109වෙනි පරිච්ඡේදය
යේසුස් තම විරුද්ධවාදීන්ව හෙළා දකී
යේසුස් තම ආගමික විරුද්ධවාදීන්ව නිරුත්තර කර තිබෙන නිසා ඔහුගෙන් තව ප්‍රශ්න ඇසීමට තරම් එඩිතරකමක් ඔවුන්ට නැහැ. ඒ නිසා ඔවුන්ගේ අඥානකම හෙළි කිරීමට මුල පුරමින් ඔහු ඔවුන්ගෙන් මෙසේ විමසනවා. “ඔබ ක්‍රිස්තුස් ගැන සිතන්නේ කුමක්ද? ඔහු කාගේ පුත්‍රයාද?”
“දාවිත්ගේ” යයි පරිසිවරු පවසනවා.
ක්‍රිස්තුස් හෙවත් මෙසියස්ගේ මාංසික මුතුන්මිත්තා දාවිත් බව යේසුස් ප්‍රතික්ෂේප නොකළත්, ඔහු මෙසේ අසනවා. “එසේ නම් [ගීතාවලිය 110හි] දාවිත් ආනුභාවයෙන් ඔහුට ‘ස්වාමීන්’ යයි කියන්නේ කෙසේද? මන්ද ඔහු, ‘යෙහෝවා මාගේ ස්වාමීන්ට කතා කොට: “මා ඔබේ සතුරන්ව ඔබේ පාද යට දමන තුරු මාගේ දකුණු පැත්තේ ඉඳගන්න” යයි පැවසුවේය’ කියා කීවේය. එබැවින් දාවිත් ඔහුට ‘ස්වාමීන්’ යයි කියනවා නම්, ඔහු දාවිත්ගේ පුත්‍රයා වන්නේ කෙසේද?”
පරිසිවරුන් ක්‍රිස්තුස්ගේ හෝ අභිෂේක ලත් තැනැත්තාගේ නියම අනන්‍යතාව නොදන්නා නිසා, ඔවුන් නිශ්ශබ්දව සිටිනවා. පෙනෙන ආකාරයට පරිසිවරුන් විශ්වාස කරන්නේ මෙසියස් දාවිත්ගෙන් පැවතෙන සාමාන්‍ය මනුෂ්‍යයෙක් කියායි. එහෙත් ඇත්තවශයෙන්ම ස්වර්ගයෙහි ජීවත් වූ ඔහු, දාවිත්ට වඩා උතුම් කෙනෙක්. වෙනත් ආකාරයකින් පැවසුවොත් ඔහු දාවිත්ගේ ස්වාමියායි.
දැන් යේසුස් සෙනඟ හා ඔහුගේ ගෝලයන් වෙතට හැරී ලියන්නන් හා පරිසිවරුන් සම්බන්ධයෙන් අනතුරු අඟවනවා. දෙවිගේ නීතිය උගන්වමින් “මෝසෙස්ගේ ආසනයට ගොස් ඔවුන්ම වාඩි වී” සිටින නිසා, “ඔවුන් ඔබට කියන සියල්ල කරන්න. ඒවා පවත්වන්න” කියා යේසුස් ඔවුන්ට උනන්දු කරනවා. “නමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරන්න. මන්ද ඔවුන් කියනවා මිස කරන්නේ නැත” කියා ඔහු තවදුරටත් පවසනවා.
ඔවුන් කුහකයෝ. ඒ විතරක් නෙවෙයි, මාස ගණනාවකට පෙර එක්තරා පරිසිවරයෙකුගේ නිවසේ ආහාර ගනිමින් සිටින අවස්ථාවේදී කළ ආකාරයටම යේසුස් ඔවුන්ව හෙළා දකිනවා. “ඔවුන් සෑම දෙයක්ම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිසය.” ඒ සඳහා ඔහු දැන් උදාහරණ සපයනවා.
“ඔවුහු තම ආරක්ෂාව පිණිස පළඳින ෆිලක්තාරි පළල් කරගනිති.” නළලේ හෝ අතේ ඉහළ කොටසේ පළඳින මේ ෆිලක්තාරි හෙවත් ශුද්ධ ලියවිලි පාඨ ඇතුළත් කුඩා පෙට්ටි තුළ නික්මයාම 13:1-10, 11-16; සහ ද්විතීය කථාව 6:4-9; 11:13-21 යන නීතියේ කොටස් සතර අන්තර්ගත වුණා. එහෙත් නීතිය සම්බන්ධයෙන් තමන් දැඩි උද්යෝගයකින් සිටින බව ඇඟවීමට පරිසිවරු මෙම ෆිලක්තාරිවල ප්‍රමාණය විශාල කරනවා.
ඔවුන් “තමුන්ගේ වස්ත්‍රවල දාවලු මහත් කරති” කියා යේසුස් තවදුරටත් පවසනවා. ගණන් කථාව 15:38-40හි ඊශ්‍රායෙල්වරුන්ට අණ කර තිබුණා තමන්ගේ වස්ත්‍රවල දාවලු සෑදීමට. නමුත් පරිසිවරු තමන්ගේ දාවලු අන් සෑම කෙනෙකුගේ ඒවාට වඩා විශාල කරගන්නවා. ඔවුන් සෑම දෙයක්ම කරන්නේ සියල්ලන්ටම පෙනෙන පිණිසයි! ඔවුන් ‘ප්‍රධානතම ස්ථානයට කැමතිය’ කියා යේසුස් පවසනවා.
කනගාටුදායක ලෙස, ප්‍රසිද්ධිය ලැබීමට ඇති මෙම ආශාව ඔහුගේ ගෝලයන්ටත් බලපා තිබෙනවා. එනිසා ඔහු උපදෙස් දෙන්නේ මෙසේයි. “ඔබ, රබ්බියයි කියවා නොගන්න. මන්ද ඔබට ඉන්නේ එකම ගුරුතුමෙකි. ඔබ සියල්ලෝම සහෝදරයෝය. තවද, පොළොවෙහිදී කාටවත් පියාණන්යයි නොකියන්න. මන්ද ඔබට ඉන්නේ එකම පියෙකි. ඒ ස්වර්ගයෙහි සිටින තැනැත්තාය. ‘නායකයන්’ කියාවත් කියවා නොගන්න. මන්ද ඔබට ඉන්නේ එකම නායකයෙකි. ඒ ක්‍රිස්තුස්ය.” ගෝලයන්, ප්‍රථමයා වීමට තමන් තුළ තිබෙන ආශාව මුලිනුපුටා දැමිය යුතුයි! යේසුස් ඔවුන්ට උපදෙස් දෙන්නේ, “ඔබ අතරේ උතුම්ම තැනැත්තා ඔබේ සේවකයා විය යුතුය” කියායි.
ඔහු ඊළඟට, ලියන්නන් හා පරිසිවරුන්ට අත් වන දුක ගැන ප්‍රකාශ කරමින් කිහිප වතාවක්ම ඔවුන්ව කුහකයන් ලෙස හඳුන්වනවා. ඔහු පවසන පරිදි, ඔවුන් “මිනිසුන් ඉදිරියෙහි ඇති ස්වර්ග රාජ්‍යය වසන්නහුය.” තවද “මොවුහු වැන්දඹුවන්ගේ ගෙවල් නාස්ති කර දමන අතර, අනුන්ට පෙනෙන ලෙස දීර්ඝ යාච්ඤා කරති.”
“අන්ධ මඟ පෙන්වන්නෙනි, ඔබට දුක් වේ” යයි යේසුස් පවසනවා. ඔහු පරිසිවරුන්ව හෙළා දකින්නේ ඔවුන් තුළ ආත්මික සාරධර්ම නොමැති නිසයි. ඔවුන් හිතුමතේට ගන්නා තීරණවලින් මෙය පැහැදිලිව දක්නට තිබෙනවා. උදාහරණයකට ඔවුන් කියා සිටිනවා, ‘යමෙකු දේවමාලිගාවේ නාමයෙන් දිවුරුවොත් එය නිෂ්ඵල දෙයක්. නමුත් යමෙකු දේවමාලිගාවේ රන්වල නාමයෙන් දිවුරුවොත් ඔහු බැඳී සිටිනවා’ කියා. නමස්කාරය පිරිනමන ස්ථානය වන දේවමාලිගාවේ ආත්මික වටිනාකමට වඩා එහි රන්වලට වැඩි අවධානයක් දීමෙන් ඔවුන් හොඳ නරක වෙන් කරගැනීමට නොහැකි තරමට අන්ධ තත්වයක සිටින බව ඔවුන් හෙළි කරනවා.
යේසුස් කලින් කළාක් මෙන් දැනුත්, “යුක්තිය, දයාව, විශ්වාසවන්තකම යන නීතියේ වඩා බැරෑරුම් කාරණා” නොසලකා හරිමින් එතරම් වැදගත්කමක් උසුලන්නේ නැති පලාවලින් දසයෙන් කොටසක් ගෙවීම වෙතට වැඩි අවධානයක් දීම ගැන පරිසිවරුන්ව හෙළා දකිනවා.
යේසුස් පරිසිවරුන්ව හඳුන්වන්නේ ‘මදුරුවා අයින් කර ඔටුවා ගිල දමන අන්ධ මඟ පෙන්වන්නන්’ වශයෙනුයි. ඔවුන් තමන් බොන වයින්වල සිටින මදුරුවාව ඉවත් කරන්නේ ඌ කෘමියෙක් වන නිසා පමණක් නොව, නමුත් එය චාරිත්‍රානුකූලව අපිරිසිදු වන නිසයි. එහෙත්, ඔවුන් නීතියේ වඩා වැදගත් කාරණා නොසලකා හැරීම, චාරිත්‍රානුකූලව අපිරිසිදු සතෙකු වන ඔටුවෙකු ගිල දැමීමට සමාන කළ හැකියි. මතෙව් 22:41–23:24; මාක් 12:35-40; ලූක් 20:41-47; NW; ලෙවී කථාව 11:4, 21-24.
▪ ගීතාවලිය 110හි දාවිත් පැවසූ දෙය පිළිබඳව යේසුස් පරිසිවරුන්ගෙන් ප්‍රශ්න කරන විට ඔවුන් නිශ්ශබ්දව සිටින්නේ මන්ද?
▪ පරිසිවරුන් ශුද්ධ ලියවිලි පාඨ ඇතුළත් ෆිලක්තාරි පළල් කර, ඔවුන්ගේ වස්ත්‍රවල දාවලු මහත් කරන්නේ මන්ද?
▪ යේසුස් ගෝලයන්ට දෙන්නේ කිනම් උපදේශයක්ද?
▪ පරිසිවරුන් හිතුමතේට ගන්නා තීරණ මොනවාද? වඩාත් වැදගත් කාරණා නොසලකා හැරීම ගැන යේසුස් ඔවුන්ව හෙළා දකින්නේ කෙසේද?