවත් අපි විශ්වාස කරන්නෙමු. (ගීතාවලිය 146:3, 4; එසකියෙල් 18:4; දේශනාකාරයා 9:5) එසේය, මියගිය අයගේ අනාගත ජීවිතය රඳා පවතින්නේ නැවත නැඟිටීමේදී ඔවුන්ව දෙවි සිහිපත් කිරීම මතය.—යොහන් 5:28, 29.
කෙසේවෙතත්, දෙවිගේ රාජ්‍යය වර්තමාන ආණ්ඩු සියල්ලටම අවසානයක් ගෙන එන විට, දැන් ජීවත් වන්නාවූ බොහෝදෙනෙකු නෝවා සහ ඔහුගේ පවුල ජලගැල්මෙන් බේරුණාක් මෙන් බේරී ජීවත් වනු ඇත. ඔවුන් පවිත්‍ර කරන ලද පොළොවක් මත සදාකාලික ජීවිතයක් භුක්ති විඳිනු ඇති බව යෙහෝවාගේ සාක්ෂිකරුවෝ විශ්වාස කරති. (මතෙව් 24:36-39; 2 පේතෘස් 3:5-7, 13) එහෙත් බයිබලය පවසන ආකාරයට බේරී ජීවත් වීම, යෙහෝවාගේ අවශ්‍යතාවන්ට එකඟව ක්‍රියා කිරීම මත රඳා පවතින බව අපි විශ්වාස කරන්නෙමු. “ලෝකය . . . පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”—1 යොහන් 2:17; ගීතාවලිය 37:11; එළිදරව් 7:9, 13-15; 21:1-5.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් සියල්ලක්ම මෙහි ඇතුළත් කිරීමට නොහැකි බව පැහැදිලිය. එනමුත් තව වැඩි විස්තර සොයා බලන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමැත්තෙමු.
ලංකා බයිබල් සමාගම 1995දී සංශෝධනය කළ 1938 ප්‍රතිසංස්කෘත පරිවර්තනය මෙහි විශේෂිත සඳහන් වී නොමැති තැන්හි භාවිත කර ඇත. NW ලෙස සඳහන් බයිබල් පද, ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනයෙන් (ඉංග්‍රීසියෙන්) රැගෙන තිබේ.
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
යේසුස්ව අනුකරණය කරන නිසා, අපි යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යන නාමය වැලඳගෙන ඇත්තෙමු