21වෙනි පරිච්ඡේදය
යේසුස්ගේ ගමේ සිනගෝගයේදී
යේසුස් තමා හැදී වැඩුණු නාසරෙත් නුවරට ආපසු පැමිණෙද්දී එහි ජනයා අතර යම් උද්යෝගයක් ඇතිවීම පුදුම දෙයක් නොවෙයි. මීට වසරකට පමණ කලින් ඔහු බව්තීස්ම වීම සඳහා යොහන් වෙතට ගිය විට යේසුස් ප්‍රසිද්ධ වී සිටියේ වඩුවෙකු හැටියටයි. නමුත් දැන් ඔහු සෑම තැනම ප්‍රසිද්ධ වී සිටින්නේ ප්රාතිහාර්යයන් සිදු කරන තැනැත්තෙක් වශයෙන්. මේ ආශ්චර්යවත් ක්‍රියා කිහිපයක් ඔවුන් අතරේත් කරනවා බලන්න ගම්වැසියන් ආශාවෙන් සිටිනවා.
ඔවුන්ගේ බලාපොරොත්තු තවත් උත්සන්න වන්නේ යේසුස් තම සිරිත ලෙස ප්‍රදේශයේ සිනගෝගය වෙතට යන විටයි. රැස්වීම යන අතරතුරේදී, ශුද්ධ ලියවිලි කියවීම සඳහා ඔහු නැඟිටිනවා. එතකොට ඔහුට කියවීම සඳහා දෙන්නේ අනාගතවක්තෘ යෙසායාගේ ඇකුළුම් පොතයි. යෙහෝවාගේ ආත්මයෙන් අභිෂේක ලත් තැනැත්තා පිළිබඳව පවසන කොටසට ඔහු පෙරළනවා. එය අප අදදින භාවිත කරන බයිබලයේ යෙසා 61වන පරිච්ඡේදයේ සොයාගත හැකියි.
වහලුන්ට නිදහස හා අන්ධයන්ට නැවත පෙනීම ලැබෙන බවටත් යෙහෝවාගේ පිළිගත යුතු අවුරුද්ද පිළිබඳවත් මේ තැනැත්තා දේශනා කරන්න යන බව කියවීමෙන් පසු, යේසුස් සේවකයාට ඇකුළුම් පොත භාර දී වාඩි වෙනවා. සියලුදෙනාගේම ඇස් ඉතා ඕනෑකමින් යොමු වී තිබෙන්නේ ඔහු දෙසටයි. ඉන්පසු ඔහු සමහරවිට දීර්ඝ විස්තරයක් කළ පසු “ඔබ මේ දැන් ඇසූ ශුද්ධ ලියවිලි පාඨය අද ඉටු වී ඇත” කියා පැහැදිලි කරනවා.
මනුෂ්‍යයන් ඔහුගේ “ප්‍රියමනාප වදන්” ගැන පුදුම වී “මේ යෝසෙප්ගේ පුත්‍රයෙකු නොවේද” කියා එකිනෙකාගෙන් අසනවා. නමුත් ඔවුන් කැමති වන්නේ ඔහු ප්රාතිහාර්යයන් කරනවා දකින්න බව දැන, යේසුස් පවසන්නේ මෙසේයි. “‘වෛද්යවරයාණෙනි, තමන්වම සුව කරගන්න’ යන කියමන ඔබ මට අදාළ කර, ‘කපර්ණවුමෙහි සිදු වුණාය කියා අපට අසන්න ලැබුණු දේවල් මෙහිදී, එනම් ඔබේ ගමේදීත් කරන්න’ යයි ඔබ කියනවාට සැකයක් නැත.” සුව කිරීම් මුලින්ම කළ යුත්තේ තමාගේම ගමේදී තමාගේම ගම් වැසියන්ගේ ප්‍රයෝජනය තකායි කියා යේසුස්ගේ ගමේ අයට හැඟෙන බව පැහැදිලියි. ඔවුන් සිතන්නේ යේසුස් ඔවුන්ට මදිපුංචිකමක් කර ඇති බවයි.
ඔවුන් සිතන ආකාරය වටහාගනිමින්, යේසුස් උචිත ඓතිහාසික වාර්තාවක් විස්තර කරනවා. ඔහු පැහැදිලි කරන්නේ එලියාගේ දවස්වලදී ඊශ්‍රායෙල්හි බොහෝ වැන්දඹුවන් සිටියත් එලියාව ඔවුන්ගෙන් කිසිවෙකු වෙතට යැව්වේ නැති බවයි. ඒ වෙනුවට, ඔහු ගියේ සීදොන්හි විසූ ඊශ්‍රායෙල් නොවන වැන්දඹු ස්ත්‍රියක් වෙතටයි. එහිදී ඔහු ජීවිත ගලවන ප්රාතිහාර්යයක් සිදු කළා. ඒ වගේම, එලිෂාගේ දවස්වලදී බොහෝ ලාදුරු රෝගීන් සිටියත් එලිෂා පවිත්‍ර කළේ සිරියාවේ නාමන්ව පමණයි.
මේ ඓතිහාසික වාර්තා ඔවුන්ට සම්බන්ධ කිරීමෙන් ඔවුන්ගේ ආත්මාර්ථකාමිත්වය හා ඇදහිල්ලේ ඌනතාව හෙළි වන නිසා සිනගෝගයේ සිටින අය කෝපයට පත් වෙනවා. ඔවුන් නැඟිට යේසුස්ව නුවරෙන් පිටතට ඇදගෙන යනවා. ඔවුන් උත්සාහ කරන්නේ නාසරෙත් නුවර ගොඩනඟා තිබෙන කඳු මුදුනෙන් පහළට ඔහුව තල්ලු කරන්නයි. එහෙත් යේසුස් ඔවුන්ගේ ග්රහණයෙන් මිදී සුරක්ෂිතව පලා යනවා. ලූක් 4:16-30, NW; 1 රාජාවලිය 17:8-16; 2 රාජාවලිය 5:8-14.
▪ නාසරෙත්වල යම් උද්යෝගිමත් ස්වභාවයක් තිබෙන්නේ ඇයි?
▪ යේසුස් පවත්වන කතාව ගැන මනුෂ්‍යයන් සිතන්නේ කුමක්ද? නමුත් ඔවුන් අතිශයින් කෝපයට පත් වන්නේ ඇයි?
▪ මනුෂ්‍යයන් වෑයම් කරන්නේ යේසුස්ට කුමක් කරන්නද?