27වෙනි පරිච්ඡේදය
මතෙව්ව කැඳවීම
අංශභාග රෝගියා සුව කළ පසු යේසුස් යන්නේ කපර්ණවුමේ සිට ගලීල මුහුද වෙතටයි. නැවත වරක් ඔහු වටා විශාල සෙනඟක් එක් රොක් වන නිසා ඔහු ඔවුන්ට උගන්වන්න පටන්ගන්නවා. ගමන් කරන අතරේදී අයබදු කාර්යාලයේ ලෙවී යන නමිනුත් හඳුන්වන මතෙව් සිටිනවා දකින යේසුස් ඔහුට ආරාධනා කරන්නේ “මාගේ අනුගාමිකයා වන්න” කියායි.
පේතෘස්, අන්දෘ, යාකොබ් සහ යොහන්ව කැඳවන අවස්ථාවලදී ඔවුන් යේසුස්ගේ ඉගැන්වීම් දැන සිටියා වගේම මතෙව්ද දැනටමත් ඒ ඉගැන්වීම් දැන සිටිනවා විය හැකියි. ඔවුන් වගේම මතෙව්ද ඔහුගේ ආරාධනයට විගස ප්‍රතිචාරය දක්වනවා. ඔහු නැඟිට බදු එකතු කරන්නෙක් වශයෙන් තමන්ට ඇති වගකීම් අත්හැරලා යේසුස් පසුපස යනවා.
පසුව, මතෙව් ඔහුගේ නිවසේදී විශාල ප්‍රිය සාදයක් පවත්වනවා. සමහරවිට ඔහු තම කැඳවීම සැමරීමට එය පවත්වන්න ඇති. යේසුස් සහ ඔහුගේ ගෝලයන්ට අමතරව තවත් අය පැමිණ සිටිනවා. ඒ මතෙව් කලින් ආශ්‍රය කළ අයයි. වෛරයට ලක් වූ රෝම අධිකාරීන් සඳහා බදු එකතු කරන නිසා මේ අයව සාමාන්‍යයෙන් සෙසු යුදෙව්වන් විසින් හෙළා දකිනවා. ඒ විතරක් නොවෙයි, ඔවුන් බොහෝ අවස්ථාවලදී වංචනික ලෙස මිනිසුන්ගෙන් නියම අයබදු ප්‍රමාණයට වඩා වැඩි මුදලක් අය කරනවා.
එවැනි පුද්ගලයන් සහභාගි වන ප්‍රිය සාදයකට යේසුස්ද පැමිණ සිටිනවා දැක “ඔබේ ගුරුතුමා බදු එකතු කරන්නන් හා පව්කාරයන් සමඟ කන්නේ මන්ද” කියා පරිසිවරුන් ඔහුගේ ගෝලයන්ගෙන් අසනවා. යේසුස්ට එම ප්රශ්නය ඇසී පරිසිවරුන්ට පිළිතුරු දෙන්නේ මේ ආකාරයටයි. “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් වැඩක් නැත. එබැවින් ගොස්, ‘මට අවශ්‍ය දයාව මිස පූජාව නොවේ’ යන කීමේ අර්ථය ඉගෙනගන්න. මන්ද මා ආවේ පව්කාරයන් කැඳවන්ට මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නොවේ.”
පෙනෙන ආකාරයට, මතෙව් මේ බදු එකතු කරන්නන්ව තම නිවසට කැඳවා තිබෙන්නේ යේසුස්ට සවන් දී ආත්මික සුවය ලබාගැනීමට ඔවුන්ට අවස්ථාවක් දෙන්නයි. ඉතිං යේසුස් ඔවුන් සමඟ ආශ්‍රය කරන්නේ දෙවි සමඟ හිතකර සබඳතාවක් අත් කරගැනීම සඳහා ඔවුන්ට උපකාර කිරීමටයි. ආත්ම-ධර්මිෂ්ඨ පරිසිවරුන්ට වෙනස්ව යේසුස් ඔවුන්ව හෙළා දකින්නේ නැහැ. ඒ වෙනුවට අනුකම්පාවෙන් පෙලඹෙන ඔහු ආත්මික වෛද්‍යවරයෙක් මෙන් ඔවුන්ට උදව් කරනවා.
ඉතිං පව්කාරයන් කෙරෙහි යේසුස් අනුකම්පාව දැක්වීමෙන් ඔහු කරන්නේ පාප අනුමත කිරීමක් නොවෙයි. ඒ වෙනුවට ඔහුට ශාරීරික ලෙඩ රෝගවලින් පෙළෙන අය කෙරෙහි ඇති වන ආකාරයේ මුදු මොළොක් හැඟීම්ම තමයි මොවුන් කෙරෙහිත් ඇති වන්නේ. උදාහරණයක් හැටියට, ඔහු දයානුකම්පිත ලෙස ලාදුරු රෝගියා වෙතට ළං වෙමින් ඔහුව ස්පර්ශ කර “මා කැමතියි. පවිත්‍ර වෙන්න” කියා පැවසූ හැටි මතකයට නඟන්න. අවශ්‍යතා ඇති අයට උපකාර කරමින්, විශේෂයෙන්ම ආත්මික ආකාරයකින් උපකාර කරමින් අපිත් ඒ හා සමානව අනුකම්පාව පෙන්වමු. මතෙව් 8:3; 9:9-13; මාක් 2:13-17; ලූක් 5:27-32; NW.
▪ යේසුස් මතෙව්ව දකින විට ඔහු සිටින්නේ කොතැනද?
▪ මතෙව්ගේ වෘත්තිය කුමක්ද? වෙනත් යුදෙව්වන් විසින් එවැනි මිනිසුන්ව හෙළා දකින්නේ ඇයි?
▪ යේසුස්ට එරෙහිව කරන පැමිණිල්ල කුමක්ද? ඔහු ඊට ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද?
▪ යේසුස් පව්කාරයන් සමඟ ආශ්‍රය කරන්නේ ඇයි?