77වෙනි පරිච්ඡේදය
උරුමය පිළිබඳ ප්රශ්නය
යේසුස් පරිසිවරයාගේ නිවසෙහි ආහාර ගනිමින් සිටිනවා කියා මනුෂ්‍යයන් දන්නවා. ඒ නිසා, යේසුස් නිවසෙන් පිටතට පැමිණෙන විට, ඔහු එන තෙක් බලා සිටින දහස් ගණනක් ඒ අසල එක් රොක් වී සිටිනවා. යේසුස්ව වැරදි යමක් කීමට පොලඹවා ඔහුව හසු කරගැනීමට වෑයම් කරන හා විරෝධය පාන පරිසිවරුන්ට වඩා හාත්පසින්ම වෙනස්ව මේ මනුෂ්‍යයන් යේසුස්ට සවන් දෙන්නේ ඉතා උනන්දුවෙන් හා අගයෙන් යුතුවයි.
මුලින්ම, යේසුස් තම ගෝලයන් වෙතට හැරී, “කුහකකම නමැති පරිසිවරුන්ගේ මුහුන්වලින් පරෙස්සම් වන්න” කියා පවසනවා. පරිසිවරයාගේ නිවසේදී ආහාර ගත් අවස්ථාවේදී පැහැදිලි වූ ආකාරයට, පරිසිවරුන්ගේ ආගමික ක්‍රමය මුළුමනින්ම කුහකකමින් පිරී තිබෙනවා. පරිසිවරුන්ගේ දුෂ්ටකම ධර්මිෂ්ඨකමේ බොරු මවා පෑමකින් සැඟවී තිබුණත්, අන්තිමේදී එය හෙළි වන බව නිසැකයි. යේසුස් එය පැහැදිලි කරන්නේ මෙලෙසයි. “දැන් හොඳින් සඟවා තිබෙන කිසි දෙයක් හෙළි නොකරනු ලබන්නේවත් දැන් රහසක්ව තිබෙන දෙයක් ප්‍රසිද්ධ නොකරනු ලබන්නේවත් නැත.”
යේසුස් ගෝලයන් 12දෙනාව ගලීලයේ දේශනා සංචාරය සඳහා පිටත් කර යවද්දී ඔවුන්ට දුන් දිරිගැන්වීමම ඔහු නැවතත් මේ අයුරින් සඳහන් කරනවා. “ශරීරය නැසුවත් ඊට වැඩි දෙයක් කළ නොහැකි අයට බිය නොවන්න.” දෙවි එක ගේ කුරුල්ලෙකුවත් අමතක නොකරන නිසා දෙවි ඔවුන්වත් අමතක නොකරන බව යේසුස් තම අනුගාමිකයන්ට සහතික කරනවා. “ඔවුන් ඔබව පොදු රැස්වීම් ශාලාවලටද, ආණ්ඩුවේ නිලධාරීන් සහ අධිකාරීන් ඉදිරියටද ගෙන යන කල, . . . ඔබ කිව යුතු දේ ඒ පැයේදීම ශුද්ධාත්මය ඔබට කියා දෙන්නේය” කියා යේසුස් ප්‍රකාශ කරනවා.
සෙනඟ අතරෙහි සිටින මනුෂ්‍යයෙක් කතා කරමින්, “ගුරුතුමෙනි, මා සමඟ උරුමය බෙදාගන්න මාගේ සහෝදරයාට කියන්න” කියා ඉල්ලා සිටිනවා. කුලුඳුල් පුත්‍රයාට උරුමයෙන් කොටස් දෙකක් දීමට මෝසෙස්ගේ නීතියෙන් නියම කරනවා. ඉතිං, ආරවුලක් ඇතිවීමට ඇත්තෙන්ම කිසිම හේතුවක් නැහැ. නමුත් මෙම මනුෂ්‍යයාට ඔහුගේ නීත්‍යනුකූල කොටසට වඩා වැඩි යමක් අවශ්‍ය වී තිබෙන බව පෙනෙන්න තිබෙනවා.
යේසුස් එම ප්‍රශ්නයට මැදිහත් වීමට අකමැති වන්නේ යෝග්‍ය ලෙසයි. ඔහු මෙසේ අසනවා. “මිත්‍රය, ඔබ සියල්ලන් කෙරෙහි විනිශ්චයකාරයෙකු ලෙස හෝ දේපළ බෙදන්නෙකු ලෙස හෝ මාව පත් කළේ කවුද?” ඊළඟට ඔහු සෙනඟට මෙම ඉතා වැදගත් උපදෙස දෙනවා. “සෝදිසියෙන් සිටිමින්, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වන්න. මන්ද යමෙකුට කොපමණ තිබුණත් ඔහු සන්තක දේවල්වලින් ඔහුට ජීවිතය ලැබෙන්නේ නැත.” ඇත්තෙන්ම මනුෂ්‍යයෙකුට කොපමණ දේපොළ තිබුණත්, මිය යන විට ඒ සියල්ලම අත්හැර යෑමට ඔහුට සිදු වෙනවා. මෙම කාරණය පැහැදිලි කිරීමටත් දෙවි සමඟ හොඳ නාමයක් ගොඩනැඟීමට අසමත් වීමේ ඇති අඥානකම පෙන්වා දීමටත් යේසුස් උපමාවක් යොදාගන්නවා. ඔහු එය පැහැදිලි කරන්නේ මෙලෙසයි.
“එක්තරා ධනවතෙකුගේ වත්තෙන් හොඳ පලදාවක් ලැබුණේය. එබැවින් ඔහු, ‘මා කුමක් කළ යුතුද? මාගේ පලදාව රැස් කර තබන්න දැන් මට කිසිම ඉඩක් නැත’ කියා කල්පනා කරන්න පටන්ගත්තේය. එහෙයින් ඔහු මෙසේ කීවේය: ‘මම මෙසේ කරමි. මම මාගේ ගබඩා කඩා දමා වඩා විශාල ඒවා ගොඩනඟා, එහි මාගේ මුළු ධාන්‍ය තොගය සහ මාගේ වටිනා සියලු දේ රැස් කර, මටම මෙසේ කියාගන්නෙමි: “ඔබ වෙනුවෙන් අවුරුදු ගණනකට හොඳ දේවල් බොහොමයක් රැස් කර තිබේ. විවේක සුවයෙන් හිඳ, කා බී, ප්‍රීති වන්න.”’ නමුත් දෙවි, ‘අඥානය, අද රාත්‍රියෙදීම ඔබේ ජීවිතය ඉල්ලනු ලැබේ. එවිට, ඔබ රැස් කළ මේ දේ ලැබෙන්නේ කාටද’ කියා ඇසීය.”
අවසාන වශයෙන්, යේසුස් මෙලෙස පවසනවා. “දෙවි ඉදිරියෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස් කරගන්නාට වන්නේත් ඒ දේමය.” ගෝලයන්, අඥාන ලෙස වස්තු රැස් කරගැනීමේ උගුලට හසු නොවී සිටිනවා විය හැකියි. එහෙත් ජීවිතයේ දෛනික කටයුතු නිසා පහසුවෙන්ම ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු වී යෙහෝවාට ආත්ම පූර්ණ සේවයක් පිරිනැමීමට ඔවුන් අපොහොසත් විය හැකියි. ඒ නිසා, යේසුස් මෙම අවස්ථාව යොදාගන්නවා, වසර එකහමාරකට පමණ පෙර කන්ද උඩ දේශනාවේදී දුන් කදිම උපදෙස් නැවත කීමට. තම ගෝලයන් වෙතට හැරී, ඔහු මෙලෙස පවසනවා.
“මේ නිසා මම ඔබට කියමි, කුමක් කන්නේද කියා ඔබේ ජීවිත ගැන හෝ කුමක් අඳින්නේද කියා ඔබේ ශරීර ගැන හෝ කනස්සලු වීම නතර කරන්න. . . . කපුටන් බීජ වපුරන්නේ හෝ අස්වැන්න නෙළාගන්නේ හෝ නැති බවත්, උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැති බවත් හොඳින් සිහියට ගන්න. එහෙත් දෙවි උන්ව පෝෂණය කරන්නේය. . . . ලිලී මල් වැවෙන ආකාරය හොඳින් සිහියට ගන්න. ඒවා මහන්සි වී වැඩ කරන්නේවත් නූල් කටින්නේවත් නැත. නමුත් මම ඔබට කියමි, සලමොන් සිය සියලු තේජසින් යුක්තව සිටියදී පවා මෙයින් එකකට සමානව පැළඳ සිටියේ නැත. . . .
“එබැවින් කුමක් කන්නේද කියාවත් කුමක් බොන්නේද කියාවත් සෙවීම නතර කරන්න. තවද ඒ ගැන කරදර වී දෙගිඩියාවෙන් සිටීම නතර කරන්න. මන්ද, ලෝකයේ ජාතීන් මහත් උනන්දුවකින් හඹා යන්නේ මේ සියල්ල පසුපසය. නමුත් මේ දේවල් ඔබට අවශ්‍ය බව ඔබේ පියාණන් දන්නේය. එහෙයින් ඔහුගේ රාජ්‍යය නොකඩවා සොයන්න. එවිට මේ දේවල් ඔබට දෙනු ලැබේ.”
යේසුස්ගේ වචනවලට විශේෂ අවධානයක් දිය යුත්තේ ආර්ථික දුෂ්කරතා තිබෙන කාලවලදීයි. ඇත්තෙන්ම, තම ලෞකික අවශ්‍යතා ගැන වුවමනාවට වඩා කනස්සලු වී, ආත්මික දේවල් ලුහුබැඳීම නතර කිරීමට පටන්ගන්නා තැනැත්තා, තම සේවකයන්ට අවශ්‍ය දේ සපයා දීමට දෙවිට ඇති හැකියාව කෙරෙහි ඇදහිල්ලේ ඌනතාවක් විදහාපෙන්වනවා. ලූක් 12:1-31, NW; ද්විතීය කථාව 21:17.
▪ එම මනුෂ්‍යයා උරුමය ගැන අසන්නේ කුමක් නිසා විය හැකිද? යේසුස් දෙන උපදෙස කුමක්ද?
▪ යේසුස් යොදාගන්නා උපමාව කුමක්ද? එයින් ඉගෙනගත හැකි පාඩම කුමක්ද?
▪ යේසුස් නැවතත් සඳහන් කරන උපදෙස කුමක්ද? එය උචිත වන්නේ ඇයි?