9වන කොටස
අප ‘අවසාන කාලයේ’ ජීවත් වන බවට සාක්ෂි
1, 2. අපි ජීවත් වන්නේ අවසාන කාලයේද කියා දැනගත හැක්කේ කෙසේද?
දෙවිගේ රාජ්‍යය දුෂ්ට සමාජ ක්‍රමයට විරුද්ධව පියවර ගන්නේ මේ කාලයේදී කියා පැවසීමට තිබෙන සාක්ෂි මොනවාද? දෙවි සියලුම දුෂ්ටකම් සහ දුක් පීඩාවලට අවසානයක් ගෙනෙන කාලය අත ළඟයි කියා අප දන්නේ කොහොමද?
2 දුෂ්ටකම්වලට දෙවි නිමාවක් ගෙනෙන කාලය ගැන දැනගන්න යේසුස්ගේ ගෝලයන්ට අවශ්‍ය වුණා. ඒ නිසා ඔවුන් එක අවස්ථාවකදී යේසුස්ගෙන් මෙසේ ඇසුවා. “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?” (මතෙව් 24:3) ඊට පිළිතුරක් වශයෙන් ‘අවසාන කාලය’ කුමක්ද කියා හඳුනාගැනීමට ඒ කාලයේදී සිදු වීමට නියමිත දේවල් කිහිපයක් ගැන යේසුස් පැහැදිලි කළා. (දානියෙල් 11:40; 2 තිමෝති 3:1) ඒ දේවල් මේ කාලයේ සිදු වන බව ඉතා පැහැදිලිව දකින්න තිබෙනවා.
ලෝක යුද්ධ
3, 4. විසිවන සියවසේදී සිදු වූ යුද්ධ නිසා යේසුස් පැවසූ අනාවැකිය ඉටු වුණේ කෙසේද?
3 අවසාන කාලයේදී “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත්” යුද්ධ කරනවා කියා යේසුස් පැවසුවා. (මතෙව් 24:7) වර්ෂ 1914දී මිනිස් ඉතිහාසයේ මුල්ම වතාවට විවිධ ජාතීන් සහ රාජ්‍යයන් එකිනෙකාට විරුද්ධව යුද්ධ කිරීමත් සමඟම යේසුස් පැවසූ එම වදන් සැබෑවක් වුණා. ඉතිහාසඥයන් එය හැඳින්වූයේ “මහා යුද්ධය” ලෙසයි. වැඩිම මිනිස් ජීවිත ගණනක් අහිමි කළ ඉතිහාසයේ සිදු වූ මුල්ම බිහිසුණු යුද්ධය එයයි. ඉන් සෙබළුන් හා සාමාන්‍ය මිනිසුන් කෝටි දෙකක් පමණ මිය ගියා.
4 අවසාන කාල පරිච්ඡේදය ඇරඹුණේ පළමු ලෝක මහා යුද්ධයත් සමඟයි. කොහොමවුණත් එවැනි දේවල් “දරුණු විපත්වල ආරම්භයක් පමණයි” කියා යේසුස් පවසා තිබුණා. (මතෙව් 24:8) ඔහු ඉන් අදහස් කළේ තවත් දරුණු දේවල් සිදු වීමට නියමිතව තිබූ බවයි. වර්ෂ 1939දී දෙවන ලෝක මහා යුද්ධය ඇති වීමත් සමඟම එය සැබෑවක් වුණා. ඒ යුද්ධය පළමු එකට වඩා දරුණු වූ අතර ඉන් සෙබළුන් හා සාමාන්‍ය මිනිසුන් කෝටි පහක් පමණ මිය ගියා. විසිවන සියවසේදී පමණක් යුද්ධ හේතුවෙන් මිනිසුන් දසකෝටියක් මිය ගොස් ඇති අතර පසුගිය අවුරුදු 400 තුළ සිදු වූ යුද්ධවලින් මිය ගිය සංඛ්‍යාව මෙන් එය හතර ගුණයකටත් වඩා වැඩියි. මිනිස් පාලන කොතරම් අසාර්ථකද කියා ඉන් ඔප්පු වෙන්නේ නැද්ද!
තවත් සාක්ෂි
5-7. අප අවසාන කාලයේ ජීවත් වන බවට තිබෙන තවත් සාක්ෂි මොනවාද?
5 අවසාන කාලයේදී සිදු වීමට නියමිත තවත් භයානක දේවල් ගැන සඳහන් කරමින් යේසුස් මෙසේ පැවසුවා. “මහත් භූමිකම්පාත් ඇති වෙයි. ඒ වගේම එක් තැනක් පාසා තවත් තැනක වසංගතද ආහාර හිඟකම්ද ඇති වෙයි.” (ලූක් 21:11) වර්ෂ 1914 සිට එවැනි දරුණු විපත් වැඩි වැඩියෙන් සිදු වී ඇති බවට සාක්ෂි තිබෙනවා.
6 ලොව පුරා සිදු වන ප්‍රබල භූමිකම්පා හේතුවෙන්ද බොහෝ මිනිසුන් මිය යනවා. පළමු ලෝක මහ යුද්ධයත් සමඟම පැතිරී ගිය ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාව නිසා මිනිසුන් කෝටි දෙකක් මිය ගියා. ඇතැමුන් පවසන්නේ එම සංඛ්‍යාව කෝටි තුනක් හෝ ඊට වැඩි විය යුතුයි කියායි. ඒඩ්ස් රෝගය හේතුවෙන්ද මිනිසුන් ලක්ෂ ගණනක් මිය ගොස් තිබෙනවා. එමෙන්ම හෘදයාබාධ, පිළිකා හා වෙනත් රෝග නිසා සෑම අවුරුද්දකම මිනිසුන් ලක්ෂ ගණනකට ජීවිත අහිමි වෙනවා. සාගින්න හේතුවෙන්ද ලක්ෂ ගණනක් මිය යනවා. බයිබලයේ එළිදරව් පොතේ සඳහන් වන අසරුවන් තිදෙනාගෙන් නියෝජනය කරන යුද්ධ, ආහාර හිඟකම් සහ වසංගත නිසා 1914 සිට මිනිසුන් අපමණ සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.—එළිදරව් 6:3-8.
7 අවසාන කාලයේදී අපරාධ ක්‍රියා වැඩි වෙන බවත් යේසුස් පැවසුවා. “අධර්මිෂ්ඨ ක්‍රියා වැඩි වන නිසා වැඩිදෙනාගේ ප්‍රේමයද හීන වී යයි” කියා ඔහු පැවසුවේ ඒ නිසයි.—මතෙව් 24:12.
8. දෙවන තිමෝති 3වන පරිච්ඡේදයේ සඳහන් අනාවැකිය මේ කාලයේදී ඉටු වෙන්නේ කෙසේද?
8 අවසාන කාලයේදී මිනිසුන්ගේ ගතිගුණ පිරිහෙන බව බයිබලයේ මෙසේ පෙන්නුම් කර තිබෙනවා. ‘අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත. මීට අමතරව මිනිසුන්ට පෙනෙන්න ඔවුන් දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත් ඔවුන් ඇත්තටම ක්‍රියා කරන්නේ ඒ භක්තියට පටහැනිවය. දුෂ්ට මිනිසුන් සහ ප්‍රෝඩාකාරයන් තව තවත් නරක අතට හැරෙනු ඇත.’ (2 තිමෝති 3:1-13) වෙන කවරදාකටත් වඩා අද එවැනි දේවල් සිදු වෙන බව ඔබ පිළිගන්නේ නැද්ද!
තවත් හේතුවක්
9. අවසාන කාලය ආරම්භ වීමත් සමඟම ස්වර්ගයේ සිදු වුණේ කුමක්ද?
9 මිනිස් වර්ගයා වැඩි වැඩියෙන් දුක් ගාවිනා අද්දැකීමට තවත් සිද්ධියක් බලපා තිබෙනවා. එය සිදු වුණේ වර්ෂ 1914දී අවසාන කාල පරිච්ඡේදය ආරම්භ වීමත් සමඟයි. ඒ ගැන බයිබලයේ මෙසේ විස්තර කර තිබෙනවා. “ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය. මිකායෙල් [එනම් ස්වර්ගයේ බලයට පත් වී සිටින යේසුස්] සහ ඔහුගේ දූතයෝ මකරාට [එනම් යක්ෂයාට] විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන් [එනම් භූතයන්] යුද්ධ කළත්, ඌ ජය ගත්තේ නැත. එතැන් පටන් ඔවුන්ට ස්වර්ගයෙහි තිබුණු ස්ථානය අහිමි විය. එහෙයින් ඒ මහත් මකරාව පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම් යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයාය. ඔහුව පොළොවට හෙළන ලදි. ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය.”—එළිදරව් 12:7-9.
10, 11. යක්ෂයා සහ භූතයන් පොළොවට හෙළනු ලැබූ විට එය මිනිස් වර්ගයාට බලපෑවේ කෙසේද?
10 එම සිදුවීම මිනිස් සමාජයට බලපා තිබෙන්නේ කෙසේද? ඊට පිළිතුර එම අනාවැකියේම මෙසේ සඳහන් වෙනවා. “පොළොවටත් මුහුදටත් මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේද! මන්ද තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින යක්ෂයා, මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි.” යක්ෂයාගේ බලය යටතේ පවතින සමාජය දෙවි ඉතා ඉක්මනින් විනාශ කර තමාව නිහඬ කරන බව යක්ෂයා හොඳින්ම දන්නවා. ඒ නිසා ඊට කලින් හැකි තරම් දෙනෙකුව දෙවිගෙන් ඈත් කරන්න ඔහු වියරු උත්සාහයක යෙදී සිටිනවා. (එළිදරව් 12:12; 20:1-3) එමෙන්ම තීරණ ගන්න තිබුණු නිදහස වැරදි ආකාරයෙන් භාවිත කළ නිසා යක්ෂයාට එකතු වූ භූතයන්ද ඉතාමත් පහත් තත්වයකට පත් වී තිබෙනවා. ඔවුන්ගේ බලපෑම නිසා 1914 සිට මේ ලෝකයේ සිදු වන දේවල් තව තවත් භයානක වී තිබෙනවා.
11 අප ජීවත් වන මේ කාලයේදී “මිනිස්සු බිහිසුණු දේවල් දකින අතර ඔවුන් අහසෙහි සිදු වන පුදුමාකාර ලකුණුද දකියි” කියා යේසුස් පැවසුවා. අපි ඒ ගැන පුදුම විය යුතු නැහැ.—ලූක් 21:11.
භූතයන්ගේ සහ මිනිසුන්ගේ පාලනයට නිමාවක්
12. මෙම දුෂ්ට සමාජය විනාශ වීමට කලින් ඉටු විය යුතු එක් අනාවැකියක් කුමක්ද?
12 මෙම දුෂ්ට සමාජය විනාශ වීමට පෙර ඉටු වීමට ඉතුරු වී තිබෙන්නේ අනාවැකි කිහිපයක් පමණයි. ඉන් එක් අනාවැකියක් වන්නේ මෙයයි. ‘මෙන්න, සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා කියා පවසමින් සිටින විට නොදැනුවත්වම හදිසි විනාශයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ.’ (1 තෙසලෝනික 5:3) ඉන් අදහස් වෙන්නේ “සාමය හා සුරක්ෂිතභාවය” ගැන මිනිසුන් සිහින මවමින් සිටින විට නොසිතූ ලෙස විනාශය පැමිණෙන බවයි. එය සිදු වන්නේ කිසි කෙනෙකුවත් අපේක්ෂා නොකරන අවස්ථාවකයි.
13, 14. ඉදිරියේදී පැමිණීමට නියමිත මහත් පීඩාව ගැන යේසුස් පැවසුවේ කුමක්ද? එය අවසන් වන්නේ කුමන සිදුවීම සමඟින්ද?
13 යක්ෂයාගේ අණසක යටතේ පවතින මෙම දුෂ්ට සමාජය තව වැඩි කාලයක් පවතින්නේ නැහැ. යේසුස් පැවසූ ලෙස ‘ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ නැවත කිසිදාක සිදු නොවන මහත් පීඩාවේදී’ මේ දුෂ්ට සමාජය අවසන් වෙනවා.—මතෙව් 24:21.
14 “මහත් පීඩාව” අවසන් වන්නේ දෙවිගේ මහත් දවසේ යුද්ධයෙනුයි. බයිබලයේ සඳහන් ආකාරයට දෙවි මිනිස් පාලන ක්‍රම ‘පොඩි කර නැති කර දමන්නේ’ ඒ යුද්ධයේදීයි. ඉන් අනතුරුව ස්වර්ගයේ පිහිටි දෙවිගේ රාජ්‍යය මුළු පොළොවම පාලනය කිරීමට පටන්ගන්නවා. නැවත කිසිදාක පොළොව පාලනය කිරීමේ අයිතිය ‘වෙන සෙනඟක් අතට පත් වන්නේ නැහැ.’—දානියෙල් 2:44; එළිදරව් 16:14-16.
15. යක්ෂයාගේ සහ භූතයන්ගේ බලපෑම්වලට සිදු වන්නේ කුමක්ද?
15 ‘ජාතීන්ව තවදුරටත් නොමඟ යැවීමට ඉඩ නොදීම සඳහා’ ළඟදීම යක්ෂයාව බැඳ තබන බව බයිබලයේ සඳහන් වෙනවා. ඒ කාලයේදී යක්ෂයාගේ සහ භූතයන්ගේ බලපෑම් තවත් තියෙන්න යන්නේ නැහැ. (එළිදරව් 12:9; 20:1-3) ඔවුන්ට මරණ දඬුවම නියම වී තිබෙන නිසා ඔවුන් සදහටම විනාශ වී යනවා. ඔවුන්ගේ දුෂ්ට බලපෑමෙන් නිදහස් වීමට ලැබීම මිනිස් සංහතියට මොන තරම් සහනයක් වෙයිද!
ගැලවෙන සහ විනාශ වෙන අය
16-18. මෙම දුෂ්ට සමාජයේ අවසානයෙන් ගැලවෙන්නේ හා විනාශ වෙන්නේ කවුද?
16 දෙවි මෙම දුෂ්ට සමාජයට විරුද්ධව විනිශ්චය ක්‍රියාත්මක කරන විට ගැලවෙන්නේ කවුද හා විනාශ වෙන්නේ කවුද යන ප්රශ්නය මතු වෙනවා. බයිබලයේ පෙන්නුම් කර තිබෙන ආකාරයට දෙවිගේ පාලනයට කැමති අය ගැලවෙන අතර දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කරන අය යක්ෂයාගේ දුෂ්ට සමාජයත් සමඟ විනාශ වී යනවා.
17 ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. “ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය [එනම් දෙවිගේ පාලනයට කැමති අය] දිගු කල් ජීවත් වන්නෝය. පොළොව මත බේරී ජීවත් වන්නේ නිර්දෝෂ අයයි. නමුත් දුෂ්ටයන්ව [එනම් දෙවිගේ පාලනයට අකමැති අයව] පොළොවෙන් තුරන් කරනු ලබන්නේය. ද්‍රෝහිකම් කරන්නන්වද පොළොවෙන් උදුරා දමනු ලබන්නේය.”—හිතෝපදේශ 2:21, 22.
18 බයිබලයේ තවදුරටත් මෙසේද සඳහන් වෙනවා. ‘තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.’ “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:10, 11, 29.
19. අප සිතට ගත යුතු උපදෙස කුමක්ද?
19 “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න” කියා බයිබලයේ දී තිබෙන උපදෙස අපි හොඳින් සිතට ගත යුතුයි. එය පිළිපැදීමෙන් ලැබෙන ප්‍රතිඵල ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “එවිට ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය. දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.” (ගීතාවලිය 37:34) එමෙන්ම එහි තවදුරටත් මෙසේද සඳහන් වෙනවා. “නිර්දෝෂව හා අවංකව කටයුතු කරන තැනැත්තා දෙස බලන්න. සාමය පිරුණු අනාගතයක් ඔහුට ඇත. නමුත් වැරදි කරන සියලුදෙනාවම විනාශ කරනු ලබන්නේය. දුෂ්ටයෝ වැඩි කල් පවතින්නේ නැත.”—ගීතාවලිය 37:37, 38.
20. අපට ප්‍රීති වීමට තිබෙන හේතුව කුමක්ද?
20 දෙවි අප ගැන සැලකිලිමත් බවත් ඔහු දුෂ්ටකම හා දුක් පීඩා මුලිනුපුටා දැමීමට පියවර ගන්නා බවත් දැනගන්න ලැබීම මොන තරම් සහනයක්ද! ඇත්තෙන්ම අපේ අනාගතය සම්බන්ධයෙන් දෙවි දී තිබෙන පොරොන්දු ඉටු වන කාලය තිබෙන්නේ වැඩි ඈතක නොවෙයි. අපි ඒ ගැන කොතරම් ප්‍රීති විය යුතුද!
[20වන පිටුවේ පින්තූරය]
අවසාන කාලයේ සිදු වන දේවල් ගැන බයිබලයේ සඳහන් වෙනවා
[22වන පිටුවේ පින්තූරය]
සියලු බලැති දෙවිගේ මහත් දවසේ යුද්ධයේදී ගැලවෙන්නේ දෙවිගේ පාලනය පිළිගන්නා අය පමණයි