3වෙනි පරිච්ඡේදය
මාර්ගය පිළියෙළ කරන්නාගේ උපත
එලිසබෙත්ගේ දරුවා උපදින්න දැන් කාලය ළඟයි. ගෙවී ගිය තෙමස තුළදී, මරියා ඇය සමඟ නැවතී සිටියා. නමුත් දැන් මරියාට සමුගන්න කාලය ඇවිත්. මරියා නාසරෙත්හි පිහිටි ඇගේ නිවස දක්වා තිබෙන දිගු ගමන නැවතත් අරඹනවා. තව මාස හයකින් විතර ඇයටත් දරුවෙක් ලැබේවි.
මරියා සමුගෙන වැඩි කල් යන්නට පෙර එලිසබෙත්ගේ දරුවා ඉපදෙනවා. එලිසබෙත් දරුවා බිහි කරන්නේ කිසිම කරදරයක් නැතුවයි. ඇයත් ඇගේ දරුවත් හොඳ සෞඛ්‍යයකින් සිටීම කොයි තරම් ප්‍රීතියක්ද! එලිසබෙත් දරුවාව අසල්වාසීන්ට හා ඥාතීන්ට පෙන්වන විට, ඔවුන් සියලුදෙනාම ඇය සමඟ ප්‍රීති වෙනවා.
දෙවිගේ නීතියට අනුව, ඊශ්‍රායෙල්හි පිරිමි දරුවෙකු උපත ලබා දවස් අටක් පිරුණු විට ඔහුව චර්මච්ඡේදනය කළ යුතුයි. මෙම වැදගත් අවස්ථාවේදී හිත මිතුරන් හා ඥාතීන් ඔහුව දැකබලා ගැනීමට පැමිණෙනවා. ඔවුන් කියන්නේ දරුවාට සෙකරියා යන තම පියාගේ නම තැබිය යුතු බවයි. එහෙත් එලිසබෙත් පවසන්නේ, “කිසිසේත් එසේ කළ නොහැක! ඔහුව යොහන් ලෙස හැඳින්විය යුතුය” කියායි. දරුවාට දිය යුත්තේ එම නම කියා ගාබ්‍රියෙල් දේවදූතයා පැවසූ බව ඔබට මතකද?
කෙසේවෙතත්, ඔවුන්ගේ මිතුරන් ඊට විරුද්ධ වෙමින් “මේ නම ඇති කිසි කෙනෙක් ඔබේ නෑදෑයන් අතරේ නැත” යයි පවසනවා. එවිට, ඔවුන් සංඥා මාර්ගයෙන් දරුවාගේ පියාගෙන් අසනවා ඔහුට තැබිය යුතු නම කුමක්ද කියා. සෙකරියා ලෑල්ලක් ඉල්ලාගෙන “දරුවාගේ නම යොහන්” කියා ලියන්නේ සියල්ලන්වම මවිතයට පත් කරවමිනුයි.
ඒ මොහොතේම, ආශ්චර්යවත් ලෙස සෙකරියාට නැවත කතා කරන්න පුළුවන් වෙනවා. එලිසබෙත්ට දරුවෙකු ලැබෙන බවට දේවදූතයා දැනුම් දුන් විට ඔහු විශ්වාස නොකළ නිසා ඔහුගේ කතා කිරීමේ හැකියාව නැති වූ බව ඔබට මතකද? ඉතිං දැන් සෙකරියා කතා කරන විට ඔහු ජීවත් වන ප්‍රදේශයේ සියල්ලෝම මවිතයට පත් වෙනවා. ඔවුන් තම තමන්ගෙන්ම අසාගන්නේ “මේ කුඩා දරුවා කුමන ආකාරයේ කෙනෙක් වේවිද” කියායි.
සෙකරියා දැන් ප්‍රීතියෙන් පිනා යමින් ශුද්ධාත්මයෙන් පූර්ණව මෙසේ පවසනවා. “ඊශ්‍රායෙලයෙහි දෙවි වූ යෙහෝවාට ආශීර්වාද වේවා! මන්ද, ඔහු තම ජනයාට අවධානය දී ඔවුන්ට මිදීම සලසා දී ඇත. ඔහු තම සේවකයා වූ දාවිත්ගේ වංශයෙන්, අප වෙනුවෙන් ගැලවීමේ අඟක් නැඟිටුවා තිබේ.” මෙම “ගැලවීමේ අඟ” උපදින්ට සිටින ස්වාමි වූ යේසුස් බව මනාව පැහැදිලියි. දෙවි ඔහු තුළින් ‘අපව සතුරන් අතින් බේරාගත් පසු, දවස මුළුල්ලෙහිම ඔහු ඉදිරියෙහි නිර්භීත ලෙසද පක්ෂපාතකමින් හා ධර්මිෂ්ඨකමින් යුක්තවද ඔහුට පරිශුද්ධ සේවය පිරිනැමීමේ වරප්‍රසාදය අපට දෙන’ බව සෙකරියා පවසනවා.
ඊළඟට සෙකරියා තම පුත්‍ර යොහන් පිළිබඳව අනාවැකියක් පළ කරමින් කියන්නේ මෙලෙසයි. “කුඩා දරුව, ඔබට මහෝත්තමයාණන්ගේ අනාගතවක්තෘවරයෙක්යයි කියනු ලබන්නේය. මන්ද ඔබ යෙහෝවාගේ මාර්ග සූදානම් කිරීම සඳහා ඔහුට පෙරටුවෙන් යන්නේ, තම පාපවලට සමාව ලැබීම මගින් අත් වන ගැලවීම ගැන ඔහුගේ ජනයාට දැනුම ලබා දෙන පිණිසය. එය ලැබෙන්නේ අපේ දෙවිගේ ඉමහත් දයානුකම්පාව නිසාය. මේ දයානුකම්පාව සමඟම ඉහළින් අලුත් දිනක ආලෝකයක් අප කරා පැමිණෙන්නේය. එසේ වන්නේ අන්ධකාරයේ සහ මරණ සෙවණෙහි හිඳගෙන සිටින අයට ආලෝකය දෙන පිණිසත් සමාදානයේ මාර්ගය ඔස්සේ යෑමට අපේ දෙපා සාර්ථකව යොමු කරන පිණිසත්ය.”
තවමත් අවිවාහකව සිටින මරියා, මේ වන විට නාසරෙත්හි තම නිවසට පැමිණ සිටිනවා. ඇය ගර්භිණීව සිටින බව සැමෝම දැනගන්නා විට ඇයට කුමක් සිදු වේවිද? ලූක් 1:56-80, NW; ලෙවී කථාව 12:2, 3.
▪ යොහන් යේසුස්ට වඩා කොතරම් වැඩිමල්ද?
▪ යොහන් උපත ලබා දවස් අටක් පිරුණු විට සිදු වන්නේ කුමක්ද?
▪ දෙවි තම ජනයා වෙත අවධානය යොමු කර තිබෙන්නේ කොහොමද?
▪ පුරෝකථනය කරන පරිදි යොහන් සිදු කරන්න යන්නේ කුමනාකාරයේ වැඩක්ද?